විස්සේ මුල් වටයේ දිනුම ගෝටට ! අප කොතැනටද ? - සුනන්ද දේශප්‍රිය

විස්සේ මුල් වටයේ දිනුම ගෝටට ! අප කොතැනටද ? - සුනන්ද දේශප්‍රිය

19 September 2020 11:31 am

මෙම සටහන ලියන අවස්ථාව වනවිට අගමැති රාජපක්ෂගේ විස්සේ කොමිටියේ වාර්තාව අතුරුදහන් වී තිබේ. මහින්ද රාජපක්ෂ කන්දක් විළිලා කෙන්දක් වැදුවේය. නව දෙනෙකුගෙන් යුතු සිය කමිටුවේ විස්ස ගැන වාර්තාව රොල් කර අහවල් තැන ගසා ගන්නැයි ඔහුට කීවා හා සමානය. අඬබෙර ගසා ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන්නට ගෙන ගිය වාර්තාව ගෝටාගේ එක වචනයකින් ලොප් වී තිබේ.

ගෝටා කියා ඇත්තේ විසිවන සංශෝධනය තමාගේ බවත් එහි වගකීම තමන් ගන්නා බවත්ය. මෙමගින් ඇඟවෙන්නේ විස්ස පිළිබඳ සටනේ පළමු වටයේ ජය ගෝඨාභය රාජපක්ෂ ලබා ඇති බවයි. දෙවන වටයේ සටන දෙසතියකට පසු පාර්ලිමේන්තුවේදී ඇතිවනු ඇත. එහිදීද ගෝටා ජයගනු ඇති නමුත් එම ජය ලබනු ඇත්තේ බරපතල තුවාල සහිතවද යන්න කීමට තවම කල් වැඩිය.

ගැසට් කරන ලද විස්ස, වෙන කාගේවත් නොව ගෝටාගේ බව පසුගිය සතියේ මෙම තීරුවෙහි ලිවීමි. විස්සට විරුද්ධව ගෝටාගේ කටකාර 'වියත් මඟ' කටේ කෙළ බිඳුවක් හෝ හෙළුවේ නැත. ව්ස්සට විරුද්ධ ගේම ඇද්දේ ගෙවිඳු කුමාරතුංගගේ 'යුතුකම' නලින් ද සිල්වාගේ 'ජාතික චින්තනය' සහ ගුණදාස අමරසේකරගේ 'ජාතික සංවිධාන එකමුතුව' සහ වීරවංශය.

මේ සියලු දෙනාටම තිබූ ප්‍රධාන ප්‍රශ්නය වූයේ බැසිල් රාජපක්ෂය. දෙවනුව මිලින්ද මොරගොඩය. ඇමෙරිකානු පුරවැසියකුද වන බැසිල් රාජපක්ෂ විස්ස හරහා පාර්ලිමේන්තුවට පැමිණ බලවත් ස්ථානයක් අල්ලා ගනු ඇතැයි මේ පිරිස් බිය වූහ. බැසිල් රාජපක්ෂ සූක්ෂ්ම වැඩකරුවෙකි. ඒ නිසාම ඔහු රාජපක්ෂවාදී දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ සමඟ සහයෝගයෙන් වැඩ කළ යුතු බව මුල සිටම කියා සිටියේය. පාර්ලිමේන්තු බලය අල්ලා ගැනීමට, වඩා වැදගත් වන්නේ අන්තවාදී සිංහල පක්ෂ නොව දෙමළ මුස්ලිම් පක්ෂ බව ඔහුගේ මතය විය. පොහොට්ටු පක්ෂය ගොඩනැගීමේ පලංචිය බැන්දේ ඔහුය. එමෙන්ම පොහොට්ටු පක්ෂයේ පහළ මට්ටම්හි සංවිධායකයාද බැසිල්ය. අන්ත ජාතිකවාදී කල්ලි බැසිල්ට විරුද්ධ වූයේ ඔහු ඇමෙරිකානු පුරවැසියකු වන නිසා නොවේ. ඇත්ත වශයෙන්ම නම් මෙම පිරිස් ගෝඨාභය ජනාධිපති කළ යුතු බව කියා සිටින්නට පටන් ගත්තේ ඔහු ඇමෙරිකානු පුරවැසියකුව සිටියදීය. නලින් හෝ ගෙවිඳු හෝ අමරසේකර හෝ කවර විටකවත් ගෝඨාභය ජනාධිපතිවීමට නම් ඇමෙරිකානු පුරවැසිකම අත්හැරිය යුතු යැයි කීවේද නැත. මේ පිරිස් බැසිල්ට විරුද්ධ වන්නේ ඔහු දෙමළ සහ මුස්ලිම් පක්ෂ සමඟ පවත්වන සුහදතාවය නිසාය.

