හේමසිරිට එරෙහි මෛත්‍රීගේ මාධ්‍ය නිවේදනය ගැන කොමිසමේ තීන්දුව හෙට

හේමසිරිට එරෙහි මෛත්‍රීගේ මාධ්‍ය නිවේදනය ගැන කොමිසමේ තීන්දුව හෙට

22 September 2020 07:05 pm

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ලබා දී තිබෙන සාක්ෂි සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ද්වේශ සහගත කරුණු බවට හිටපු ජනධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් විසින් පළකර තිබූ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් කොමිසමේ අවධානය යොමුව තිබෙන අතර ඒ සම්බන්ධ නියෝගය හෙට (23) කොමිසමේ කටයුතු ආරම්භ කිරීමට පෙර ලබා දෙන බව සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය මහතා ඒ සම්බන්ධයෙන් කොමිසමේ අවධානයට යොමු කළ අතර ඔහු කරුණු දක්වමින් පැවසුවේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා වන සිතාසි යොමුකර තිබෙන තත්ත්වයක් තුළ  හා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඔහුගේ නීතිඥයින් සෑම දිනකම පාහේ කොමිසම හමුවේ පෙනී සිටින තත්ත්වයක කොමිෂන්  සභා පනතද උල්ලංඝනය කරමින් මාධ්‍ය නිවේදනයක් යොමු කර ඇති බවයි.

එම මාධ්‍ය නිවේදනය හරහා තමන්ගේ සේවා දායකයා වන හේමසිරි ප්‍රනාන්දු මහතා තැතිගැන්මකට හා බියකට පත්ව සිටින බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

හිටපු ජනධිපතිවරයා තවදුරටත් දේශපාලඥයෙකු ලෙස කටයුතු කරන අතර ඔහු වත්මන් පාර්ලිමේන්තුවේද මන්ත්‍රීවරයෙකු වන බවත් දේශපාලන පක්ෂයකය නායකයෙකු බවත් ඩිල්ශාන් ජයසූරිය මහතා පැවසුවේය.

පවතින තත්ත්වය මත හේමසිරි ප්‍රනාන්දු මහතාට ජීවිත තර්ජනයක් පවා පවතින පසුබිමක මාධ්‍ය නිවේදන හරහා ප්‍රතිචාර දැක්වීම නවතා දැමීමට කොමිසම විසින් කටයුතු කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.

ඉදිරියේදී කොමිසම හමුවේ පෙනී සිටින සක්ෂිකරුවන්ටද මෙය බලපාන අතර අවංකව කොමිසම හමුවේ සත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් බියක් සැකයක් ඇති විය හැකි බවද ජනධිපති නීතිඥවරයා කියා සිටියේය.

''මෙය අයහපත් ප්‍රවණතාවක්. මෙය සාක්ෂිකරුවන්ට කළ බලපෑමක්. මේ වන විටත් කොමිසම හමුවේ නොබියව සාක්ෂි ලබා දීමට මගේ සේවාදායකයා වන හේමසිරි ප්‍රනාන්දු මහතාත් බියක් දක්වනවා. එමෙන්ම අපක්ෂපාතිව කරගෙන යනු ලබන මෙම විමර්ශනයට ද එය බාධාවක්. ඒ නිසා මෙය නැවත දැමිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් මෙම ගරු කොමිසම හමුවේ  ඉල්ලා සිටිනවා.'' යනුවෙන් ජනාධිපති නීතිඥවරයා පවසන ලදී.

සක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීමේ අවස්ථාව ලබා දී තිබියදීත් මෙලෙස මාධ්‍ය නිවේදන නිකුත් කරමින් සාක්ෂිකරුවන්ට බලපෑම් කරමින් සිටින බවයි ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව අද දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙනී සිටිමින් පැවසුවේ සිය සේවාදායකයා හා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජනය කරමින් රදගුරු මණ්ඩලය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ලබා දුන් සාක්ෂියට එරෙහිව පළකළ මාධ්‍ය නිවේදනය හා සමාන මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බවයි. 

මෙහිදී අගරදගුරු හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් පැවසුවේ සිය සේවාදායකය වෙනුවෙන් රදගුරු මණ්ඩලය නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනය හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඔහුගේ පෞද්ගලික ලේකම් ඉදිරිපත් කර තිබෙන මාධ්‍ය නිවේදනය සමාන නොවන බවයි.

''මෙම කොමිසම හමුවේ අගරදගුරු හිමිපාණන් මෙන්ම සෙසු රදගුරු හිමිවරු කොමිසමේ සාක්ෂි ලබා දී තිබෙනවා. හරින් ප්‍රනාන්දු මහතාත් සාක්ෂි ලබා දී තිබෙනවා. හරස් ප්‍රශ්න විමසීමත් අවසන්. මාගේ සේවාදායකයා අදාළ  දැනුවත් කිරීම කර තිබෙන්නේ කතෝලික ජනතාවගේ දැනගැනීම සඳහා. ඒ නිසා මේ මාධ්‍ය නිවේදනය දෙක සමාන වෙන්නේ නැහැ.''

මෙහිදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයාද  කරුණු දැක්විය. 

තමන් විසින් අදාළ පැමිණිල්ල කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙන්නේ සිය සේවාදායකයා අදාළ මාධ්‍ය නිවේදනය හරහා  තැතිගැන්මට හා බියට පත් වී ඇති නිසාත්  අනෙක් කාරණය  එමඟින්  කොමිසමට  අපහාසයක් වී ඇති නිසාත් බව ඩිල්ෂාන් ජයසූරිය මහතා පවසන ලදී. 

 ඒ නිසා අදාළ මාධ්‍ය නිවේදනය ඉදිරිපත් කළ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සහ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව කොමිෂන් සභා පනතේ  16 වැනි වගන්තිය අනුව නෛතික  ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔහු කොමිසමෙන් ඉල්ලා සිටියේය. 

මේ සම්බන්ධයෙන්  කරුණු දක්වමින් කොමිසමට සහය දක්වන  අතිරේක සොලිසිටර් ජනරල්වරිය කරුණු දක්වමින් පැවසුවේ වහාම මෙය නැවත්විය යුතු  අතර හිටපු ජනාධිපතිවරයාගේ  මුහුණු පොතේ තිබෙන අදාළ  පොස්ටුව ඉවත් කළ යුතු අතර කර තිබෙන වරදට නෛතිකක්‍රියාමාර්ග ගැනීම කොමිසම වෙත පවරන බවයි.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින මෛත්‍රී ගුණරතන මහතා කරුණු දක්වමින්  පැවසුවේ මෙම කොමිසමට අපහාසයක් හෝ දුෂ්කරතාවක් මතුවන්නේ නම් අදාළ  පොස්ටුව හිටපු ජනාධිපතිවරයාගේ  මුහුණු පොතෙන්  ඉවත් කිරීමට හැකි බවය.

ඒ අනුව හෙට දින මේ සම්බන්ධයෙන් අදාළ  නියෝගය ලබා දෙනු ඇත.