සිංහලයාගේ නම් හා සිංහල ජාතියේ ඉතිහාසය

සිංහලයාගේ නම් හා සිංහල ජාතියේ ඉතිහාසය

21 September 2020 09:23 am

නලින් ද සිල්වාගේ ප්‍රවාදයක් තමයි සිංහලයින්ගේ ඉතිහාසය පාරම්පරික අඛණ්ඩත්වයක් තියෙනවා කියන එක. හැබැයි මේක ඔහේ කියල දාන එකක් විනා පදනමක් ඇතිව කරන ප්‍රකාශයක් නෙවෙයි. සිංහල අනන්‍යතාවයේ ඉතිහාසය කොයිතරම් ඛණ්ඩනයක්ගෙන් යුක්තද කියල තේරුම් ගන්න තිබෙන හොඳම සාධකයක් තමයි පුද්ගල නම්. සාමාන්‍යයේ  වර්තමානයේ   සිංහලයින් අතර භාවිත වන පුද්ගල නම් බලල දළ වශයෙන් කෙනෙක් අයත් වන්නේ කුමන වයස් කාණ්ඩයකටද කියල කියන්න පුළුවන්. ඒ කියන්නේ පුද්ගන නම් සංචිතය නිතරම අළුත් වෙනව. නම් සම්බන්ධයෙන් මෙවැනි තත්වයක් දැකිය හැකි සමාජයක් මට තවය හමුවෙලා නැහැ. 

සිංහලයින් අතර දැනට තියෙන නම් ව්‍යුහය (වාසගම පුද්ගල නම් සහ අගට ඈදන කොටස) ලන්දේසි කාලයේ තෝම්බු සකස් කිරීමේ ක්‍රමය නිසා ඇති වූ එකක් බවයි මගේ අදහස. නමුත් විශේෂිත් පුද්ගල නම් කියන්නෙ තනිකරම නූතන සංසිද්ධියක්. තෝම්බු කාලය දෙස බැලුවහොත් වර්තමානයේ ඇති පුද්ගල නම් (උදා මගේ නිර්මාල් රංජිත් කොටස) දක්නට ලැබුණේ පහළ කුළවල ජනයාට පමණයි. ඒ්ව පවා බොහෝ විට ගර්හා සහගත යෙදුම්. ඒකට හේතුවත් තියෙනව. ටිකක් දිග පැහැදිළි කිරීමක් අවශ්‍ය එකක්. ප්‍රධාන සාධකයක් තමයි නම් ලියාපදිංචි කරන මුලාදෑනින්ගේ බලපෑම. ඒ අය බොහෝ විට පහළකුල ජනයාට අමතන ගර්හාසහිත නම් (වර්තමාන විශ්වවිද්‍යා ව්‍යවහාරය අනුවනම් කාඩ්එක) පුද්ගල නමේ කොටසක් ලෙසම ලියා පදිංචි කිරීමේ නැඹුරුවක් දැක්වූ බව සිතිය හැකියි. උදා. දෙමටගොඩගේ මුංගුලියා වැනි නම් දැකිය හැකියි.  සෙසු අයට වත්මන් අර්ථයෙන් පුද්ගල නම් තිබුණෙ නැහැ. 

උදාහරණයක් ගනිමු.

පවුලක දරුවන් තිදෙනෙක් සිටී. ඒ මෙසේය
රාමනායක මෝරුගමගේ ලොකු අප්පු
රාමනායක මෝරුගමගේ මද්දුම අප්පු
රාමනායක මෝරුගමගේ බාල අප්පු

මෙහි රාමනායක මොරුගමගේ යනු පවුලේ පාරම්පරික අනන්‍යතාවය අඟවන අතර අග කොටස කුල ඇඟවීම් සහිත ගෞරවණිය පදයකි (honorific suffix).

තනි පුද්ගල අනන්‍යතාව හඟවන කොටස ලෙස ඒ අනුව සැලකිය හැක්කේ ලොකු මද්දුම හා බාල යන අංග පමණි. ඒවායේ ආකෘතිය විසින්ම යෝජනා කරන්නේ ඒවා  කෘත්‍යමය වශයෙන් පවුල තුල දරුවන් තිදෙනා වෙන්කොට හඳුනා ගැනීම සඳහා පැවැති නාමකරණ බවයි. මේ නම් ව්‍යුහය එවකට පැවැති සමාජ ජීවිතයේ ස්වරූපය හඟවයි. එනම් පුද්ගල අනන්‍යතාවය වැදගත් වූයේ පවුල තුළ එකිනෙක සාමාජිකයින් වෙන්කොට හඳුනාගැනීමට පමණි. ඉන් පිටත පුදගල අනන්‍යතාවය වැදගත් වූයේ නැත. 

උඩරට ක්‍රමයේ ද මීට සමාන ලක්ෂණ දක්නට ලැබිණි. උදා: කිවුලෙ ගෙදර මොහොට්ටාල. මේ නමේ පුද්ගල අනන්‍යතාවයක් නැත් ඇත්තේ ගෘහස්ත ඒකකය හා තනතුර ආශ්‍රයෙන් හඳුනා ගැනීමක් පමණි.
 
කෙසේ වෙතත් 13වන ශතවර්ශයට පෙර තත්වය මෙය නොවිය හැක. මේ ක්‍රමය 13වන ශතවර්ෂයෙන් පසු වර්ධනය වූ නව සමාජ සැකසුම්වලට ආවේණික තත්වයකි. එම සමාජ සැකසුම් ව්‍යාහාත්මක වශයෙන් 13වන ශතවර්ෂයට පෙර අනුරාධපුර මාගම පොළොන්නරුව වැනි රාජ්‍ය මධ්‍යස්ථාන මුල්කරගෙන පැවැති සමාජ සැකසුම්වලින් මූලික වශයෙන් වෙනස්ය.
(මේ පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් තවමත් සිදුවී නොමැති බව කිව යුතුයි.)

- මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි