LPL: ලංකා ප්‍රීමියර් ලීග් ද? ලංකා පෝස්පොන්ඩ් ලීග් ද?

LPL: ලංකා ප්‍රීමියර් ලීග් ද? ලංකා පෝස්පොන්ඩ් ලීග් ද?

5 October 2020 01:30 pm

බංග්ලාදේශ - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය මෙම මසදී පැවැත්වීමට යෝජනා වී තිබූ නමුත් එය අවසන් මොහොතේදී කල්දැමීමට සිදුවිය. ඊට හේතුව වූයේ ශ්‍රී ලංකා බළධාරීන් විසින් නියම කළ දින 14 ක නිරෝධායනය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කිරීමයි. බංග්ලාදේශ ප්‍රක‍ාශ කළේ දින 14 ක නිරෝධායන කාල සීමාවක් ගතකිරීමට සිදු වුවහොත් තම ක්‍රීඩකයන්ට පුහුණුවීම් සඳහා ප්‍රමාණවත් කාලයක් නොලැබෙන බවයි.

මේ හේතුව නිසා අවසනායේදී තරගාවලිය කල්දැමීමට දෙරටේම ක්‍රිකට් බළධාරීන් අවසානයේ එකඟ විය.

නොවැම්බර් 21 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන LPL තරගාවලියටද මෙම තත්වයට මුහුණදීමට සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ. තරගාවලියට එක්වීමට කැමැත්ත පළකර තිබෙන විදෙස් ක්‍රීඩකයන් රැසක්ම දින 14 ක නිරෝධායනය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම තත්ත්වය හමුවේ ‍ඔවුන් තරගාවලියට සහභාගිවීම ප්‍රතික්ෂේප කර තිබේ.

තවමත් ගාල්ල කණ්ඩායම හැර සෙසු කණ්ඩායම් හතර මිලදී ගැනීමට කිසිදු පුද්ගලයෙකු ඉදිරිපත් වී නොමැති අතර පසුගිය පළමුවැනිදා සිදුකිරීමට නියමිතව තිබූ ක්‍රීඩක වර්ගීකරණයද අත්හිටුවීමට සිදුවිය.

LPL තරගාවලියේ අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න මහතා ගුවන්විදුලි වැඩසටහනකට සහභාගිවෙමින් ප්‍රකාශ කළේ ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමේ හිමිකාරීත්වය දරන බොලිවුඩ් නිළි ප්‍රීටි සින්ටා LPL තරගාවලියේ කණ්ඩායමක් මිලදී ගැනීමට කැමැත්ත පළකර තිබූ නමුත් පවතින සෞඛ්‍ය නිර්දේශ හමුවේ එය යථාර්ථයක් නොවීමට බොහෝදුරට ඉඩ තිබෙන බවයි.

වසර කිහිපයක සිට LPL ඇරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහ දැරූ නමුත් විවිධ හේතු මත එය කල්දැමීමට සිදුවිය. මෙම වසරේදී තරගාවලිය අනිවාර්යෙන් පවත්වන බව ප්‍රකාශ කළ අතර කෙසේ නමුත් කොවිඩ් වෛරසය ඒ සඳහා තවමත් බාධාවක් වී තිබේ.

මතුව ඇති තත්ත්වය හමුවේ මෙම තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීම හැර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වෙනත් විකල්පයක් ඉතිරි වී නොමැත.

UN