හොඳින් ඇහැරෙන්න ඕනිනම් හොඳින් නිදාගන්න ...

හොඳින් ඇහැරෙන්න ඕනිනම් හොඳින් නිදාගන්න ...

20 September 2020 09:56 am

මිනිහෙක් හුදකලා සත්වයෙක් හැටියට පවතිනවා වගේම යම් සමුහයක් ලෙසත් අනන්‍යතාවක් බලාපොරොත්තු වෙනවා. ගොඩක් වෙලාවට ඉතිහාසය ඇතුලේ කෘෂි කර්මාන්තයේදී වගේම තමන්ගේ ආරක්ෂාවට යුද්ධ කරද්දීත් සමුහයක අවශ්‍යතාව මිනිසාට ඇතිවෙලා තිබෙනවා. පවුල කියල කියන්නෙත් තනි මිනිසාට වඩා වැඩි දෙයක්. මිනිසාට තනිකම කියන එක ඉතාම ගැඹුරු පැවැත්මේ සාංදෘෂ්ථික ප්‍රශ්නයක් නිසා ඒ තනිය නම් විෂාදය මකන්න තව කෙනෙක් දිහා බලන්න වෙනවා. ආදරය පටන් ගන්නේ මෙතැනින් වෙන්න ඕනි. පිරිමියාට තනි නිසා ගැහැණියකුත් මැව්වා කියල ක්‍රිස්තියානිය කියනවා. එතන ඉඳලා වෙන්න ඇති ගැහැණිය මිනිසා ගේ ඓතිහාසික, ආගමික, අධ්‍යාත්මික අනේකත්වය වෙන්නේ. 

මේ සියල්ල මම කිව්වේ මිනිසාට තනිවම ජීවත් වෙන්න බැහැ කියන එක පෙන්නා දෙන්න වගේම සාමුහික බව කියන එක වැදගත් මිනිස් පැවැත්මේ සාධකයක් කියන්න. සාමුහික බව කියන එක ලොකුවට සලකන්නේ මාක්ස්වාදය. මොකද ඉතිහාසය පුරා මිනිස්සු අරගල කරලා පීඩාකාරී සමාජ ක්‍රම පෙරළලා දමල අලුත් එකක් නිර්මාණය කරගැනීම පිණිස සාමුහික බව ඕනි උනා කියල කියන ප්‍රවාදයේ දී මාක්ස්ට ඒක ඕනි වෙන්න ඇති. නමුත් නූතන සමාජය තාක්ෂණය මුල් කරගත් ජීවිතයක් කරා යන්න ගත්තම අර සාමුහික පැවැත්ම, ඒ කියන්නේ මේ දක්වා රංචුවක් විදියට එකිනෙකා මත පරායත්ත වෙච්ච මිනිස්සු, සාපේක්ෂ නිදහසක් භුක්ති විඳින්න ගන්නවා. මේක තමයි තාක්ෂනය මුල් කරගත්ත තාක්ෂණ ධනවාදයේ (techno- capitalism) ලොකුම ජයග්‍රහණය. නමුත් සමාජයේ එක් කොටසකට පමණක් නිෂ්පාදන උපකරණවල අයිතිය හිමි වුණොත් නැවතත් අර පරායත්ත බව සාධකයක් ලෙස පවතින්න පුළුවන්.  

සාමුහික බව (collectivism) සහ සහයෝගීතාව (solidarity) යම් විප්ලවීය ක්‍රියාවක් සඳහා අවශ්‍ය වෙනවා කියන එක තවමත්, ඒ කියන්නේ අධි තාක්ෂණික යුගයක පවා, ඇත්තක් වෙන්න පුළුවන්. හැබැයි මේ සාමුහික බව ඇතුලේ දිගහැරෙන ඉතාම තිරස්චීන සහ ම්ලේච්ඡ මානසිකභාවයන් ගැන විශාල හැදෑරීම් ප්‍රමාණයක් විසි වෙනි සියවසේ සිදු වෙලා තියනවා. ඒ අධ්‍යයන බොහොමයක් පටන් ගන්නේ නාසිවාදයේ ආගමනය එක්ක. 

