මහබැංකුවේ බැඳුම්කර වංචාව ගැන මහබැංකුවම වෝහාරික විගණනයක් කරගත් හැටි - බැඳුම්කරේ ජරමරේ - 14

මහබැංකුවේ බැඳුම්කර වංචාව ගැන මහබැංකුවම වෝහාරික විගණනයක් කරගත් හැටි - බැඳුම්කරේ ජරමරේ - 14

11 September 2020 01:53 am

මේ කොහොමටත් රනිල් වික්‍රමසිංහගේ උප්පරවැට්ටිවල හැටි ය. උදාහරණයක් වශයෙන් රනිල් සහ සජිත් අතර නායකත්ව අර්බුදය පුපුරා යන විට රනිල් ඒ ගැන කමිටුවක් පත් කළේය. ‘හදවත‘ ලාංඡනයක් ගැන කීවේය. දවස් ගාණක් මාධ්‍ය ඒ පස්සේ ගියේය. නමුත් අවසාන තීරණය වුණේ අලියා ලකුණෙන්ම එක්සත් ජාතික පක්ෂය ඡන්දයට ඉදිරිපත් වන්නට ය. අලියා ලකුණ රනිල්ගේ ය. ඒ අනුව අන්තිමට කාලය ගත වීම හැර වෙන කිසිවක්ම සිද්ධ වුණේ නැත.

මහබැංකුවේ බැඳුම්කර වංචාව ගැනත් රනිල් කළේ මෙයම ය. ජනතා විරෝධය පුපුරා යන විට ඔහු ජනතා අවධානය වසං කිරීමේ මහා මෙහෙයුම වෙතින් අන් අතකට හරවන්නට පත් කළ බැඳුම්කර කොමිසම තමන්ට උවමනා පරිදි මෙහෙයවමින් සිටියේය. 

ඒ අනුව ලෝක ඉතිහාසයේ පළමු වතාවට බැඳුම්කර වංචාවක් ගැන ඒ මහබැංකුවම විගණනයක් කර ගත්තේය. බැඳුම්කර වංචාව පැහැදිලිවම සිදුවූයේ එවකට මහබැංකුවේ සිටි මහේන්ද්‍රන්ගේ මුදල් මණ්ඩලයේ පූර්ණ අනුදැනුම සහ වංක සහයෝගය මත ය. ඒ අනුව මෙය, ඔවුන් විසින් ඔවුන් ගැනම කරගත් විගණනයකි..! හොරාගේ අම්මාගෙන් පේන ඇසීම, යහපාලනයේ ලක්ෂණයක් බවට පත් ව ඇති බවක් පෙනෙන්නට තිබුණේය. 

මෙම වෝහාරික විගණනය මගින් කළේ සැබවින්ම බැඳුම්කර වංචාව වසං කිරීමට තවත් කාලය ලබාගැනීමයි. 

එසේම එයට මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල්වලින් රුපියල් මිලියන 1500 ක් වියදම් කරන ලදී...

ඒ අනුව බැඳුම්කර වංචාවේ මහ මොළයට, ලංකා ඉතිහාසයේ සිදුවූ දැවැන්තම වංචාව වසං කිරීම සඳහා තවත් වසර 2 ක කාලයක් ලබාදීම සිදු විය...

වෝහාරික විගණන වාර්තාවේ පළමු පිටුවේම සඳහන් වන්නේ එයට සහභාගි වූ හිටපු මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ගැන ය. ඔවුන් එක්කෝ බැඳුම්කර වංචාවට සෘජුවම සම්බන්ධ වූ අය, එසේත් නැතිනම් එය වසං කිරීමට සෘජුවම හෝ වක්‍රව සම්බන්ධිත අය ය. 

වෝහාරික විගණනයක් සිදු කරන්නට නිර්දේශ කරන්නේ බැඳුම්කර කොමිසමේ එක් නිර්දේශයක් අනුව ය. ‘‘... මෙකී අක්‍රමිකතාවල ප්‍රතිඵලයක් වශයෙන් යම් පාඩුවක් රජයට සිදුව තිබේ නම් එය ද ගණනය කළ යුතුය. වෝහාරික විගණනයක් මේ සඳහා යෝග්‍ය වනු ඇත‘‘ යැයි බැඳුම්කර කොමිසම කියයි.

ඒ අනුව, 2015 පෙබරවාරි 27 දායින් පසුව සිදුවූ බැඳුම්කර වංචාවන් ගැන සෙවීමට පත් කළ කොමිසම අවසානයේ නිර්දේශ කර තිබුණේ 2015 පෙර සිදුවූ බැඳුම්කර නිකුතු ගැන වෝහාරික විගණනක් කරන්නට ය! ‘‘2006 සිට 2014 දක්වා සිදුකළ බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන්‘‘ වෝහාරික විගණනයක් සිදු කෙරුණේ ඒ අනුව ය.. 