බැසිල් විරෝධයේ පදනම ප්‍රජාතන්ත්‍රවාදී පදනමකින් විස්සට විරුද්ධවීමක් නොව අන්ත ජාතිකවාදී පදනමකි. ඒ කිසිවකු විස්සේ හරය වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සර්වබලධාරියකු වීම ගැන කිසිදු විරුද්ධවයක් දක්වන්නේ නැත. වාර්තාවන අන්දමට අන්තිමේදී මහින්ද රාජපක්ෂ කොමිටි වාර්තාව බැසිල් රාජපක්ෂ නම් ඇමෙරිකානු පුරවැසියාට පාර්ලිමේන්තුවට ඒමට අවස්ථාව දිය යුතු බව ව්‍යංගයෙන් පිළිගෙන තිබේ. එම නිර්දේශයෙන් කියන්නේ ද්විත්ව පුරවැසියකුට ජනාධිපති ධුරය දැරීමට නොහැකි බව පමණි. ඒ අනුව අවශ්‍ය නම් බැසිල්ට අගමැති පදවියද දැරිය හැක.

මේ වනාහී නලින්-ගෙවිඳු-අමරසේකර හවුලට එල්ල කරන ලද කණේ පහරකි. දැන් තුවාල ලෙව කනවා මිස ඔවුන්ට වෙනත් විකල්පයක් නැත.

මිලින්ද මොරගොඩ ගෝඨාභය පාලනයේ මර්මස්ථානයක් අල්ලාගෙන සිටින අන්තර්ජාතික වැඩකරුවෙකි. සමහරු කියන්නේ ඔහු සීඅයිඒ සංවිධානයේ ඒජන්තයකු බවය. සමහරු ඔහු ඉන්දියානු රෝ ඔත්තු සේවයේ ඒජන්තයකු බව කියති. තවත් සමහරු කියන්නේ ඔහුගේ පාත් පායින්ඩර් රාජ්‍ය නොවන සංවිධානය චීනයෙන් නඩත්තු වන බවය. ඔහු ශ්‍රී ලංකා දේශපාලනය තුළ 'කාගේ කව්ද' යන්න නොදන්නා අදිසි සාධකයකි. දැන් ඔහු ඉන්දියාවේ තානාපති ලෙස පත් කරන්නට තීන්දුු කර තිබේ. රාජපක්ෂවාදී ජනමාධ්‍යවලට අනුව ජනාධිපති ගෝඨාභය විසින් ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස නම් කරන ලද පුද්ගලයින්‍ ගණනාවකටම ඉන්දීය ආන්ඩුව විරුද්ධ වී තිබේ. ඉන්දියාව මොරගොඩට කැමැතිය. බැසිල්ට විරුද්ධ වන පරිදිම එකී අන්ත ජාතිවාදී කල්ලි මොරගොඩට විරුද්ධ වන්නේ ඔහු ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු වී බලවන්තයකු වී සිටින නිසාය.

නලින් ද සිල්වා, ගෙවිඳු කුමාරතුංග සහ ගුණදාස අමරසේකර එකට එක්වී පෙරමුණක් ලෙස මහා මැතිවරණයට ඉදිරිපත් වී නම් ඔවුන්ටත් උරුම වන්නට තිබුනේ ඥණසාර-රතන දේශපාලනයට සිදු වූ සන්තෑසියමය. විමල්-ගම්මන්පිළ දෙබෑයන් එක්ව වෙනම තරඟ කලද ඊට වඩා වෙනස් ඉරණමක් මුණ ගැසෙන්නට ඉඩක් නොතිබුණි. රාජපක්ෂවාදී දෙමළ සහ මුසලිම් පක්ෂවලට ඊට වඩා පුළුල් තමන්ගේම දේශපාලන ජන පදනම් තිබේ.

