කොවිඩ්-19 ආසාදිත පිරිස් අපරාධකරුවන් ලෙස හංවඩු නොගසන ලෙසට කැරෙන සාමූහික ආයාචනය

කොවිඩ්-19 ආසාදිත පිරිස් අපරාධකරුවන් ලෙස හංවඩු නොගසන ලෙසට කැරෙන සාමූහික ආයාචනය

9 October 2020 01:33 pm

පසුගිය ඔක්තෝම්බර් 04 වෙනි ඉරිදා දිවුලපිටිය ප්‍රදේශයේ ඇඟලුම් සේවක සේවිකාවන් අතරින් නව කොවිඩ් ආසාදිත පොකුරක් මතුවීමෙන් පසු යළිත් වරක් අසාදිතයන් මත වරද පැටවීමේ සම පරිභව කිරීමේ අශිෂ්ට මාධ්‍ය සහ සමාජ භාවිතයන් ඇරඹී තිබේ. ඉන් සමහර මාධ්‍ය වාර්තා විසින් අසාදිත පිරිස් අපරාධකරුවන් ඝනයේ ලා සළකන බවද පෙනෙන්ට තිබේ.

පහත අත්සන් කරන අපි, සමාජීය ඛේදවාචකයක් අවස්ථාවක වින්දිතයින් මෙළෙස මානසික පීඩනයකට මෙන්ම අවමානයට සහ කොන් කිරීමට හේතුවන මෙම කණගාටුදායක ප්‍රවණතාවය නිසා කම්පනයටත් වේදනාවටත් පත්ව සිටිමු.

මෙම නව කොවිඩ් ආසාදිත පොකුර සොයා ගන්නා ලද්දේ දිවුලපිටිය ප්‍රදේශයේ බ්‍රැන්ඩික්ස් ලංකා පුද්ගලික සමාගමට අයත් ඇගළුම් කම්හලක සේවය කළ 39 හැවිරිදි කාන්තාවක් උණ තත්වයක් හේතුවෙන් ගම්පහ මූලික රෝහලෙහි ප්‍රතිකාර ලබා නිවස බලා යෑමට ප්‍රථම කළ කොවිඩ්-19 නියැදි පරීක්ෂණයකදී, ඇයට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වීමෙන් පසුවය. පසුව ඇගේ දියණියටද කොවිඩ්-19 ආසාදනය වී ඇති බව සොයා ගන්නා ලදී. ඒ සමඟම එම පුවත හා ආශ්‍රිත පුවත් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යයන්හි මූලික පුවතක් බවට පත්විය.

කෙසේ වෙතත් මෙම ප්‍රවෘත්තිය වාර්තා කර තිබූ ඇතැම් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය එය වාර්තා කර තිබුණේ එම කොවිඩ් ආසාදිත කාන්තාව හා ඇගේ දියණිය සිදු කළ "අපරාධයක්" ලෙස හුවා දක්වමිකි. මුලික ජනමාධ්‍ය ආචාර ධර්ම පමණක් නොව, සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර නිකුත් කර තිබූ "කෝවිඩ්-19 මාධ්‍ය වාර්තාකරණ මාර්ගෝපදේශ" එකී ජනමාධ්‍ය ආයතන අමු අමුවේ උල්ලංඝණය කර තිබුණි. තවද, සමාජ මාධ්‍ය තුළ අදාළ ආසාදිත කාන්තාවට නොයෙකුත් කටකතා මඟින් ඇගේ චරිතයට හා ගෞරවයට හානි කරමින් අසත්‍ය ප්‍රහාර එල්ල වෙමින් පවතින බවද නිරීක්ෂණය වේ. වෛරසය ඇගළුම් කම්හලට පැමිණි ඉන්දියානු ජාතිකයකුගෙන් අසාදනය වන්නට ඇතැයි ඕපාදුපයක්ද සමාජ මාධ්‍යන්හි පැතිරුණි.

විශේෂයෙන්ම මෙම අසාධාරණයට ඇය ලක්වීමට මුලිකම හේතුව ඇය ඇගළුම් කම්හලක සේවය කරන කාන්තාවක් වීමත් සමාජයේ පහළ ස්ථරයකට අයත්වීමත් බව පෙනෙන්නට තිබේ. ඇය, මෙම අවස්ථාවෙහි දස දහස් ගණනාවක් වන ඇඟලුම් සේවිකාවන් අතර කළු පැල්ලමකි. මෙම අශිෂ්ට වාර්තාකරණයන් නිසා අදාළ ප්‍රදේශයන්හි ඇඟලුම් සේවිකාවන්ද විෂම සැළකීම්වලට ලක් වෙමින් ඇති බවද වාර්තා වේ.

එම කාන්තාවට කොවිඩ්-19 වෛරසය ශරීරගත වීමේ මුලාශ්‍රය හරියටම සොයා ගැනීමට තවමත් සමත් වී නැති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ආරම්භයේදී ප්‍රකාශ කළ අතර වසංගතවේදය පිලිබඳ විශේෂඥ වෛද්‍ය සහ වසංගතවිද්‍යා වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ මෙම කාන්තාවට එම ඇඟළුම් කම්හලේම වෙනත් පාර්ශවයකින් වෛරසය ආසාදනය වන්නට ඇති බවයි. ඉන්දියානු ජාතිකයකුගෙන් වෛරසය අසාදනය වූ බවට වූ ප්‍රචාරය අසත්‍ය බව බ්‍රැන්ඩික්ස් ලංකා පුද්ගලික සමාගම පවසා ඇතැයි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයද එදිනම ප්‍රකාශ කර තිබේ.

