හුදී ජනයාට මොන ‘උපලබ්ධි‘ ලාභද? - බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 15 කොටස

හුදී ජනයාට මොන ‘උපලබ්ධි‘ ලාභද? - බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 15 කොටස

15 September 2020 11:45 pm

‘‘ඔබට බොරුවක් කියන්න අවශ්‍ය නම් එකම බොරුව නැවත නැවතත් කියන්න. වඩ වඩාත් විශ්වාසනීය ලෙස කියන්න‘ යැයි කියමනක් තිබේ. මේ කියමනෙන් සියයට සියයක්ම පල ලැබූ පුද්ගලයා බැඳුම්කර වංචාව වසං කළ රනිල් ය. 

මේ නිසා ඔහුම සිදුකරන්නට නියම කළ වෝහාරික විගණනය ද එකම බොරුව නැවත නැවතත් කියමින් සිටියි. 

රටේ බදුගෙවන ජනතාවගේ මුදල්වලින් රු. මිලියන 1500 ක් වියදම් කරමින් ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට මහබැංකුවක් තමන් ගැනම වෝහාරික විගණනයක් කරගත් හැටි පෙර ලිපියෙන් කීවෙමු. එහිදී ඔවුන් හෙළිකරගත්තේ මොනවාද?

BDO සහ KPMG විගණන සමාගම් සමග එක්ව මහබැංකුව තමන් ගැනම කරගත් වෝහාරික විගණනයේදී වාර්තා 5 ක් එළිදැක්විණි. 

ඒවායින් පළමු වාර්තාවේ පළමු පිටුවේම අරුම පුදුම වූ ‘වගකීමෙන් බැහැර වීමේ වගන්තියක්‘ (disclaimer) ලියා ඇත. 

එහි සඳහන් වන්නේ එම වාර්තාව හුදෙක් මහබැංකුවේ ප්‍රයෝජනය සඳහා පමණක් සකස් කළ එකක් බව ය. ඒවා සම්බන්ධයෙන් කිසිදු ආකාරයක වගකීමක් තමන් භාර නොගන්නා බව ය. කිසිවෙකුට තමන් වග නොකියන බව ය. සියලු වගකීම්වලින් තමන් නිදහස් බව ය. 

රුපියල් මිලියන 1500 ක් වියදම් කළේ මේ ටිකටද..?

පසුගිය ලිපියෙන් අප පෙන්වා දුන් පරිදි මේ වෝහාරික විගණනය කළ යුතු වූයේ විගණකාධිපතිවරයා විසිනි. 

විගණකාධිපතිවරයා යම් වාර්තාවක් නිකුත් කරන විට එය සහතික කරනවා පමණක් නොව, එය පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර එහි සම්පූර්ණ වගකීම භාර ගනියි. එම විගණන වාර්තා කෝප් හෝ කෝපා කමිටුවල සාකච්ඡා වන විට ඔහු හෝ ඔහුගේ නියෝජිතයෙක් අනිවාර්යයෙන් එයට සහභාගි වෙයි. 

‘වගකීම‘ කියන්නේ එවැනි දේකට ය. 

නමුත් වෝහාරික විගණන වාර්තාවෙන් බැඳුම්කර හොරුන්ව හිරේ යැවිය යුතු යැයි කෑ ගසන දේශපාලක මහත්තුරුන් ඒ සරල කාරණයවත් දන්නේ නැත. වෝහාරික විගණන වාර්තාවට අධිකරණය ඉදිරියේ අගයක් නැත. එවැනි වාර්තාවක් මහජන මුදල් කාබාසීනියා කරමින් වර්ෂ ගණනාවක් ගෙන පිළියෙළ කළේ රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලනයයි.  

BDO වාර්තාව ‘කල්පිත ලාභ‘ සහ ‘කල්පිත පාඩු‘ වැරදි ලෙස ගණනය කරයි

2005 සිට 2015 පෙබරවාරි දක්වා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කරන ලද බැඳුම්කර “සෘජු නිකුතු” වලින් රජයට රුපියල් බිලියන 10.47 ක පාඩුවක් සිදුවු බව පෙන්වන්නට BDO වාර්තාව මූලික වශයෙන් උත්සාහ කරයි.

නමුත් එයින් සත්‍ය වශයෙන්ම හෙළි වන්නේ කුමක්ද?