එනයින් බලන විට පොහොට්ටුවේ ජාතික සංවිධායක වන බැසිල් රාජපක්ෂ විරෝධී ව්‍යාපාරය නැට්ට විසින් බල්ලා නැටවීමට සමානය. අනෙත් අතට අප දැක ඇති පරිදි බල්ලාටද නැට්ට හපා කෑම ඉතා අමාරු කාරියකි. සිදුවනු ඇත්තේ වටේ යෑම පමණය.

විස්සේ විවේචකයකු වන මහින්ද රාජපක්ෂවාදී පා.ම. දොලවත්ත තර්ක කරන්නේ තොරතුරු දැන ගැනීමේ පනත සහ විගණන කොමිසම නිසා පසුගිය කාලයේ රජයේ සේවකයින්ට හරියට වැඩක් කරන්නට බැරි වූ බවයි. කොකාගේ සුද පෙනෙන්නේ ඉගිළෙන විටය.

විස්සේ භයානකම අඩංගුව නම් ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීම, මැතිවරණ සහ පොලිස් කොමිසමේ බලය කප්පාදු කිරීම, විගණන කොමිසම අහෝසි කිරීම, ඉහළ අධිකරණ පත්වීම් ගෝඨාභය අතට ගැනීම යනාදියයි. එම කිසිවකට මෙම අන්ත ජාතිකවාදී පිරිස් විරුද්ධ නැත. අභියාචනාධිකරණ විනිසුරුවරුන්-විනිසුරුවරියන්ගේ ප්‍රධානතම අභිලාශයක් නම් ශ්‍රේෂ්ඨාධිකරණයට උසස් වීමක් ලබා ගැනීමය. එහි කිසිදු වරදක් නැත. අභියාචනාධිකරණයට මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයටද පත්වීම් කිරිමේ තනි අයිතිය විස්ස මගින් ගෝඨාභය රාජපක්ෂට ලැබෙයි.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂ ලේකම් ලෙස ආරක්ෂක අංශ පාලනය කළ සමයෙහි එකී ආරක්ෂක අංශ විසින් කරන ලදැයි කියන බරපතල අපරාධ තුනක් පිළිබඳ නඩු විභාග මේ දිනවල විශේෂ මහාධිකරණවල පැවැත්වෙයි. ඒවා නම් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම, කොළඹ තදාසන්න පෙදෙසේවලින් තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කදවුරෙහි තබාගෙන සිට ඝාතනය කිරීම සහ වැලිකඩ බන්ධනාගාරයට කඩා වැදී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමයි.

මෙම අපරාධයන්ට සම්බන්ධ යැයි චෝදනා ලබා ඇති පිරිස් එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ යටතේ සිටි අය වෙති. එවැනි නඩුවකදී චූදිතයින් වැරදිකරුවන් බවට විශේෂ මහාධිකරණය විසින් තීරණය කළහොත්, එම තීන්දුව දෙන විනිසුරන්/විනිසුරුවරියන්ට උසස්වීම් ලබාදීමේදී එය බලනොපානු ඇත්ද ? අප මතක තබා ගත් යුත්තේ එම උසස්වීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අභිමතය පරිදි සිදුවනු ඇති බවයි. මෙම පත්වීම් හෝ උසස්වීම් සඳහා දැනට ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු කිසිදු නිර්ණායක කට්ටලයක් නොමැත.

අධිකරණ ස්වාධීනත්වය අවශ්‍ය වන්නේ අන්න එවැනි අවස්ථාවලදී විනිසුරුවරන්ට සහ විනිසුරුවරියන්ට සිය අනාගතය පිළිබඳ බියකින් තොරව තීරණ ගැනීමට ඉඩ සැළසීම පිණිසය. ඉහතකී නඩු විභාගවල චූදිතයින් නිදහස් කිරීමට විශේෂ මහාධිකරණ තීරණය කළහොත් එම තිරණයට හේතුව දේශපාලනික යැයි මහජන අවිශ්වාසයක් ඇතිවීමටද විස්ස බලපෑමට ඉඩ තිබේ.

