යතුරු පැදි ආනයන තහනම ගැන විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී රජයෙන් ප්‍රශ්න කරයි

යතුරු පැදි ආනයන තහනම ගැන විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී රජයෙන් ප්‍රශ්න කරයි

24 September 2020 11:47 am

රජය විසින් යතුරු පැදි ආනයනය තහනම් කිරිම නිසා සාමාන්‍ය ජනතාව පත්ව ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරමින් ඒ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රශ්න කළේය. 

"ගරු කථානායකතුමනි, මෝටර් බයිසිකලය යනු සාමාන්‍ය පවුල්වල සාමාජිකයින් විසින් තම එදිනෙදා අවශ්‍යා ඉටු කරගැනීමට භාවිතා කරන ජනප්‍රියතම වාහනය වන අතර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් ද තම ව්‍යාපාරික කටයුතු සඳහා බහුලව භාවිතා කරනු ලබන වාහනයයි. එසේම රජයේ හා පෞද්ගලික අංශවල සේවකයින් විසින් ද සේවා ස්ථානයට යාමට හා නැවත නිවෙස් බලා ඒමට මෝටර් බයිසිකල් පාවිච්චි කරනු ලබයි. 

එපමණක් නොවන කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වූ ආහාර හා වෙනත් පාරිභෝගික භාණ්ඩ නිවෙස් වෙත බෙදාහැරීම සඳහා ද බහුලව භාවිතා කරනු ලැබුවේ මෝටර් බයිසිකලයයි. ඒ අනුව කෝවිඩ් වසංගතය හමුවේ පසුබෑමට ලක්වූ ග්‍රාමීය, නාගරික ආර්ථිකය නැවත යථා තත්වයට පත්කිරීම සඳහා ඉතා වැදගත් මෙවලමක් වශයෙන් ද මෝටර් බයිසිකලය හැඳින්වීමේ කිසිදු වරදක් නැත. 

කෙසේවුවද වර්තමානයෙහි මෝටර් බයිසිකල් ආනයනය සඳහා පනවා ඇති තහනම හේතුවෙන් ග්‍රාමීය හා නාගරික ජනතාව මෙන්ම රජයේ සහ පුද්ගලික අංශවල සේවකයින්ද දැඩි ලෙස අපහසුතාවයට පත්වී තිබෙනවා. එසේම මෝටර් බයිසිකල් අලෙවිය තම ජීවනෝපාය කරගත් අලෙවි නියෝජිත ආයතන සහ එම ආයතනවල සේවය කරනු ලබන සේවකයින් ද අන්ත අසරණ බවට පත්වී සිටිනවා. තව ද මෝටර් බයිසිකල් ආයනයන කරන ලද සමාගම් විශාල ප්‍රමාණයක් ද තම සේවකයින්ට පඩිනඩි ගෙවීමේ අපහසුතාවයන්ට මුහුණ පාලා තිබෙනවා. මේ හේතුවෙන් දහස් ගණනකගේ රැකියා අහිමි වීමේ තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. 

මේ සම්බන්ධව මහජනතාව විසින් මා වෙත ඉදිරිපත් කරන ලද දුක්ගැනවිලි කිහිපයක් මම සභාගත කරනවා, හැන්සාඩ්ගත කරනවා. මීට අමතරව රජයට සැලකිය යුතු බදු ආදායමක් ද අහිමි වන අතර බැංකු සහ මූල්‍ය සමාගම්වලට ද මෙමඟින් ඉතා අහිතකර බලපෑමක් එල්ල වී තිබෙනවා. මෙම ආනයන තහනම ක්‍රියාත්මක කිරීමේ හේතුව විදේශ විනිමය පිටතට ගලායෑම වැළැක්වීම බව රජය නියෝජනය කරන ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කළ ද ආනයන කාලසීමාවන් සැලකීමේදී ණයවර ලිපි නිකුත් කිරීමෙන් අනතුරුව මුදල් පිටතට යන්නේ අවම වශයෙන් මාස හයක කාලසීමාවකට පසුව බැවින් හැකි ඉක්මනින් මෙම තහනම ඉවත් කිරීමේ කිසිදු බාධාවක් නිරීක්ෂණය වන්නේ නැත. 

මේ කරුණු සම්බන්ධව මෝටර් බයිසිකල් ආනයන සමාගම් විසින් සකස් කරන ලද වාර්තාවන් මම සභාගත කරනවා. එසේම මෙම ආනයන තහනම ඉවත් නොකරන්නේ නම් දේශීය වශයෙන් මෝටර් බයිසිකල් නිෂ්පාදනය කිරීම සදහා යම් වැඩපිළිවෙලක් පැවතිය යුතු නමුත් එවැනි කිසිදු වැඩපිළිවෙලක් මෙතෙක් ක්‍රියාත්මක කර නැහැ. 

මෙම පසුබිම යටතේ ජාතික වැදගත්කමකින් යුත් හදිසි කාරණයක් සේ සලකා පහත ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු සහ පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙනවා. 

1. මෝටර් බයිසිකල් ආනයනය සඳහා තහනමක් පැනවීමට හේතුවූ කරුණු මොනවාද ? එම තහනම වහාම ඉවත් කිරීමට රජය කටයුතු කරන්නේද ? නොඑසේ නම් ඊට හේතු මොනවාද ? 

2. මෝටර් බයිසිකල් ආනයනය සදහා පනවා ඇති තහනම හේතුවෙන් සාමාන්‍ය ජනතාව මෙන්ම රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින් ද ආනයන සමාගම් සේවකයින් ද අලෙවි නියෝජිතයින් හා ඔවුන්ගේ යැපෙන්නන් ද අන්ත අසරණභාවයට පත්ව ඇති බව රජය පිළිගන්නවාද ? නොඑසේ නම් ඊට හේතු මොනවාද ? 

3. දේශීය වශයෙන් මෝටර් බයිසිකල් නිෂ්පාදනය කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් රජය සතුව තිබේද ? එසේ නම් ඒ සම්බන්ධව මේ ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද ?" යනුවෙනුයි ඒ මහතා ප්‍රශ්න කළේ. 

RN