එම කාලය තුළ සෘජු නිකුතුවලින් බිලියන 10.47 ක ‘ කල්පිත පාඩුවක්‘ සිදුවන විට, බිලියන 28.0 ක ‘කල්පිත ලාභයක්‘ ද සිදුව ඇති බව ය. නමුත් ඒ ලාභය ගැන BDO වචනයක්වත් නොකියයි. කොන්ත්‍රාත්තුවක් ඉටු කරන විට එය භාරදුන් තැනැත්තාට අවශ්‍ය දේ පමණක් වාර්තාවේ ලිවීම පුදුමයට කාරණයක් නොවේ. 

BDO මහත්තුරුන්ට සිය වාර්තාවට ඇතුළත් කිරීමට අමතක වූ (හිතාමතා අමතක කළ) වගුව පහත පරිදි ය. 

 

මේ, මහාබැඳුම්කර වංචාව වසං කිරීමේ ප්‍රයත්නයට වෝහාරික විගණනය තවත් ‘ටූල් එකක්‘ වූ බවට එක් උදාහරණයක් පමණි. 

කබ්රාල්ගේ හත්මුතු පරම්පරාව සොයයි

වෝහාරික විගණන වාර්තාවේ 11.1.4 සහ 11.1.8  සම්පූර්ණයෙන්ම වෙන් ව තිබෙන්නේ කබ්රාල්ගේ හත්මුතු පරම්පරාව සෙවීම සඳහා ය. ඒ අනුව එවකට මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ඔහුගේ ඥාතීන්, යම් යම් ආයතනවල අධ්‍යක්ෂ ධුරයන් දැරුවාය යන මනෝමය උපකල්පනයට මෙම වාර්තාව සකස් කළවුන් එළඹ තිබේ. ඉන්පසුව ඔවුන් සහ කබ්රාල්, යම් යම් දූෂිත ක්‍රියාවලට සම්බන්ධිත යැයි සෙවීමට උත්සාහ ගෙන තිබේ. 

මේ අතරින් හිටපු මහබැංකු අධිපතිවරයාගේ සහෝදරියක වන ශිරෝමි වික්‍රමසිංහ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබිණි. එයට හේතුවක් ද විය. ඇගේ නම ඔවුන් ඈඳා තිබුණේ PTL සමග ය. 

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් (PTL) සහ පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස්....

මේ නම් දෙක එක වගේ ය. නමුත් මේ දෙක දෙකකි. එකක් නොවේ. 

ඔබ ‘නැත‘ යැයි කියනු ඇත. නමුත් වෝහාරික විගණනය කළ අයට මේ ආයතන දෙක පෙනුණේ එකක් ලෙස ය...! එකක් අනෙකේ අනුබද්ධ සමාගමක් වීම යනු, එක් සමාගමක අවකල් හැසිරීමක් වෙනුවෙන් අනෙක් සමාගම් වගකිව යුතු යැයි තිබෙන්නේ මොන පොතේද? 

කෙසේ නමුත් අවසානයේ ඔවුන්ට සොයාගන්නට සිදුවන්නේ මොනවාද?

හිටපු මහබැංකු අධිපතිවරයාගේ සහෝදරියක වන ශිරෝමි වික්‍රමසිංහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ සමාගමක් පමණක් වන පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ස් හි අධ්‍යක්ෂවරියක වූවා මිස  බැඳුම්කර වංචාව සමග සෘජුව සම්බන්ධ වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරියක නොවූ බව ය. තවද  ඇය පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ස් සමාගමේ 2013 දෙසැම්බර් සහ 2015 මාර්තු දක්වා කාලය තුළ අධ්‍යක්ෂවරියක ව සිටින විටද  කිසිදු වේතනයක් හෝ ප්‍රතිලාභයක් ලබා නැත. තවද කිසිදු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකට ද ඇය සහභාගි වී නොතිබිණි. 

PTLසමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු බවට පත් වීම සඳහා මහබැංකුවට අයදුම්පත ඉදිරිපත් කරන්නේ 2012 නොවැම්බර් මස ය. ඔවුන්ට ඒ සඳහා බලපත්‍රය ලැබෙන්නේ 2013 ඔක්තෝබර් ය. ඒ වන විට ඇය අනුබද්ධ සමාගමේවත් අධ්‍යක්ෂවරියක් නොවේ. 

තවද, බැඳුම්කර වංචාව සමග පර්පෙචුවල් නාමය ඈඳී ඇති බව දැනගත් විට ඇය, එයට සතියකට පමණ පසු, එනම් 2015 මාර්තු 8 වැනි දින කැපිටල් හෝල්ඩින්ස් සමාගමෙන් ද ඉල්ලා අස් වී ඇති බව ද, කබ්රාල්ගේ හත්මුතු පරම්පරාව සෙවූ නිසා වාර්තාවට ඇතුළත් කරන්නට සිදුවිය. 

