මහා බැඳුම්කර වංචාව මෙතැනින් කොතැනටද? බැඳුම්කරේ ජරමරේ - අවසානය නොවේ

මහා බැඳුම්කර වංචාව මෙතැනින් කොතැනටද? බැඳුම්කරේ ජරමරේ - අවසානය නොවේ

18 October 2020 07:24 pm

එක රැයකින් පොලී අනුපාතික ඉහළ දැමීම මගින් සහ, ‘වෙන්දේසිය සහ සෘජු ස්ථානගතකිරීම් වෙනුවට ‘වෙන්දේසිය පමණයි‘ යනුවෙන් අලුත් සොයාගැනීමක් සිදුකිරීම මගින් ශ්‍රී ලංකා මහබැංකු ඉතිහාසයේ ලොකුම මූල්‍ය වංචාව සිදුවී මේ වන විට වසර 5 ක් ඉක්ම ගොස් තිබේ. එහි මහමොළකරුවන් මෙන්ම අපරාධකරුවන් ද තවම නිදැල්ලේ ය. පොදු ජනතාව මතට කඩා පාත් වූ ආර්ථික හෙණය ද ඒ අයුරින්ම පවතියි. 

එය මෙයට පෙර ද අප විසින් සරල බසින් කියා ඇති පරිදි මෙසේ ය.

2015 පෙබරවාරි 17 දායින් පසු බැංකු ණය ගත් අයට තවත් වසර 25 ක් ගත වන තෙක් ණය ලබාගන්නා විට බැංකුවෙන් කියූ පොලියට වඩා ඉතා අධික පොලියක් ගෙවීමට සිදු වේ. නිවාස ණය ගත් අයට ද මෙය එසේම ය. 

දැනටමත් ණය කන්දක සිරවී සිටින රටක්, නූපන් දරුවන් පවා ලක්ෂ ගණනක ණයකාරයන් ලෙස ඉපදෙන රටක් බිලියන 30කට අධික වංචාවකට වගකිව යුත්තන් ට නිදැල්ලේ සිටින්නට ඉඩ හළ යුතුද?

දේශපාලන යක්ෂයෙක් සමග දීගය

එවකට රාජ්‍ය නායකයා ව සිටි මෛත්‍රිපාල සිරිසේන, 2020 ඔක්තෝබර් 12 වැනිදා පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මෙසේ කීවේය. 

‘‘මම අමාරුවෙ වැටුණෙ දේශපාලන යක්ෂයෙක් එක්ක නොගැළපෙන විවාහයක් කරගත් නිසා‘‘

ඔහු එහිදී තවදුරටත් කියන්නේ තමන් දේශපාලන යක්ෂයෙක් සමග නොගැළපෙන විවාහයක් කරගෙන ඇති බව වැටහුණේ යහපාලන ආණ්ඩුවේ බැඳුම්කර ගනුදෙනුවෙන් පසුව බවයි. ඒ අනුව රටත් ජනතාවත් බේරාගැනීමට තමන්ට විශාල කැපකිරීමක් මෙන්ම සටනක් ද කරන්නට සිදුවූ බව ඔහු කීවේය. 

ඒ කැපකිරීම සහ සටන, ‘යන්නෙ කොහෙද-මල්ලෙ පොල්‘ වර්ගයේ ජනාධිපති කොමිසමකට සීමා වූ බවත්, එ් කොමිසම මැන්ඩේටය පැත්තකින් තබා, 2015 පෙබරවාරි මාසයෙන් පසු සිදුවූ බැඳුම්කර වංචාවන් ගැන සෙවීම වෙනුවට අගමැතිට දෙවියෙකුට මෙන් සලකමින් අගමැතිට සේවය කරන්නට පටන් ගත් ආකාරත් අප කියා ඇත. ඒ අනුව 2015 ට පෙර සිදුවූ බැඳුම්කර වංචාවන් ගැන සෙවීමට පටන් ගත් හැටිත් මේ ලිපි මාලාවෙන් අප පැහැදිලි කර දී තිබේ. 

අවසානයේ 2015 වසරේ බලයට පැමිණෙන විට සිය ප්‍රතිපත්ති මාලාවේ ‘හොර බොරු නැති රටක්‘ බිහිකරන බව කී රනිල් වික්‍රමසිංහ, බලයට පැමිණ මාස 3 ක් යන්නට මත්තෙන් ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම කර දැන් සිටින්නේ විශ්‍රාම සුවයෙනි.