මෙහිදී හැමටම අමතක වූ තවත් දෙයක් ද තිබුණේය. ඒ, 200-2014 අතර කාලයේදී වෝහාරික විගණනයට ලක් කරන්නට යැයි කියන බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ගේ සහභාගිත්වයෙන් පවා පූර්ණ විගණනයන් සිදුකර තිබූ බව ය. 

ඒ අනුව බදු ගෙවන ජනතාවගේ රු. මිලියන 1500 ක මුදලකින් රනිල් කළේ ඇත්තෙන්ම විහිළුවකි. නමුත් ඒ ත්‍රාසජනක වීරක්‍රියාව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ වගවීමට හසු කරලීමට ජනතාවට අයිතියක් ඇති බව නම් විහිළුවක් නොවේ.

කෙසේ වුවත්, මොන යම් ආකාරයකින් හෝ මේ නිර්දේශ කර තිබෙන්නේ ශ්‍රී ලංකා මහබැංකුව පිළිබඳ වෝහාරික විගණනයකි. එසේ නම් සුදුසු ස්වාධීන පාර්ශවයන් ලවා එය කරවීමේ වගකීම, අදාළ බලධාරීන් සතුව තිබිණි. නමුත් ඒ වෙනුවට ඔවුන් කළේ කුමක්ද? හොරාගෙ අම්මාගෙන් පේන අසමින් ‘‘කිසිවෙක් තමන්ගේම නඩුවේ විනිශ්චයකරුවා නොවිය යුතුය‘‘ යන සාමාන්‍ය යුක්ති මූලධර්මය පවා කුණු කූඩයට විසි කර දැමීමයි. 

වෝහාරික විගණනයක් යනු වංචාවක්, දූෂණයක් සහ/හෝ වෙනත් ආර්ථික අපරාධයක් පිළිබඳ, විශේෂයෙන්ම ජ්‍යේෂ්ඨ කළමනාකාරිත්වයේ අවකංභාවය ප්‍රශ්න කිරීමට ලක් වන විට සිදුකරනු ලබන්නකි. එවැනි වෝහාරික විගණනයක් මහබැංකුව ගැන කළ යුතු විට එය කළ යුතු වන්නේ විගණකාධිපතිවරයා විසින් මිස අන් අයෙකු විසින් නොවේ. නමුත් ඒ වෙනුවට 2015-2016 බැඳුම්කර වංචාවන්ට සෘජු ලෙස හවුල් වූ මහබැංකුවේ දූෂිත නිලධාරීන් ඇතුළු මුදල් මණ්ඩලය යොදවාගෙන 2015 ට පෙර සිදුවූ බැඳුම්කර නිකුතූන් ගැන වෝහාරික විගණනයක් සිදු විය. 

නමුත් විය යුතුව තිබුණේ ශ්‍රී ලංකා මහබැංකුව, මෙම විගණනය සඳහා කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවීමයි. 

ශ්‍රී ලංකා මහබැංකුව කිසිදු ආකාරයකින් වෝහාරික විගණනයට සම්බන්ධ නොවිය යුතු වන්නේ ඇයි?

අවස්ථා ගණනාවකදීම මුදල් මණ්ඩලය සෘජුව සහ/හෝ වක්‍ර ලෙස වංචාව වසං කළේය. 

කෝප් වාර්තාවේ පාද සටහන් අභියෝගයට ලක් කිරීම කුමන හෝ හේතුවක් නිසා මහබැංකුව විසින් මගහැරියේය. 

මහබැංකු අධිපති මහේන්ද්‍රන්ගේ අන්ත දූෂිත ‘වෙන්දේසිය පමණයි‘ නිකුතු ක්‍රමය වැරදි සහ නීති විරෝධී බව දැන දැනම ඔවුහු එයට සහාය පළ කළහ. 

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නව මහබැංකු අධිපති බවට පත්වීමෙන් මාස 13කට පසු නැවතත් ‘සෘජු නිකුතු හෝ වෙන්දේසිය‘ ක්‍රමය ‘නව ක්‍රමයක්‘ සේ හඳුන්වා දෙමින් නැවතත් ස්ථාපිත කළේය. 

 භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග බැඳුම්කර වංචාව සිදුවූ පළමු දිනයේ පටන්ම ඔහු මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු ව සිටි නමුත් වංචනිකයන් නීතිය හමුවට පැමිණවීමට කිසිදු අවස්ථාවක උත්සාහ නොකළේය. 

එයින් පෙන්නුම් කරන්නේ ඔහුගේ උදාසීනත්වය හෝ ‘වසං කිරීමට උදව් කිරීමේ ආශාව‘ යි. 

