ලංකා බැංකුවේ මහ පුටුවේ ප්‍රශ්නය විසඳන්න ටූල් එකක් නැති මහ බැංකුව?

ලංකා බැංකුවේ මහ පුටුවේ ප්‍රශ්නය විසඳන්න ටූල් එකක් නැති මහ බැංකුව?

20 September 2020 11:45 pm

ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරි සුදත් ගුණසේකර මහතා තවදුරටත් වැඩබලන සාමාන්‍යාධිකාරි තනතුරේම තබා ගනිමින් ඉදිරියට ඇදෙන්නට මහ බැංකුව කටයුතු කරමින් හිඳිම තවදුරටත් ප්‍රශ්නසහගත තත්ත්වය අවුළුවන්නක් වී තිබේ. 

සුදත් ගුණසේකර මහතා ලංකා බැංකුවේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස වැඩභාරගන්නේ පසුගිය මාර්තු 05 වැනිදා වන අතර එතැන් පටන් තවදුරටත් ඔහුට මහ බැංකුව විසින් නිල පත්කිරීමේ ලිපිය භාර දී නැත. 

කැබිනට් අනුමැතිය සහිතව එම තනතුරට පත්ව සිටින ගුණසේකර මහතාට එරෙහිව බැංකුව තුළින්ම මතු කර තිබෙන විරෝධය මුල්කරගනිමින් තවදුරටත් බැංකුවේ කටයුතු අඩාල කිරීමට එකී කණ්ඩායම කටයුතු කරමින් හිඳිම ඉතාම කණගාටුදායක තත්ත්වයකි. 

ඔහු වැඩභාරගන්නා දිනයේදීම කළු කොඩි දමා එයට විරෝධය පළකිරීමත් පසුව Banking System එකම උපයෝගී කරගෙන Online රැස්වීමක් පවත්වා    ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රසල් ෆොන්සේකා ප්‍රමුඛ කණ්ඩායම විසින් දිනක් සමස්ත ලංකා බැංකු පද්ධතියම වැඩ වැරුමකට යොදවා ගෙන තිබුණි. 

මෙලෙස රජය විසින් ගත්  තීන්දුවකට අභියෝග කරමින් හිඳින්නේ රජයේම සේවක පිරිසකි. නිසි පටිපාටියකට අනුව කර තිබෙන මෙම පත්කිරීම සම්බන්ධයෙන් නිලභාවය නොදී මෙතරම් දුරට මහ බැංකුව මඟ හැරසිටීම එක් අතකින් පුදුමය දනවන්නකි. 

මෙම තත්ත්වය සම්බන්ධයෙන් මීට ඉහත අවස්ථා කිහිපයකදීම එම සම්බන්ධයෙන් අපි සවිස්තර වාර්තා ගෙනවිත් තිබෙන අතර ඊට අපට ප්‍රතිචාරද ලැබී තිබුණි.

පිළිතුරු දීමේ අයිතියට හැමවිටම අප ගරුකර එය කිසිදු සංස්කරණයකින් තොරව පළකරන නමුත් මෙම කාරණයේදී  එය පළකරන්නට අප කටයුතු නොකළේ ප්‍රධාන කාරණා දෙකක් පදනම් කරගෙනය. ඉන් එකක් වන්නේ එම ප්‍රතිචාර දක්වා ඇති ලිපියේ කිසිදු වගකීම් සහගතභාවයක් පෙනෙන්නට නොතිබීමය. අනෙක පෞද්ගලික කරණා උලුප්පා කතාව වෙනත් මානයකට ගෙන යාමට කටයුතු කර තිබීමය. 

එහෙයින් අප කියන්නේ වලංගුභාවයක් සහිතව යොමුකරන ලෙසය. 

එය එසේ වන විට සාමාන්‍යාධිකාරීවරයා ලෙස නිල බලයක් ලැබෙන තෙක් සුදත් ගුණසේකර මහතාට  බැංකුවේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම දැඩි දුෂ්කර කටයුත්තක් වන අතර රසල් ෆොන්සේකලා සති පතා පැවැත්වෙන ප්‍රධාන රැස්වීම්ද මඟහරිමින් බැංකු පද්ධතිය අර්බුදයට යාමට ඉඩ සලස්වා ඇති බවයි මේ සම්බන්ධෙයන් තතු දන්නෝ පවසන්නේ. 

සුදත් ගුණසේකර මහතා සිය නිල බලය නිසි ක්‍රමවේදයට යටත්ව ලද සැණින් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින විමර්ශනය පිළිබඳ රසල් ෆොන්සේකලා තැතිගැන්මකට පත්ව සිටින අතර එය වළක්වා ගැනීම සඳහා කෙසේ හෝ සුදත් ගුණසේකර නම් වූ ෆොන්සේකලාගේ බාධකය ඉවත් කරගැනීමට ඔවුන් වෙහෙසෙන බව සඳහන්. 