ජනතාවට ‘ටටා‘ කීම

එදා රනිල් වික්‍රමසිංහ, බැඳුම්කර කොමිසමෙන් පිට වී ගියේ, රැස්ව සිටි ජනතාවට වීරයෙකු මෙන් ‘ටටා‘ කියමිනි. 

ඔහු නිසා බැඳුම්කර වංචාවට සෘජුවම සම්බන්ධ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ද මේ අයුරින්ම ‘ටටා‘ කියා නිදි පැදුරටත් නොකියා වෙඩිමකට යනවා කිාය සිංගප්පූරුවට පැන ගත්තේය. ගිය මහේන්ද්‍රන් තවම ආවේ නැත. 

ඔහු සිය නම ද අර්ජාන් ඇලෙක්සැන්ඩර් යනුවෙන් වෙනස් කරගෙන තිබේ. ඒ අනුව දැන් අර්ජුන් මහේන්ද්‍රන් කෙනෙක් ද නැත. ඔහු නම වෙනස්කරගෙන ඇති බව සොයාගත්තේ ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසියයි. 

2020 ජූනි 16 දින නීතිපතිවරයා මේ නම් වෙනස් කිරීම ගැන බැඳුම්කර වංචාව සෙවීම සඳහාම පිහිටුවා තිබෙන කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව ‘අර්ජුන මහේන්ද්‍රන් ඇල්ලීම‘ වෙනුවට ‘අර්ජාන් ඇලෙක්සැන්ඩර්‘ ඇල්ලීමේ මෙහෙයුම සඳහා ඔවුන් වරෙන්තුවේ නම වෙනස් කළ යුතුය. 

කෙසේ නමුත් කෝප් පරීක්ෂණ 2 ක්, බැඳුම්කර (ජනාධිපති) කොමිසම යන මෙම අවස්ථා තුනේදීම අවසානයේ තහවුරු වුයේ ලංකා ඉතිහාසයේ සිදුවූ ලොකුම බැඳුම්කර වංචාව, 2015 පෙබරවාරි 27 දා නිකුත් කළ තිස්අවුරුදු බැඳුම්කරය වූ බවයි. 

රනිල් වික්‍රමසිංහ අද කියන කතා

2020 ජූලි 3 වැනිදා මහබැංකු බැඳුම්කර වංචාව ගැන ප්‍රකාශයක් සටහන් කර ගැනීමට  CID ය රනිල් වික්‍රමසිංහගේ ගෙදරට ගියේය. ඔහු කොහොමටත් ප්‍රකාශ දී ඇඟ බේරාගැනීමට හපනෙකි. ඒ බව බැඳුම්කර කොමිසම ඉදිරියේදී නැවත නැවතත් තහවුරු වී තිබේ. 

කෙසේ නමුත් ඔහු එයින් දින 3කට පසුව ‘හිරු‘ රූපවාහිනී නාලිකාවේ ‘සලකුණ‘ වැඩසටහනට පැමිණ හැසිරුණේ මෙසේ ය. (බලන්න, 57.00 සිට 

නිවේදකයා - ‘‘..දූෂණය මැඩ පැවැත්වීම රජයේ ප්‍රධාන ප්‍රමුඛතාවයක් බවට පත්වනු ඇත කියලා 2015 ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙනවා. ඒ වෙනුවෙන් පරිච්ඡේදයක් වෙන් වෙනවා. හැබැයි බලයට ඇවිත් මාසයක් යන්න කලින් මහබැංකුවේ බැඳුම්කර වංචාව සිද්ධ වෙනවා..

(රනිල් වික්‍රමසිංහ මෙහිදී මද සිනා පායි)

නිවේදකයා - ‘‘... මේ බැඳුම්කර හොරකම මේ ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවෙච්ච විශාලම වංචාව විදිහට තමයි සලකන්නේ. ඔබතුමාට මේකෙන් මෙහෙම ලේසියෙන් නිදහස් වෙන්න පුළුවන්ද?“

රනිල් වික්‍රමසිංහ එයට දෙන පිළිතුර පහත පරිදි ය. 

