’’සොබාදහමේ සැබෑ සුන්දරත්වය’’ : අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ

’’සොබාදහමේ සැබෑ සුන්දරත්වය’’ : අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ

22 October 2020 03:53 pm

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ‘සොබාදහමේ සැබෑ සුන්දරත්වය‘ යනුවෙන් මෙයට දින කිහිපයකට පෙර නිල ෆේස්බුක් පිටුවේ පළකළ වීඩියෝවට ලැබී තිබුණු ‘අති ඉහළ ප්‍රතිචාරයේ‘ සමස්තය වන්නේ ඔහු ‘පිස්සෙකු‘ බව යි. ඔහු මේ වේලාවේ කළ යුත්තේ මෙවැනි දේ නොවන බවයි. පුදුමයක් නැත. සමාජ ජාලවල හැසිරෙන්නේ ද බාහිර විකල් සමාජයේ කොටස්කරුවන් ය. ඔවුන්ට මේ කාලයේදී පමණක් නොව මොන කාලයේදී වුණත්, සොබාදහමට ආදරය කිරීම පිස්සුවකි. කිසි පලකට නැති දෙයකි. ‘පරිසරයට ආදරය කරමු‘ වැනි දේවල් ගැන ඔවුන්ගේ මතකයේ තිබෙන්නේ පාසල් කාලයේදී කාගෙන් හෝ අසාගෙන ලියූ වාක්‍ය රචනාව පමණි. 

එම වීඩියෝවේදී යාල ජාතික වනෝද්‍යානයේ පිහිටි කුඩා පොකුණකට අලියෙකු දිය බීමට පැමිණි අවස්ථාවේදී ඔහු ඒ පිළිබඳ අදහස් දක්වමින් පවසන්නේ මේ සුන්දර වනෝද්‍යානය අප සදාකාලිකව සුරැකිය යුතු බව ය. වන සම්පත සුරැකිය යුතු බව ය. තමන් මුලින්ම යාල ජාතික වනෝද්‍යානයට පැමිණියේ වයස මාස හයක දරුවෙකු ලෙස යැයි ද එදා පටන් සොබාදහමට ඇති කරගත් ආදරය, දයාව තමන් තුළ එලෙසම පවතින බව ද කියයි. 

එම වීඩියෝවට ලැබී තිබූ 2200 කට අධික ප්‍රතිචාර අතරින් සමහරක් විසින් පළ කර ඇති ප්‍රතිචාරයන් වලින් කියැවෙන්නේ අපුල් සහගත දේ හෙයින් ඒවා සියල්ල අප මෙහි පළ කරන්නේ නැත. ඒවාට සවිඥානික මිනිසුන් විසින් උත්තර දී තිබෙන විටද එම උත්තර ද ප්‍රතිප්‍රහාරවලට නොමදව ලක් වී තිබේ.

ඒවාට අනුව සජිත් ප්‍රේමදාස කරන්නේ ටොයියන්ට මෙන්ම බයියන්ට ද මෙය විහිළු සැපයීමකි. ඒ බව පෙනී යන්නේ පහත කමෙන්ටුවලිනි.

අපටද සජිත්ගේ අතීත ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රශ්න තිබේ. ඒ සෑම අවස්ථාවකදීම අප විසින් ඔහුට නිර්දය ලෙස පහර දී ඇත. නමුත් ඔහු විසින් අප වැරදි බව අපට පසක් කර දෙමින් තිබේ. 

ඔහුට නෙගටිව් කමෙන්ටු ප්‍රදානය කරනවුන්ගේ තර්කය ඔහුගේ අතීත දේශපාලන භාවිතාව නම් අප වැරදි බව සජිත් ප්‍රේමදාස විසින් පසක් කර දුන්නේ, තමන්ව යම්කිසි අදෘෂ්‍යමාන හස්තයක් විසින් යටකර දමාගෙන සිටි බවත්, ඔහුට ලැබුණු පළමු අවස්ථාවේදීම ඔහු කවුදැයි ඉතාම ප්‍රශස්ත අන්දමින් පෙන්වාලීම තුළ ය. 