අන්තිමට නටපු නැටුමකුත් නැත - බෙරේ පලුවකුත් නැත 

මේ නිසා කබ්රාල් ව දඩයම් කිරීමේ තවත් උත්සාහයක් වශයෙන් වෝහාරික විගණනය සිදුකළත්, එහි කිසිදු වාර්තාවකින් කබ්රාල්ගේ ඥාතීන්ගේ අපසහායකත්වයක් සොයාගැනීමට වාර්තාව සමත් වන්නේ නැත. 

එනිසා, BDO පළමු වාර්තාවේ 167 පිටුවේ මෙසේ සඳහන් වේ. 

 “අප විසින් සොයා ගන්නා ලද ඩිජිටල්, ලිඛිත සහ වාචික සාක්ෂි අනුව, ඉහත කී කිසිවෙක් (එනම් කබ්රාල් මහතාගේ ඥාතීන්) බැඳුම්කර සෘජු නිකුතු මිල අඩු කිරීමේ කටයුත්තකට කිසිම ආකාරයකට සම්බන්ධ වී ඇතැයි, අපට යෝජනා කළ නොහැකිය”.

PTL සමාගමට බලපත්‍රය දුන්නේ කබ්රාල් ද?

බොහෝ අය එසේ ද කියති. එසේ කියන්නේ ඇයිදැයි ඇසූ විට ‘ඇයි ඔය හැමෝම කියන්නෙ..!‘ යැයි කියති. 

නමුත් ඇත්තටම සිදුවී තිබෙන්නේ කුමක්දැයි කිසිම කෙනෙක් සොයා බැලුවාද? දින වකවානු සහිතව සොයා බැලුවාද..?

PTL හෙවත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්, ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු බවට පත්වීමට සිය අයදුම්පත ඉදිරිපත් කරන්නේ 2012 නොවැම්බර් 6 වැනිදා ය. එය කබ්රාල් යටතේ මහබැංකුව තිබූ සමයයි. 

නමුත් PTL, ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා තිබුණේ නැත.

එහි ප්‍රතිඵලය වන්නේ එම අයදුම්පත ප්‍රතික්ෂේප වීමයි. 

සියලු සුදුසුකම් සපුරාලීමෙන් පසුව එම සමාගම සංශෝධිත අයදුම්පතක් ඉදිරිපත් කරන්නේ එයින් මාස කිහිපයකට පසුවය. 

ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු බවට පත්වීමේ බලපත්‍රයක් මහබැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඔවුන්ට පිරිනමන්නේ එයින් පසුව ය. 

තවද, 2013 ඔක්තෝබර් 9 දින එම බලපත්‍ර‍ය ලබා දී ඇත්තේ මහ බැංකු අධිපති විසින් නම් නොවේ. මහබැංකුවේ මුදල් මණ්ඩලය විසිනි. ඒ වන විට ඔවුන් මුල් අයදුම්පත ඉදිරිපත් කර වසරකට ආසන්න කාලයක් ගත වී තිබේ. 

මේ අතර, වෝහාරික විගණන වාර්තාව මගින් ද පිළිගෙන ඇත්තේ 2006 සිට 2014 දක්වා මුදල් මණ්ඩලයේ තීරණ ගනු ලැබුවේ අධිපති කබ්රාල්ගේ තනි තීරණ නොවූ බව ය. ඒ වෙනුවට ඒවා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර ඇතුලු මුදල් මණ්ඩලයේ (Monetary Board) සියලු සාමාජිකයින්ගේ සාමූහික එකඟතාවය (unanimous) සහ අනුමැතිය (approval) මත බව ය. 

එනිසා PTL සමාගමට බලපත්‍රය ලබාදීමත් කබ්රාල්ගේ ගිණුමට බැර නොකරන්න...

නමුත් සාමාන්‍ය කාර්යසාධනයක් පමණක් පෙන්වමින් සිටි මේ කියන PTL සමාගම, බැඳුම්කර මිලදී ගැනීමේදී පිටිය වටේටම හයේ පහරවල් ගසමින් දින දෙකක් ඇතුළත රු. බිලියන ගණන් ලාභ උපයන්නට පටන් ගත්තේ 2015 පෙබරවාරි 27 දා පටන් බවත්, ඒ වන විට මහබැංකු අධිපතිවරයා ව සිටියේ PTL හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ මාමා වන අර්ජුන මහේන්ද්‍රන් බවත් අමතක නොකරන්න... 