‘‘ඒක විශාල මංකොල්ලය නෙවෙයි.. බැඳුම්කරයේ ප්‍රශ්නය ආව ගමන් බිලියන 12 ක් අපිට තිබුණා පර්පෙචුවල් ට්‍රෙෂරීස්වලින්.. මහබැංකුවට ඇප හැටියට වෙනත් වැඩ කටයුතුවලට දීලා තිබුණා... අපි ඒක තියාගත්තා.. ඉතින් බිලියන 12 ක් අපේ අතේ තියෙනකොට ඒකෙන් ඇත්ත වශයෙන්ම අලාභයක් නෑ..!

‘‘දැන් ඒකට නඩු යයි.. ඒ බිලියන 12 අයිති කාටද කියල බලන්න.. ඒක අයිති අපටද, මහබැංකුවට ද පර්පෙචුවල් ට්‍රෙෂරීස්වලට ද කියලා.. 

‘‘මහබැංකුවෙ අධිපතිවරයයි එයාගෙ බෑණයි අතරෙ මේ ගනුදෙනුව ගැන අයුතු සම්බන්ධයක් තිබුණද කියලයි මෙතනදි බලන්න තිබුණෙ.. 

‘‘ඇත්ත වශයෙන්ම ඒ මුදල් ආණ්ඩුවෙන් තියාගත්ත නම්, නීතියෙන් ගිහින් ඒක අපේ කියල ඔප්පු කරනව නම්... මේ දොළහ අපි තියාගෙන ඉන්නෙ.. අපිට අලාභයක් වෙලා නැත්නම් ඒක අපිට නිදහස් කරන්න පුළුවන්..! මේක සිවිල් නඩුවක්..‘‘

නිවේදක - ‘‘මේක සිවිල් නඩුවක් නෙවෙයි, මේක අපරාධ නඩුවක් විදිහට ඔප්පු කරන්න ඕනෙ කාරණාවක්..‘‘

(බාධා කරයි)

රනිල් - ‘‘නෑ .. නෑ.. නෑ.. අයිතිය සිවිල් එකක්‘‘

මෙහිදී රනිල් වික්‍රමසිංහ කොතරම් සරල ලෙස මේ මහා වංචාව දෙස බලන්නේ ද යන්න මැනවින් පසක් වෙයි. ඔහු නැවත නැවතත් කියන්නේ බිලියන 12 ක් රඳවාගෙන ඇති නිසා බැඳුම්කර වංචාවෙන් ආණ්ඩුවට පාඩුවක් නොවූ බව ය! 

වංචාවක මහමොළකරුවෙකුගෙන් මෙයට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද? අද වන විට ගණන් බලා ඇති පරිදි බැඳුම්කර වංචාව නිසා රටට, ආර්ථිකයට සහ මහජනතාවට සිදුව ඇති සෘජු සහ වක්‍ර පාඩුවල එකතුව ට්‍රිලියනයකට ද ආසන්න ය. 

මාධ්‍යයෙන් වංචාව විකුණූ බවට ද ඔහු මෙහිදී චෝදනාවක් කළේය. අදටත් මහේන්ද්‍රන් ව පණ මෙන් සුරකින රනිල්, පණස් වතාවකට වඩා මෙම වැඩසටහනේ මාධ්‍යවේදීන්ට බාධා කළ ආකාරය ද දැකගත හැකි විය. අවසානයේ ඔහු මෙසේ ද අසයි. 

‘‘ඔබතුමා මාව මෙතෙන්ට ගෙන්නුවෙ මගෙ චරිතය නැති කරන්නද?“

* * *

අද දක්වා ද බැඳුම්කර වංචාවට සම්බන්ධ එකදු වරදකරුවෙකු හෝ චුදිතයෙකු විනාඩි පහකට හෝ රිමාන්ඩ් කර නැත. 

‘‘ප්‍රමාද වී ඉටුවන යුක්තිය, යුක්තියක් නොවේ‘‘ යැයි කියමනක් තිබේ. 

''The Great Bond Scam Cover-up'' පොත ලියන හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අවධාරණය කරන අපූරු කරුණක් තිබේ. ඒ, මහබැංකු බැඳුම්කර වංචාව ගැන පමණක් නොව එය ‘වසං කිරීමේ මහා මෙහෙයුම‘ ගැනත් වෙනම සොයා බැලිය යුතු බව ය. එය මහබැංකු වංචාවට ද වඩා හොඳින් සංවිධානාත්මක ව සිදුකරන ලද්දකි. 