නාසිවාදය පටන් ගන්නේ ම සමාජවාදී සළුපිළි ඇඳගෙන. ඉතාම ඉහල සාමුහික බවක් එක්ක. පොදු සතුරෙක් කේන්ද්‍ර කරගෙන. ඒ රැල්ල ලෝකයේ ආධිපත්‍යය තමන් අතට ගන්න තරම් සමත් උණා එක මොහොතක. 

ඔවුන් ප්‍රධාන වශයෙන් සිදුකළේ මේ සාමුහික බව හරහා 'පොදු අවිඥාණයක්' (collective unconscious) නිර්මාණය කරගත්ත එක. ඒක සමාජ රැල්ලක් වගේ දෙයක්. පොදු සතුරෙක් කේන්ද්‍ර කර ගත්තම (යුදෙව්වා, දෙමළා, මුසල්මානුවා වගේ) මේ රැල්ල හදන්න පුළුවන්. 'බිය ගැන්වීම' වටාත් මේ රැල්ල හදන්න පුළුවන් (අපේ නිර්මල සංස්කෘතිය වනසන්න එන බටහිර අධිරාජ්‍යවාදය වගේ දෙයක්). ඕනෑම තිරස්චින ක්‍රියාවක් කරන්න පුළුවන් ධෛර්යය (ඒ කියන්නේ ගට් ෆීලින් එක) මේ සාමුහික අවිඥාණය එක්ක පුද්ගලයෙක් වෙතට සේන්දු වෙනවා. අසූවේ කළු ජූලිය වගේ දෙයක් ලංකාවේ උදාහරණ. ඔක්කොම එකතු වෙනවා. පාරට බැහැල ගෙවල් ගිණි තියනවා. සදාචාරය, හරි වැරැද්ද, යාළුකම, අසල්වැසිකම වගේ අතිශය පුද්ගලික සාධක පවා එතැනදී අර සාමුහික අවිඥාණයට යටවෙනවා. තමන් එක්ක සියවස් ගණනක් එකට හිටපු යුදෙව්වා - දෙමලා - මුසල්මානුවා මරල දාන්න යන්නේ සුළු වෙලාවයි. මේ සියල්ල මෙහෙම උණත් The Pianist වගේ චිත්‍රපටයක් මොන තරම් සාමුහික නපුරක් යටතේ උනත් නොමියෙන අර පුද්ගල යහපත පිළිබද සාධකය ඉස්මතු කරනවා. ඒවා සුවිශේෂී තත්වයන්.

ඒ වගේම අපේ අවිඥාණයේ ගුලිවෙලා හිටපු ඉතාම අදුරු නපුරු සෙවනැලි නැගිටින්නෙත් මේ 'සාමූහික අවිඥාණය' ඇතුලෙම තමයි. අල්ලපු වැටේ ඉන්න එකා එක්ක තරහක්, ඊර්ෂාවක් කැකෑරි කැකෑරී තිබ්බ නම් අර රංචුවක් බැහැල ගෙවල් ගිණි තියන කොට කෙනෙක්ට හොඳ චාන්ස් එකක් හම්බ වෙනවා අර පුද්ගලික තරහ පාකරගන්න. කළු ජූලියේ ගොඩක් තිබ්බේ මේ වගේ 'පුද්ගලික දේවල්' කියන එක ෂාම් සෙල්වදොරේ ගේ Funny Boy කියවන කොට තේරෙනවා. නවක වධය වගේ සාමූහික ක්‍රියාවක් ඇතුලේ උනත් තියෙන්නේ මේ වගේ පුද්ගලික දේවල් ටිකක්. විශේෂයෙන් කෙල්ලක් යාළු කරගැනීම වගේ. අශ්ලීල ආශාවක් රඟදැක්වීම වගේ. තමන්ට වඩා වෙනස් පෞරුෂයක් පොඩි පට්ටම් කර දැමීම වගේ. ටිකක් පොෂ් කෙනෙක් නම් එයාව හෙලා දැකීම, ලැජ්ජා කිරීම වගේ. 