KPMG, සේවක අර්ථ සාධක අරමුදලේ ලාභය හංගයි!

KPMG වාර්තාවේත් ‘වගකීමෙන් බැහැර වීමේ වගන්තිය‘ ක් ඇත. ඇත්තෙන්ම වගන්තියක් නොව ඡේදයක්ම ඇත. එහි තිබෙන්නේ සමාගම හෝ එහි හවුල්කරුවන්, අධ්‍යක්ෂවරු සහ සේවකයින් තමන්ගේ විගණන වාර්තාවේ කිසිම වැරැද්දක් පිළිබදව කිසි කෙනෙකුට කිසි විටෙක වග නොකියන බව ය. ඔවුන්ගේ සොයා ගැනීම් (findings) පදනම් කොට ඇත්තේ මුදල් මණ්ඩලය සමග එකඟ වී ඇති විගණනයන් මත පමණක් බව ය. 

(ඉන් ඔබ්බට කටයුතු කළේ නම්, තමන්ගේ සොයා ගැනීම් වෙනස් විය හැකි යයිද ඔවුන්ම පවසා ඇත!) 

තවද කිසිම කෙනෙක්, ආයතනයක්, අධිකාරියක් හෝ උසාවියක් KPMG හි අදහස් පිළිගැනීමට බැඳී නොසිටින බවද පිළිගෙන ඇත. මහ බැංකුව සමග ඇති තමන්ගේ කොන්ත්‍රාත්තුව හරහාද, පොදු නීතිය හරහාද, ලිඛිත නීති හරහාද, වෙනත් ඕනෑම ආකාරයකටද, KPMG හි අවසාන වාර්තාව හෝ එහි කිසියම් කොටසක් වෙනුවෙන් KPMG කිසිම කෙනෙකුට වග නොකියනු ඇතැයිද, පෙනී නොසිටින බවද, ඔවුන් තරයේම කියා ඇත!

තවද, KPMG වාර්තාව පාවිචිචි කරන හෝ එහි කරුණු මත මතයක් පදනම් කර ගන්නා අය වෙනුවෙන් KPMG ආයතනය කිසිම ආකාරයකට වග නොකියන අතර, ඒ අයට සිදුවිය හැකි පාඩුවකට, අවාසියකට හෝ වියදමකට, කිසිසේත් වග නොකියන බවද කියා ඇත. 

ඒ වුණාට මේ වාර්තාව සකස් කිරීම සඳහා ඔවුන් මහබැංකුව සමග ගිවිසුම් ගත වන්නේ රු. මිලියන 100කට ය. 

ඉතින්, රුපියල් මිලියන 100ක් වියදම් කර හැදූ වාර්තාව, සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරීම් ගැන කියන්නේ මොනවාද? ඔවුන් ට වැරදුණේ කොතැනද? 

• සේවක අර්ථසාධක අරමුදලෙහි සඳහන් විවිධ කොටස් මිල අඩුවීමෙන් සිදුවූ “උපලබ්ධි” අලාභය (“unrealized” loss) රුපියල් මිලියන 9,198 ක් යයි KPMG කියයි - නමුත් 2014.12.31 දින වන විට, එම අලාභය රුපියල් මිලියන 3,271 පමණකි. ඉන්පසුව 2015 - 2019 කාලය තුළදී කොටස් වෙළඳපොළෙහි සිදුවූ මිල අඩුවීම නිසා “උපලබ්ධි” අලාභය තවත් රුපියල් මිලියන 5,927 කින් වැඩි වී තිබේ.  
• 2011 සිට 2014 දක්වා, සේවක අර්ථසාඨක අරමුදල උපයා ගැනීමට සමත් වූ ලාභාංශ රුපියල් මිලියන 14,580 කි. 
• 2014.12.31 දින වන විට, සේ.අ.අ ආයෝජන කළඹයේ මිල වැඩිවූ කොටස් වලින් ලැබූ “උපලබ්ධි” ලාභය (“unrealized” profit) රුපියල් මිලියන 17,577 කි. 
• (හිටපු අධිපති කබ්රාල් මහතා විසින් ගන්නා ලද තීරණයක් යයි කියන) බැංකු ක්ෂේත්‍ර‍යේ සමාගම් වල ආයෝජනය කර ඇති කොටස් වලින් සේවක අර්ථසාධක අරමුදල 2014 දෙසැම්බර් 31 දා වන විට, ලබා තිබූ “උපලබ්ධි” ලාභය රුපියල් මිලියන 13,260 කි.
 