ඔහු ඒ පෙන්වා දුන්නේ ලෝක වාර්තාවක් ද තැබීම මගින් බව අපගේ අදහසයි. 

ඒ ලෝක වාර්තාව යනු අන් කිසිවක් නොව, පක්ෂය කඩාගෙන ගිය අයෙක්, පක්ෂයේ ඡන්ද පදනමෙන් 98%ක් ලබාගැනීමයි.

නමුත් අපේ ප්‍රස්තුතය එය නොවේ.

මෙවැනි කාලයක ලංකාවේ නායකයෙක් පරිසරය ගැන කතා කිරීමයි.

සොබාදහමට ආදරය කරන අය පිස්සන් ලෙස පෙනී යාමේ ඛේචවාචකය ලොව පරාම අඩු වැඩි වශයෙන් පවතින්නකි. සොබාදහමට ආදරය කළාට බඩ පිරෙන්නේ නැත. එනිසා ‘සොබාදහම කන්නද?‘ යැයි ඔවුහු අසති. ඔන්න සොබාදහම මුදලට විකුණූ විටත්, එයින් කප්පම් ගත් විටත් නම් බඩ පිරෙයි. 

අපි ක්ලයිමේට් ඉමර්ජන්සි (Climate Emergency) හෙවත් ‘දේශගුණික හදිසි තත්වයන්‘ ගැන ඉතාමත්ම සවිඥානිකව පසුවන්නෙමු. එය 2020 වසර සඳහා පමණක් නොව වසර 2030 වන තෙක්ම ලෝකයේ වැඩිපුරම අවධානය දිනාගත් මාතෘකාව පත්ව තිබෙන්නේ වැරදීමකින් හෝ අහම්බයකින් නොවේ. ඔබේ නිවසේ පියස්ස සුළි සුළඟකට ගසා ගෙන යන තෙක්ම, ඔබේ ගෙයි එළිපත්තට ගං වතුර එන තෙක්ම පරිසරය ගැන අපේ උන් කරදර වන්නේ නැත. දූපතක ජීවත් වුණත්, මුහුදු මට්ටම දේශගුණික විපර්යාස නිසා ඉහළ ගොස් කරවටක් ගිලී යන තෙක්ම එසේ වුණේ ඇයිදැයි මේ දූපත්වාසීන්ට වගක් නැත.

සජිත් ප්‍රේමදාසගේ ඇතුළාන්තයට එබී බලන විට ඔහු කොතරම් පරිසරයට බද්ධ වූවෙක්දැයි පෙනී යයි. ඔහු ළඟ ඇති දිවියන්ගේ දුර්ලභ ඡායාරූප එකතුව ලංකාවේ ඇත් පරපුර, අලි පරපුර ඡායාරූප එකතුව ඔහු කොතරම් පරිසරයට හිතවත්දැයි සපථ කරයි. ඔහු එය අනාගතයේදී පොතක් ලෙස පළ කර එයින් වන සංරක්ෂණ භාරයක් පිහිටුවීමට අදහස් කරගෙන සිටින්නෙකි. 

උරුමය මග හැරීමට අකමැති නිසා සහ නොහැකි නිසා තමන් දේශපාලනයේ නිරත වන බවත්, සිව්පා සතුන් සිටින කැලයට දෙපා සතුන් සිටින තැනට වඩා තමන් කැමති බවත් ඔහු වරක් කියා තිබේ. 

පරිසර අමාත්‍යාංශය තමන් යටතේ තබාගත් නායකයන් මෙතෙක් කල් කළේ තමන්ගේ සනුහරයේ උන්ට පරිසරය කාබාසිනීයා කර දැමීමයි. පරිසරයෙන් කප්පම් දීමයි. 

එනිසා යම්කිසි නායකයෙක් පරිසරය ගැන කතාකරනවා නම් අප ඔහු සමග සිටගන්නේ දෑතම ඔසවාගෙන එක පයින් නොව දෙපයිනි. සියයට සියයකින් නොව සියයට පන්සියයකිනි. අපට අවශ්‍ය වන්නේ එබඳු නායකයන් ය.