එහි මෙසේ ද සඳහන් වේ. 

‘‘රනිල් වික්‍රමසිංහ ඇතුළු නඩය විසින් ශ්‍රී ලංකා මහබැංකුව මුඩු බිමක් බවට පත් කර ගොස් තිබේ..‘‘

එම සවිස්රාත්මක ග්‍රන්ථයේ 6.8 කොටස මෙහි සිංහල බසින් පළ කරනු ලැබේ.

‘‘අනාගත ආණ්ඩුවක් කළ යුත්තේ කුමක්ද?‘‘

අනාගත ආණ්ඩුවක් විසින්, මෙම ගැඹුරට මුල් බැස ඇති හා හොඳින් සැලසුම් කළ බැඳුම්කර වංචාව හා එහි ලැජ්ජාසහගත වසං කිරීම, පහත දැක්වෙන පරිදි ඒකාබද්ධ ප්‍රවේශයකින් යුත් උපායමාර්ගික තෙරපීම් කිහිපයක් සමඟින් විසඳිය යුතුය:

a) වැරදිකාර ප්‍රාථමික අලෙවි සමාගම වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් (පුද්ගලික සමාගම) සහ එහි නිලධාරීන්ට පමණක් දඬුවම සීමා නොකර, බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු වැරදිකරුවන්ට සහ ඔවුන්ගේ ආධාරකරුවන්ට නීතියට අනුව දඬුවම් කරන්න.

b) බැඳුම්කර වංචාකරුවන් සහ ඔවුන්ගේ සහචරයින් විසින් උපයාගෙන ඇති සහ භුක්ති විඳින අයුතු ප්‍රතිලාභ නැවත ලබා ගැනීම, සහ එවැනි අරමුදල් දැනටමත් වියදම් කර හෝ වෙනත් පාර්ශවයන් වෙත මාරු කර ඇත්තේ නම්, මහමොළකරුගෙන් ඔවුන්ගේ සහචරයින්ගෙන් සහ පැවරුම්කරුවන්ගේ වත්කම්වලින් එය අය කර කරගන්න.

c) තමන්ටම දේශපාලන සහ/හෝ වෙනත් වාසි ලබා ගැනීම සඳහා “වසං කිරීමේ” කර්තව්‍යයන් සිදු කර ඇති අය ද ඇතුළුව, කොමිසමට සහ බැඳුම්කර වංචාව වසං කිරීමට දැනුවත්ව ආධාර සහ අනුබල දුන් සියලු දෙනා නම් කිරීම සහ ඔවුන් ලැජ්ජාවට පත් කරන්න.

d) බැඳුම්කර වංචාවල දීර්ඝකාලීන අයහපත් බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙස රජය, ආර්ථිකය සහ ජනතාව විසින් අඛණ්ඩව අත්විඳින පාඩු අවම කිරීම සහ/හෝ නැවැත්වීමට පියවර ගන්න.

e) බැඳුම්කර වංචාවට මග පාදා ගැනීම සඳහා, ශ්‍රී ලංකා මහබැංකුව සතු, කාලාන්තරයක් තිස්සේ පරීක්ෂා කර බලා තිබූ සහ ඉතා සාර්ථක බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය වෙනස් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මහේන්ද්‍රන්ට සෘජුවම නියෝග කළ විට සිදු වූ ආකාරයේ දේශපාලන මැදිහත්වීම් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පරිපාලන ක්‍රියා පටිපාටි සහ පාලන ව්‍යුහයන් ක්‍රියාත්මක කරන්න.

f) බැඳුම්කර වංචාව හරහා නීතිවිරෝධී ලෙස උපයා ගත් දැවැන්ත අරමුදල් ඇතැම් ඉහළ පෙළේ දේශපාලනඥයන්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා මුදල් ලෙස යෙදවූයේද සහ, 2015 අගෝස්තු මහමැතිවරණයේදී මෙකී මූල්‍ය විසින් මෙකී දේශපාලනඥයන් බලයට ගෙන ඒම සඳහා භෞතිකමය භූමිකාවක් සිදුකළේදැයි සොයා බැලීමට ඉහළ මට්ටමේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන්න.