රනිල්ගේ කොන්ත්‍රාත්තුව ඉටු කරමින් මෙහිදී KPMG ද BDO මෙන්ම ප්‍රෝඩාවක නිරත වෙයි. එනම්, මෙහිදී ඇතැම් කොටස්වලින් සිදුවූ මිල අඩුවීම ‘වංචාවක් හෝ හොරකමක්‘ ලෙස දැක්වීමට ඔවුන් ‘මාර ගේමක්‘ දී තිබේ. රනිල්ගේ සහචර දේශපාලකයන් ද මෙයම කරන්නට දත කන ආකාරය ඒ දිනවල දක්නට ලැබිණි. 

ධන තුනයි සෘණ එකයි සමාන වන්නේ ධන දෙකට බව අප ඉගෙන  ගත්තේ හතේ පන්තියේ ගණිතයට ය. 

එසේ නම්, කොටස්මිල අඩුවීම අවාසියක්/පාඩුවක් නම් කොටස් මිල වැඩිවීම, ඒ සාස්තරයටම අනුව ‘ලාභයක්/වාසියක්‘ විය යුතුයි නේද?

එවිට මේ කාලයේ ලබා තිබෙන දැවැන්ත වාසිය හෝ “උපලබ්ධි” ලාභය වෙනුවෙන් ගෞරවය එවකට අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙත හිමිවිය යුතු නොවේද?

KPMG වාර්තාව උපලබ්ධි අලාභයක් ගැන මිස උපලබ්ධි ලාභයක් ගැන කතා නොකිරීමේ රහස එයයි!

කොහොම වුණත් හුදී ජනයා KPMG දන්නේ නැත. BDO දන්නේත් නැත. “උපලබ්ධි” ලාභය දන්නේ නැත,  “උපලබ්ධි” අලාභය දන්නේත් නැත. උන්ට ඒවායින් ඇති වැඩකුත් නැත...! 

- මීළඟට ‘ග්‍රීක බැඳුම්කරේ‘- හැමෝම දන්නා ජේමිස් බොන්ඩ් ලියයි

සංස්කාරක සටහන - මෙහි පාර්ශවයන්ට මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ලබාදීමට අප සූදානම්.

පෙර ලිපි

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි. - 1 කොටස
 
බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 2 කොටස

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 3 කොටස

මහබැංකුවේම බිලියන 42කින් මහබැංකුවේම බැඳුම්කර මිලට ගත් හැටි - බැඳුම්කරේ ජරමරේ - 4 වන දිගහැරුම

‘මමයි බෑණයි දුරයි!‘ - මහේන්ද්‍රන් කියයි - බැඳුම්කරේ ජරමරේ 5 වන දිගහැරුම

කැකිල්ලේ ක්‍රමයේ නීතීඥ කමිටුව සමග බැඳුම්කරේ ජරමරේ - 6 වන දිගහැරුම

රනිල් වික්‍රමසිංහ අකල් මරණයෙන් බේරුණු හැටි - බැඳුම්කර ජරමරයේ 7 වන දිගහැරුම

හඳුන්නෙත්ති මොකද කළේ? බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 8 කොටස

සුජීව සේනසිංහ කතා වස්තුව සමග බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 9 කොටස

හදවතින්ම සිරි ලාංකික - ‘යන්නෙ කොහෙද මල්ලෙ පොල්‘ වර්ගයේ ජනාධිපති කොමිසම‘: බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 10 කොටස

හදවතින්ම ‘සිරි‘ ලාංකික බැඳුම්කර කොමිසම ‘කබ්රාල් දඩයම‘ පටන් ගත් හැටි : බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 11 කොටස

අලියා බීම සමාගමේ වසර 10 ක් අධ්‍යක්ෂ ධුරය හෙබවූ ප්‍රසන්න ජයවර්ධන, කබ්රාල්ගේ මුදල් මණ්ඩලයේ හතරහමාර සොයයි!: බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 12 කොටස

සේවක අර්ථ සාධක අරමුදල (EPF) : මහේන්ද්‍රන්ගේ භක්ෂණය සහ කබ්රාල්ගේ රක්ෂණය - බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 13 කොටස

මහබැංකුවේ බැඳුම්කර වංචාව ගැන මහබැංකුවම වෝහාරික විගණනයක් කරගත් හැටි - බැඳුම්කරේ ජරමරේ - 14