ආන්දෝලනයට තුඩු දුන් 2015 මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව අර්ජුන් ඇලෝසියස් වෙත රුපියල් බිලියන 10ක මුදලක් නිදහස් කර තිබුණේ එවකට ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස රසල් ෆොන්සේකාය. නිසි පටිපාටියෙන් බැහැරව ඒ සම්බන්ධයෙන් කටයුතු කර ඇති අතර සුදත් ගුණසේකර සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියද ඔහුගේ නිල බලය තවදුරටත් ලැබී නොමැති පසුබිමක එය දිනෙන්  දින පසුපසට තල්ලුවෙමින් පවතින්නේ රසල් ෆොන්සේකා කල්ලියේ අරමුණ ඉටුකරමිනි. 

මහ බැංකුවද ඒ මඟම යමින් තවදුරටත් ලංකා බැංකුවේ මෙම පරිපාලන ගැටළුව ගැටළුවක් ලෙස තබා ගනිමින් බැංකුව සමඟ ගණුදෙනු කරන විශේෂයෙන් මහා පරිමාණ හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අනතුරට හෙළමින් පසුවෙයි. රාජ්‍ය බැංකු පද්ධතියේ ශක්තිවන්තයා මෙලෙස බිඳ වැටෙන්නට සැලැස්වීම කෙතරම් දුරකට,කෙලෙස සාධාරණීකරණ කරන්නද?

බැංකු අභ්‍යන්තරයේ වෘත්තීය ගැටුම් පැවතියද එය කළමනාකරණය කිරීමට මහ බැංකුව සමත් විය යුතු වුවත් ලංකා බැංකුවේ මෙම ප්‍රස්තුත කාරණයේදී මහ බැංකුවද එය බේරුම් කිරීමට අසමත් වීම ඉතා කණගාටුදායක තත්ත්වයකි. 

එක් අතකින් ඒ පිළිබඳව පුදුම විය යුතුද නැත.

පසුගිය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බිඳ වැටුණු ආර්ථිකය යළි නගාසිටුවීම සම්බන්ධයෙන් මූල්‍ය හා ෆිස්කල් ප්‍රතිපත්තිය සම්පාදනයේ වගකීම මහ බැංකුව සතු කාර්යයක් වුවද ඊට අසමත් වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ද ලක් විය. 

සෞඛ්‍ය අර්බුදය හමුවේ කඩා වැටුණු ආර්ථික යළි ගොඩනැගීම වෙනුවෙන්  ලොව බොහෝ රටවල මහ බැංකු මෙවලම් හඳුන්වා දී තිබුණද ශ්‍රී ලංකා මහ බැංකුවට එවැන්නක් කරගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ඒ සඳහා පැය 24ක කාලයක් ලබා දීමට ජනාධිපතිවරයාට සිදු විය. 

එම නියෝගයෙන් පසු රැය පහන්වනතුරුම මහ බැංකු නිලධාරීන් කළේ  ඉදිරි වැඩපිළිවෙල සකස් කිරීමය. ඒ ඇඟිල්ලෙන් ඇන කීවාටත් පසුවය. 

ආර්ථිකය යලි නංවන්න මහ බැංකුවට ටූල් නැත්නම් ජනාධිපතිවරයා ලෙස තමන් ඉදිරිපත් කර තිබෙන යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසට අවධාරණය කරන තැනට ජනාධිපතිවරයා පත්වන තෙක් නිහඬව සිටි මහ බැංකුව ලංකා බැංකුවේ මෙකී පරිපාලන ගැටළුව තවදුරටත් කරේ තබාගෙන යාම එක අතකින් සාමාන්‍ය තත්ත්වයක් ද විය හැකිය. 

එහෙයින් ලංකා බැංකුවේ මහ පුටුවේ ප්‍රශ්නය නිරාකරණය කර විශ්වසනීය ලෙස ඉදිරි කටයුතු කරගෙන යාමට ලංකා බැංකු ඉහළ පරිපාලනයට අවශ්‍ය කටයුතු සලසන ලෙස මහ බැංකුවට ඇඟිල්ලෙන් ඇන කීමට සිදුව ඇති තත්ත්වයක් උදා වී තිබෙන බවයි දැන්නම් පෙනෙන්නට ඇත්තේ. 

සබැඳි පුවත් : ලංකා බැංකුවේ අභ්‍යන්තර අර්බුදය: මහ බැංකුව සුදත්ට පත්වීම් ලිපිය නොදෙන්නේ බැඳුම්කර වංචාව යටගහන්නද?

                   ලංකා බැංකුවේ අභ්‍යන්තර අර්බුදය: සුදත්ව ගෙදර යවන්න හදන්නේ රසල් මහ බැංකු බැඳුම්කර වංචාවට හවුල් නිසාද?

                   ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව කල්ලිවාදී උගුලක - CID විමර්ශනයක අවශ්‍යතාවත් මතුවෙයි