ඔන්න දැන් අපිට යම් න්‍යායික ආලෝකයක් තියෙනවා. එකක් තමයි සාමූහික බව ඉතාම පුද්ගලික අඳුරු ආශා තලයක් නඩත්තු කරන්න සහ එම ආශාවන් අත්පත් කරගන්න පාවිච්චි වෙන එක. අනික තමයි ඉතාම ඉහල ගණයේ සමාජ අරමුණු අත්පත් කර ගන්නත් මේ ඉහත සාමූහික බවම පාදක වීම. ඒ කියන්නේ සාමුහික බව දෙවිදියකට ක්‍රියාත්මක වෙලා තියනවා ඉතිහාසය ඇතුලේ.
සාමූහික බව මිනිස් ඉතිහාසය පුරා ක්‍රියාත්මක වන මේ ද්වෛතික බව මුල් වතාවට මනෝ විශ්ලේෂණ අධ්‍යනයන් සඳහා අරන් එන්නේ කාල් යුං. 

මිනිසා තම අධ්‍යාත්මයෙන් කොතරම් ඉහළට ගියත් මිනිස් ශිෂ්ටාචාරය ගොඩනැගිලා තියෙන පෞරාණික මූලාකෘතියේ පොදු අවිඥාණයෙන් එයාට ගැළවෙන්න බැහැ කියල යුං තමන්ගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ කියනවා. පැවැත්ම වෙනුවෙන් ඉතිහාසය පුරා මිණී මරල තියන අපි ඒ මූලාකෘතික මතකය (archetypal memory) ඔස්සේ කොයි මොහොතක හරි කුමන හෝ විදියක නොමිනිස් ක්‍රියාවක් කරන්න තියන ඉඩකඩ වඩා වැඩී. නිකම් හිතලා බලන්න අර අපේ පැරණි චිත්‍ර සහ මූර්ති වල තියන අපායේ වධ දෙන හැටි. ඒවම තමයි අපේ අය 88 -89 කාලයේ අනුගමනය කළෙත්. 

කවටයාමුණ අපාය චිත්‍ර සහ මූර්ති කියන්නේ අපේ ඉතිහාසයේ මූලාකෘතික මතකයක්. හැම රටකම හැම ජාතියක් අතරම මේවා පොදුයි. අපේ ඇතැම් අපාය චිත්‍ර මොනතරම් රෞද්‍රයිද කියනවා නම් සමහර පන්සල් වල විහාර ගෙට හාමුදුරුවරු රෑ බෝ වෙලා යන්නෙත් නැහැ. සබරගමුවේ එක් ලෙන් විහාර ගෙයක අපාය චිත්‍ර තද සායමක් දාල මකල තියනවා. හාමුදුරුවන්ගේ අනුදැනුම ඇතුව. 

නැත්නම් ගැහැණු අය මල් තියන්න, බුදුන් වඳින්න යන්න බය නිසා. ඔන්න ඕකයි තත්වය. සංස්කෘතිය ඇතුලෙ ම තියනවා අපි සංස්කෘතික නොවනවා කියල හිතන දෙය. ආගම ඇතුලෙම තියනවා ආදරය සහ මෛත්‍රිය නොවන දෙය.  