එමෙන්ම මෙම ආණ්ඩුවේ ඇමැතිවරුන් ගණාවකටම විරුද්ධව පැවරී ඇති නඩු සහ දැන් දැන් හිටපු ඇමැතිවරුන්ට විරුද්ධව පැවරෙන විභාග සාධාරණව කැරෙනු ඇති බව තහවුරු කිරීමටද අධිකරණ ස්වාධීනත්වය අත්‍යවශ්‍යය.

විස්සට විරුද්ධ රාජපක්ෂවාදී ඇස් බැන්දුමෙන් සිදුවූයේ මතු පිටට ගෙන ආ යුතුව තිබූ එවැනි අතිශය තීරණාත්මක කරුණු මදක් හෝ යට යාමය. අප එවැනි ඇස් බැන්දුම්වලට හසු නොවිය යුත්තේ එනිසාය.

විස්ස ආපසු හැරෙන්නේ මහින්ද රාජපක්ෂගේ දහඅට කරාය. නාමල් රාජපක්ෂ කියා ඇති පරිදි විස්ස යනු දහඅටට වෙනත් නමකි. ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂගේ කට වැසුවේද විස්ස කියන්නේ මහින්ද විසින් ගෙන ආ 18 වන සංශෝධනයම බව කියමිනි.

විස්සට විරුද්ධවීමට මහින්ද රාජපක්ෂට කිසිදු සදාචාරාත්මක පදනමක් නැත. ඇත්තේ පුද්ගලික බලය පිළිබඳ පදනමක් පමණි. ඊටත් වඩා රාජ්‍ය බලයේ පොල්මක්කාර උරුමකරුවා ලෙස නාමල් රාජපක්ෂ අභිෂේක කිරිමට විස්ස හරහට සිටීද යන්න වැනි කරුණුය.

ඊට සහමුලින්ම වෙනස්ව අපේ ඉලක්කය විය යුත්තේ විධායක ජනාධිපති ඒකාධිපතියකු කරන විස්සේ අංගෝපාංගය. විස්සට විරුද්ධවීම මගින් ප්‍රජාතන්ත්‍රවාදී මතවාදයක් යම් දුරකට හෝ මුල්බැස්සවිය හැකි මූලෝපායික දේශපාලනයක් කෙරෙහිය. පරාජිකා වූ දේශපාලනඥයින්ට ගොට්ට ඇල්ලීමෙන් එය සිදුවන්නේ නැත.

මෙන්න මේ ප්‍රශ්නය කල්පනා කරන්න: පසුගිය 02 වැනිදා සහ 03 වැනිදා සන්ධ්‍යා එකැනැළිගොඩ නම් දිරිය ගැහැණිය ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම පිළිබඳ විශේෂ මහාධිකරණ නඩුවෙහි සාක්ෂි දුන්නාය. ඔබ කවරකු හෝ ඇයගේ සාක්ෂිය කවර හෝ මාධ්‍යක දුටුවේද ? නැත්නම් ඒ ඇයි ? අපරාධ කතා තලුමරමින් වාර්තා කරන ජඩ මාධ්‍ය පමණක් නොව ආණ්ඩුවෙන් ස්වාධීන වෙබ් මාධ්‍ය පවා ඇයගේ සාක්ෂිය වාර්තා නොකරන ලද්දේ මන්ද ? එම තත්වය වෙනස් කිරීමට අපට කළ හැකි දෙයක් නොතිබුනේද ?

දසතින්ම ඝනාන්ධකාරය ගලා එන බව සැබෑය. ඉදින් ඊට එරෙහිව එක් පහනක් හෝ නොදැල්විය යුතුද ?

දැන් ප්‍රගීත්ගේ නඩුව ගැන නැවත සිතා බලන්න. කළ හැකි පොඩි දෙයක් හෝ කිරීම මේ කාලයේ ලොකු වැඩකි.