2016 මාර්තු මාසයේ දෙවැනි බැඳුම්කර වංචාව සිදුකරන විට මුදල් මණ්ඩලයේ සිටි සාමාජිකයන් කිහිප දෙනෙක් වෝහාරික විගණනය සිදුකරන විට ද මුදල් මණ්ඩල සාමාජිකත්වය තවදුරටත් දරති. ඒ අනුව ඔවුන් සෘජුවම අපසහායකත්වය දක්වන්නෝ වෙති. 

මේ අනුව, වෝහාරික විගණනයට සම්බන්ධ වූ මහබැංකුවේ මුදල් මණ්ඩලයේ සියලු සාමාජිකයන්, යම්කිසි ආකාරයක සම්මුතියකට ලක් ව සිටි බව පැහැදිලි ය. 

ඒ අනුව ඔවුන් කිසිවෙකු වෝහාරික විගණනය හා සම්බන්ධ නොවිය යුතුය. 

අවසානයේ BOD සහ KPMG විගණන සමාගම් සමග එක්ව මහබැංකුව තමන් විසින්ම කර ගත් වෝහාරික විගණනයෙන් ‘අරුම පුදුම සොයාගැනීම්‘ සිදු කර තිබීම පුදුමයක් නොවේ.

ඇමුණුම් නැතිව සභාගත කරයි

වෝහාරික විගණන වාර්තාව 2020 ජනවාරි 21 දා සභාගත කරන බව කථානායකවරයා කීවේය. නමුත් පාර්ලිමේන්තුවට ලබා දී තිබුණේ එක් පිටපතක් පමණි. ඉන්පසු ශ්‍රී ලංකා මහබැංකුව, එම වාර්තාවේ ඊ-පිටපතක් පාර්ලිමේන්තුවට ලබා දුන්නේය.

2020 ජනවාරි 22 වැනිදා එය ඩීවීඩී තැටිවල දමා මන්ත්‍රීවරුන්ට ලබාදීම සිදුවිය. 

නමුත් එසේ ලබාදුන් පිටපතේ ඇමුණුම් තිබුණේ නැත. ඇමුණුම් නොමැත්තේ ඇයි? ඇමුණුම් යනු ස්වකීය නිගමනවලට හෝ නිරීක්ෂණවලට එළඹීමට යොදාගත් මූලාශ්‍රයන් ය. ඇමුණුම් නොමැති වාර්තාවක වෘත්තිමය භාවයක් තිබේද? 

මේ අතර, ජනවාරි 23 වැනිදා ශ්‍රී ලංකාවේ කිසිදු පුවත්පතක්, වෝහාරික විගණන වාර්තාව සභාගත කිරීම ප්‍රවෘත්තියක් ලෙස පළ කළේ නැත. එක්කෝ මේ සභාගත කළේ තවත් එක් නිෂ්ඵල වාර්තාවක් බව ඔවුන් අත්දැකීමෙන්ම දැන සිටින්නට ඇත. එසේත් නැතිනම් මෙය රනිල් වික්‍රමසිංහගේ උප්පරවැට්ටියක් සභාගත කිරීමක් බව ඔවුන් කල් තියාම දැන සිටින්නට ඇත. 

හඳුන්නෙත්ති - කුල්මත් වී ...

මේ අතර, වෝහාරික විගණන වාර්තාවෙන් කුල්මත් වූ සහෝදරයෙකු ද සභාගැබේ සිටියේය. 

ඒ අන් කිසිවෙකු නොව කෝප් කමිටු සභාපති සහ එකල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ සුනිල් හඳුන්නෙත්ති ය. 

ඔහු ජනාධිපතිවරයාට ලිපියක් ලියමින් කියන්නේ බැඳුම්කර හොරුන්ට දඬුවම් දීම දැන් හොඳටම ප්‍රමාද වී ඇති බව ය. 

ඇත්ත කතාවක්.

ඒ නිසා මහ බැංකු බැඳුම්කර පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ය. 

මොකක්...?

අවම වශයෙන් ‘කෝප් කමිටුවේ නිර්දේශ මත නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔහු ඉල්ලා සිටියා නම් එය තේරුම් ගත හැකි කාරණයකි. 

වෝහාරික විගණනය සිදුකළේ 2015 ට පෙර යුගයට අදාළව බවත්, කෝප් කමිටුවෙන් සෙව්වේ 2015 න් පසු බැඳුම්කර වංචා ගැනත් සුනිල් හඳුන්නෙත්ති දැන සිටියේ නැතිද?

කෙසේ නමුත් පැටලිලි සහගත ලෙස කුල්මත් වීම හඳුන්නෙත්ති මීට පෙර ද කර තිබේ.

2019 ඔක්තෝබර් මාසයේ දිනෙක සිරස නාලිකාවේ වැඩසටහනකට සහභාගි වෙමින් ඔහු මෙසේ කීවේය. 