මෙවැනි තත්වයක් තිබියදී අවාසනාවන්තම කරුණ වනුයේ සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හා සමාජ ජාල මාධ්‍ය තුළ ගොදුරක් බවට පත්ව නින්දා විඳින මෙම ආසාදිත කාන්තාවට සහ අවශේෂ ඇඟලුම් සේවිකාවනට එල්ලවෙමින් ඇති තර්කානුකුල හා විද්‍යාත්මක නොවන අසත්‍ය චෝදනා පිලිබඳ කිසිදු නිවේදනයක් නොකිරීමය. තවද අශිෂ්ට මාධ්‍ය ප්‍රචාරයන් සම්බන්ධවද මුනිවත රැකීමය.

කොවිඩ්-19 වෛරසය තත්වය මැඩ පවත්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සුවසේවා කාර්ය මණ්ඩළයන් කළ සහ කරමින් සිටින සේවය අපි ඉහළින්ම අගයමු. එමෙන්ම රෝගීන්ට සාත්තු සේවය මෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම් රැකීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය ආචාර ධර්මීයව බැදී සිටින බවද එම අවස්ථාවෙහිම අවධාරණය කිරීමටද කැමැත්තෙමු.

තවද සමාජය තුළ රෝග කෙරෙහි සහ රෝගීන් පිලිබඳ ඇතිව ඇති වෛරී සහගත ආකල්ප මෙතරම් දරුණු තත්ත්වයට වර්ධනය වී ඇත්තේ, දශක ගණනාවක සිට සෞඛ්‍ය අමාත්‍යාශය විසින් ඇතැම් රෝග හා ආසාදනයන් පිලිබඳ ඇති කර ඇති අතිශෝක්ත "මරණීය" බිය නිසා මතක් කිරීමටද අපි කැමැත්තෙමු. මෙම තත්ත්වය එච්අයිවී හා ලිංගාශ්‍රිත ආසාදන සම්බන්ධයෙන්ද දක්නට ලැබෙන අතර රෝග හා ආසාදනයන් පිලිබඳ දැනුවත්භාවය වෙනුවට බිය හා පිළිකුල ඇති කිරීම මඟින් ඒවා පාලනය කිරීමට ගන්නා යල්පැන ගිය, අමානුෂික උපාය මාර්ගවලින් මිදීමට සෞඛ්‍ය අමාත්‍යංශයට කාලය එළඹ තිබේ.

එබැවින්, පහත අත්සන් කරන අප විශේෂයෙන් සෞඛ්‍ය අ අමාත්‍යංශයට සහ පොදුවේ ශ්‍රී ලංකා ආණ්ඩුවටද පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කරමු.

• දිවුලපිටිය ආශ්‍රිතව කොව්ඩ් 19 අසාදනයන්ට ලක්වූ ඇඟළුම් සේවක සේවිකාවනගේ වෘත්තීය සහ සමාජීය අයිතීන් කෙළෙසීමට දැරෙන ප්‍රයත්නයන්, හදිසි කාරණයක් සේ සළකා වළක්වන්න.
• සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීමෙන් නොනැවතී ඒවා ක්‍රියාත්මක වන්නේ දැයි විමසා බැලීමේ යාන්ත්‍රණයක් ඇති කරන්න.
• එකී මාරගෝපදේශ ක්‍රියාත්මක නොවන්නේ නම් නොවළහා ඒ පිලිබඳ අවශ්‍ය නිසි ක්‍රියා මාර්ග ගැනීමට පියවර ගන්න.
• රැකියා තත්වය හෝ සමාජීය තත්වය මත කැරෙන විශම සැළකීම් නතර කොට කිසිදු වෙනසකින් තොරව සියලුම රෝගීන්ගේ ආත්ම ගරුත්වය රැකීමට පියවර ගන්නා අතරම ඒ පිළිවෙත් අනුගමනය කරන සේ ජනමාධ්‍ය සහ සමාජය දැනුවත් කරන්න.
• සියලු රෝගීන්ගේ පුද්ගලිකත්වයට, රහස්‍යභාවයට, ගරුත්වයට ඇති අයිතිය සහ ශ්‍රී ලංකාවද අත්සන් තබා ඇති 1948 විශ්වීය මානව හිමිකම් ප්‍රඥප්තියේ සදහන් රෝගීන්ගේ අයිතිවාසිකම් සමාජ තත්ව නොසළකා සැමට සමානව සහතික කිරීමට පියවර ගන්න.
• විවිධ රෝග අරභයා සමාජ බිය හා පිළිකුල වෙනුවට සමාජ දැනුවත්භාවය ඇති කිරීමේ දීර්ඝ කාලීන පියවරයන් දියත් කරන්න.

 https://docs.google.com/forms/d/e/1FAIpQLScT1BVAX1ZEzbIZlKLIPeW_NiwgSLpKMIAU7CReIuJb7buVXQ/viewform?usp=sf_link