අප තවදුරටත් වික්ටෝරියානු දම්වැල් වල සිරවී සිටිය යුතුද?

අප තවදුරටත් වික්ටෝරියානු දම්වැල් වල සිරවී සිටිය යුතුද?

22 September 2020 07:41 pm

අද දිනයේ මව්බිම පත්තරයේ වාර්තා කර තිබූ එක් පුවතක් බවට පත්වූයේ "ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව චෝදනා ලද තරුණයන් දෙදෙනෙකුට එරෙහි නඩුව හෙට" බවයි.

එහි තවදුරටත් සඳහන් වූයේ "පුරුෂ පුරුෂයන් අතරේ ලිංගික ක්‍රියාකාරකම් සිදුකිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් තරුණයන් දෙදෙනෙකුට දඬුවම් නියම කිරීම සඳහා හෙට දිනයේ නඩුව කැඳවන බවයි.

ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වය පිළිබඳව අත්අඩංගුවට ගැනීම සිදු වූ පළමු හෝ අවසන් අවස්ථාව මෙය නොවනු ඇත.

2016 වර්ෂයේ දී සමලිංගිකත්වය යන වරද යටතේ පුද්ගලයින් 33 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර 2017 දි 6ක් සහ 2018 වර්ෂයේ දී පුද්ගලයින් 9 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. (sri lanka police report)

1883 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ යටත් විජිතයක් බවට ශ්‍රී ලංකාවේ පත්තුව තිබූ යුගයේ අප රටේ නීති සහ සංස්කෘතිය වෙනස් කරමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ලංකාවට දායාද කළ දණ්ඩ නීති සංග්‍රහයේ අංක "365" සහ "365 "අ" වගන්තිය යටතේ සමලිංගිකත්වය වරද බවට පත්ව තිබෙන්නේ "එය අස්වාභාවික ලිංගික එක්වීමක්" ලෙසට නම් කරමින්. (නමුත් මෙය LGBTIQ ප්‍රජාවටම බලපා ඇත)

වික්ටෝරියානු සමාජය තුළ පැවැති කතෝලික ආගමික බලපෑම් සමග ස්ත්‍රීයක් සහ පුරුෂයෙක් අතර ලිංගික එක්වීම ස්වාභාවික යැයි සැලකූ අතර සමලිංගික යැයි යම් කිසි කෙනෙකු ඔප්පු වුවහොත් ඔවුන් ජීවිතක්ෂයට පත්කිරීමේ දඬුවම පවා ක්‍රියාත්මක විය.

ඒ අනුව නූතන පරිගණකයේ පියා වන "ඇලන් ටියුරින්" මිය යන්නේ ද මේ දඬුවමෙ ප්‍රතිඵලයක් වශයෙනි. අදටත් මේ අහිමි වීම සිහිවීම පිණිස ඇපල් සමාගමේ ලාංඡනය අඩක් කා ඇති ඇපල් ගෙඩියක සළකුණ ගන්නේ ඇලන් ටියුරින්  හට වස ලබාදුන් ඇපල් ගෙඩිය සිහිපත් කිරීමටයි.

සමකාමී බව මානසික රෝගයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද සදහන් කර ඇති අතර මෙය වරදක් යැයි මූලිකම නීති සම්මත කළ රටවල් ද මේ නීති ඉවත් කළේ සියල්ලටම වඩා මනුෂ්‍යත්වය ඉහළ බව පිළිගැනීම සඳහායි. 

එමෙන් ම බහුතර සංස්කෘතිමය ජනතාවක් ජීවත්වන අසල්වැසි ඉන්දියාව ද මේ දණ්ඩ නිති සංග්‍රහයේ නීතිය ඉවත් කළේ මනුෂ්‍යයෙකුගේ ලිංගික දිශානතිය පිළිබඳව තීරණය කිරීමටත් එයට බලපෑම් කිරීමටත් ඔවුන්ට මිනිසුන් හැකියාවක් නොමැති වග පසක් කරමින්.

වික්ටෝරියානු සංස්කෘතියට ඉහළින්ම විරෝධය පාන ලංකාවේ මිනිසුන් තවමත් වික්ටෝරියානු සීමා වලට ලඝු වී ජීවත් වීමත් සමගම අපේ රටේ නීති එවැනි නිදහස් චින්තනයකින් යුතු ව පනවනු ඇති බවට අපට සිතිය නොහැකියි.

නමුත් ලිංගික දිශානතිය පදනම් කරගෙන පවුලේ ඉඩ අහිමි වන දරුවන් අප දැක ඇත්තෙමු, තමන්ට ඇති ඉඩම් සහ නිවාස අයිතිය පුද්ගලයන් ද අප දක්වා ඇත්තෙමු. 

එවැනි පසුබිමක් යටතේ අප කල්පනා කළ යුත්තේ ලිංගික දිශානතිය මත කිසිවෙකුටත් වෙනස්කොට සැලකීම සහ කොන්කොට සැලකීම සිදුවන පරිසරය වෙනස් කිරීමටයි.

දිනක ඔබගේ දරුවා හෝ සහෝදර සහෝදරියන් හෝ යහලු යෙහෙලියන් ලිංගික දිශානතිය මත ඔබට වඩා වෙනස් පුද්ගලයෙක් යැයි දැන ගත් පසු ඔවුන් ඔබගෙන් ඈත් කිරීමට ඔබට හැකියාවක් පවතිනවා ද?

ඔවුන්ගේ උපතින් හිමි දිශානතිය මත අපරාධකරුවන් බවට පත්ව සිර ගෙදරකට සීමා කරන්නට මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔබට හැකියාවක් පවතිනවාද?

ඊටත් වඩා බ්‍රිතාන්‍යයන් අපට යටත් විජිත කාලයේ දී ඔළුව බන්ධනය කළ මෙම වහල් බවේ නීතින් තවදුරටත් කර මත තබාගෙන අප ගමන් කරනවාද යන්න මේ මොහොතෙහි තීරණය කළ යුතුයි.

හෙට දිනයේ ඔවුන්ට ලැබෙන තීන්දුව කුමක් වුවත්, එයින් අපේ මනුෂ්‍යත්වය මැන ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

සටහන -
ජනමාධ්‍යවේදී සහ මානව හිමිකම් ක්‍රියාකාරී 
කෞශාල් රණසිංහ