‘‘දැන් යාපනේ දරුවෙක් තමයි මේ පාර ශිෂ්‍යත්වෙ වැඩිම ලකුණු ලබාගත්තෙ. ඒ දරුවා දෙමාපියන් නැතිව අනාථ නිවාසෙක ඉන්න අතරෙ තමයි ශිෂ්‍යත්වෙ වැඩිම ලකුණු ලබාගත්‍තෙ.  මේ ළමය දැන් තරග කරන්න ඕනෙ ඊළඟ පිම්මට මේ තියෙන ප්‍රාග්ධනයත් එක්ක‘‘.

නමුත් බලාගෙන යන විට ඔහු කියා තිබුණේ මියා කලීෆාගේ කුඩා කාලයේ ඡායාරූපයක් සමග කවුදෝ හදා තිබූ මීම් පැරඩියක් ගැන ය...!

 (කියවන්න - රතු සහෝදරවරුනි, මේ හැටි ආතල් දීමෙන් වළකින්න..) 

‘‘හඳුන්නෙත්ති කළේ රනිල් වික්‍රමසිංහගෙ කොන්ත්‍රාත්තුව...‘‘ යැයි හිටපු මහබැංකු අධිපතිවරයා වූද, වෝහාරික විගණනයෙන් පමණක් නොව බැඳුම්කර වංචාව පිළිබඳ සියලු විමර්ශනවලදී අත්‍යන්ත පළිගැනීමකට ලක් වූ තැනැත්තා වූ ද, වත්මන් මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් පැවසුවේ එනිසා ය.

තවද මෙයට දින දෙකකට පෙර පාර්ලිමේන්තුවේදී ජවිපෙ ‘සහෝදරයන්‘ විසින් භීෂණ සමයේදී කළ දේපළ හානියේ අද වටිනාකම රුපියල් බිලියන 55 ක් බව අජිත් නිවාඩ් කබ්රාල් විසින් පැවසුවේත් - ඒ අසා ජවිපෙ උරුමය සහිත ජාජබ තිදෙනා උකටලීව බලා සිටියේත් අහේතුකව නොවේ. පක්ෂයට තිබෙන අමතක වීමේ රෝගය ඉතිහාසය විසින් ද ඔප්පු කර තිබිම එයට හේතුවයි. 

 

මීළඟට - වෝහාරික විගණනයේ අරුම පුදුම සොයාගැනීම් සහ කබ්රාල්ගේ හත්මුතු පරම්පරාව සෙවූ හැටි

- හැමෝම දන්නා ජේමිස් බොන්ඩ් හෙටත් ලියයි.

සංස්කාරක සටහන - මෙම ලිපියේ නම් සඳහන් පාර්ශවයන්ට මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ලබාදීමට අප සූදානම්.

පෙර ලිපි

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි. - 1 කොටස
 
බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 2 කොටස

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 3 කොටස

මහබැංකුවේම බිලියන 42කින් මහබැංකුවේම බැඳුම්කර මිලට ගත් හැටි - බැඳුම්කරේ ජරමරේ - 4 වන දිගහැරුම

‘මමයි බෑණයි දුරයි!‘ - මහේන්ද්‍රන් කියයි - බැඳුම්කරේ ජරමරේ 5 වන දිගහැරුම

කැකිල්ලේ ක්‍රමයේ නීතීඥ කමිටුව සමග බැඳුම්කරේ ජරමරේ - 6 වන දිගහැරුම

රනිල් වික්‍රමසිංහ අකල් මරණයෙන් බේරුණු හැටි - බැඳුම්කර ජරමරයේ 7 වන දිගහැරුම

හඳුන්නෙත්ති මොකද කළේ? බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 8 කොටස

සුජීව සේනසිංහ කතා වස්තුව සමග බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 9 කොටස

හදවතින්ම සිරි ලාංකික - ‘යන්නෙ කොහෙද මල්ලෙ පොල්‘ වර්ගයේ ජනාධිපති කොමිසම‘: බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 10 කොටස

හදවතින්ම ‘සිරි‘ ලාංකික බැඳුම්කර කොමිසම ‘කබ්රාල් දඩයම‘ පටන් ගත් හැටි : බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 11 කොටස

අලියා බීම සමාගමේ වසර 10 ක් අධ්‍යක්ෂ ධුරය හෙබවූ ප්‍රසන්න ජයවර්ධන, කබ්රාල්ගේ මුදල් මණ්ඩලයේ හතරහමාර සොයයි!: බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 12 කොටස

සේවක අර්ථ සාධක අරමුදල (EPF) : මහේන්ද්‍රන්ගේ භක්ෂණය සහ කබ්රාල්ගේ රක්ෂණය - බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 13 කොටස