විසි වෙනි සියවස පටන් ගන්න කොටත් ඉතාම ඉහළ සංස්කෘතික ශිෂ්ටබවක් අත්පත් කරගෙන හිටපු ජර්මන් ජාතියටත් එහෙම උනානම් අනික් අපි ගැන කුමන කතාද? ගොඩක් හොඳට උසස් පෙළ වගේ විභාගයක් පාස් වෙන ළමයි විශ්ව විද්‍යාලෙට ගියාම දැන් දෙන්නේ ඔන්ලයින් නවක වධය. ඒ කියන්නේ උගත්කම, දැනුම, තර්ක බුද්ධිය වගේ දේවල් වලට බැරි වෙලා තියනවා මිනිස් පැවැත්මේ නපුරු මූලාකෘතික මතකය මකා දමන්න. ඒ විතරක් නෙවෙයි මිනිස් කෘර බව තව තවත් සෞන්දර්යකරණය, ස්මාට්කරණය කරනු පිණිස බුද්ධිය වහලෙක් ලෙස යොදා ගැනෙනවා. බුද්ධිමත් කියන අය අපරාධ කරන්නේ කාටවත් හොයාගන්න බැරි විදියට. රංචුවක් හැටියට නිර්-පුද්ගල (de-personalized) වෙන්න අවස්ථාවක් ලැබුණ පළමු මොහොතේම කරන්නේ අර ඉතිහාස මතකයේ රෞද්‍ර රසය උරගා බලන එක. මිහිපිට අපාය නැවත හදන එක. මේ රෝග ලක්ෂණය ඕනෑම වෙලාවක ඕනෑම සමාජයක් තුළින් මතුවෙන්න පුළුවන්. ඒ වගේ දේකට ලොකු මානසික ඉල්ලුමක් හැම වෙලේම ඕනෑම සමාජයක් ඇතුලේ තියෙනවා. 

ඉතාම ඉහල සමාජ සංස්කෘතික මානසික අවධියක් කියල කියපු සමාජවාදයටත් බැරි උනා මිණී කඳු ගොඩ ගහන එක වලක්වන්න. අනික් හැමෝටම වගේ එයාලටත් 'මරල දාන්න තරම් සුදුසු' සතුරෙක් හම්බ උණා. කිසිම දෘෂ්ටිවාදයක් මේ පාපයෙන් නිදහස් නැහැ.  

එක්කෝ කිසිම අනාගත බලාපොරොත්තුවක් නැතුව මැරිලා යන්න හිත හදාගන්න ඕනි. නැත්නම් මිනිසාට මිනිස් මනසේ ගැඹුරින් ම පැතිරී පවතින ඊගෝව එක්ක සටන් වදින්න උගන්වන්න ඕනි. මොකද අපේ ආගම පැත්තෙන් ගත්තම ඊගෝව එක්ක කරන සටනත් අපේම ඓතිහාසිකයේ මූලාකෘතික මතකයක්. ගැඹුරු මතකයක්. දියණු පුද්ගල බවක පෙර නිමිත්තක්. 

තමාගේ ම අගතිය සමග කරන සටන තමයි උසස් ම සටන. බුදුන් මාරයා සමග සටන් කලා. තමන් සමගම සටන් කළා. මොකද තමා තුලම තමයි යක්ෂයා ඉන්නේ. දෙවියන් සහ යක්ෂයා ගැට ගසා ඇති ලණුව මිනිසා කියල නීට්ෂ කියනවා. කොයි කොණද තෝරා ගන්නේ කියන එක තියෙන්නේ මිනිසා අතේ. මිනිස් අභිලාෂය අතේ.

හොඳට නින්ද ගියොත් තමයි හොඳට ඇහැරෙන්න පුළුවන්. හොඳට ඇහැරුන කෙනෙක්ට තමයි හොඳින් නිදා ගන්නත් පුළුවන්. එහෙම කියන්නෙත් නීට්ෂ.

හොඳින් ඇහැරෙන්න ඕනිනම් එහෙනම් ඉතිං හොඳට නිදා ගන්න. මොකද ඇත්තටම ඇහැරෙන්න කාලය ළඟයි.

- මහේෂ් හපුගොඩ