g) බැඳුම්කර වංචාවන් සහ පාඩුවල ප්‍රමාණය හෙළිදරව් කරමින් අකටයුතුකම් නාද කරන්නන් වශයෙන් කටයුතු කළ නිර්භීත නිලධාරීන් බියගැන්වීමට සහ ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීමට අග්‍රාමාත්‍යවරයා, ප්‍රධාන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, මහ බැංකු අධිපති මහේන්ද්‍රන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නායකයින් සහ නිලධාරීන් උපරිම උත්සාහයක් ගන්නා විට එම දැඩි දේශපාලන පීඩනය හමුවේ ස්ථිරසාර ලෙස සිටි තැනැත්තන් හට පිළිගැනීම ලබාදෙන්න. 

දැන් ඒ කියන ‘අනාගත ආණ්ඩුව‘ බලයට පත් ව තිබේ. ඒ අනුව දැන් ජනතාව අසන්නේ එකම එක ප්‍රශ්නයකි. 

‘‘මන්ද පමා...?“

සංස්කාරක සටහන - මෙහි පාර්ශවයන්ට මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ලබාදීමට අප සූදානම්.

පසු සටහන - ‘හැමෝම දන්නා ජේමිස් බොන්ඩ්‘ විසින් රචනා කරන ලද ‘බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ‘ තීරු ලිපි මාලාව අවසන් වන්නේ කොටස් 17 කිනි. එදා 1994 වසරේදී ජනතා අප්‍රසාදය එක්සත් ජාතික පක්ෂයට එරෙහිව නැගී එන විට එය හැඳින්වුණේ ද ‘දාහත් අවුරුදු ශාපය‘ යනුවෙනි. මෙම තීරු ලිපි මාලාව ද කොටස් 17 කින් අවසන් වීම අහඹුවක් නොවන බව රචකයාගේ මතයයි. 

පෙර ලිපි

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි. - 1 කොටස
බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 2 කොටස
බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 3 කොටස
මහබැංකුවේම බිලියන 42කින් මහබැංකුවේම බැඳුම්කර මිලට ගත් හැටි - බැඳුම්කරේ ජරමරේ - 4 වන දිගහැරුම
‘මමයි බෑණයි දුරයි!‘ - මහේන්ද්‍රන් කියයි - බැඳුම්කරේ ජරමරේ 5 වන දිගහැරුම
කැකිල්ලේ ක්‍රමයේ නීතීඥ කමිටුව සමග බැඳුම්කරේ ජරමරේ - 6 වන දිගහැරුම
රනිල් වික්‍රමසිංහ අකල් මරණයෙන් බේරුණු හැටි - බැඳුම්කර ජරමරයේ 7 වන දිගහැරුම
හඳුන්නෙත්ති මොකද කළේ? බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 8 කොටස
සුජීව සේනසිංහ කතා වස්තුව සමග බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 9 කොටස
හදවතින්ම සිරි ලාංකික - ‘යන්නෙ කොහෙද මල්ලෙ පොල්‘ වර්ගයේ ජනාධිපති කොමිසම‘: බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 10 කොටස
හදවතින්ම ‘සිරි‘ ලාංකික බැඳුම්කර කොමිසම ‘කබ්රාල් දඩයම‘ පටන් ගත් හැටි : බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 11 කොටස
අලියා බීම සමාගමේ වසර 10 ක් අධ්‍යක්ෂ ධුරය හෙබවූ ප්‍රසන්න ජයවර්ධන, කබ්රාල්ගේ මුදල් මණ්ඩලයේ හතරහමාර සොයයි!: බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 12 කොටස
සේවක අර්ථ සාධක අරමුදල (EPF) : මහේන්ද්‍රන්ගේ භක්ෂණය සහ කබ්රාල්ගේ රක්ෂණය - බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 13 කොටස
මහබැංකුවේ බැඳුම්කර වංචාව ගැන මහබැංකුවම වෝහාරික විගණනයක් කරගත් හැටි - බැඳුම්කරේ ජරමරේ - 14
හුදී ජනයාට මොන ‘උපලබ්ධි‘ ලාභද? - බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 15 කොටස
ග්‍රීක බැඳුම්කරය සහ වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීම - බැඳුම්කරේ ජරමරේ සීරුවට දිග හැරේ - 16 කොටස