සේවක අර්ථ සාධක අරමුදල (EPF) : මහේන්ද්‍රන්ගේ භක්ෂණය සහ කබ්රාල්ගේ රක්ෂණය - බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 13 කොටස

සේවක අර්ථ සාධක අරමුදල (EPF) : මහේන්ද්‍රන්ගේ භක්ෂණය සහ කබ්රාල්ගේ රක්ෂණය - බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 13 කොටස

7 September 2020 01:22 pm

අලියා බීම සමාගමේ වසර 10 ක්ද, AMW Capital Leasing and Finance PLC හි වසර 8කට අධික කාලයක් ද සේවය කළ බැඳුම්කර කොමිසමේ සමාජික, විනිසුරු ප්‍රසන්න ජයවර්ධන, කබ්රාල්ගේ මුදල් මණ්ඩලය වසර හතරහමාරක් එක දිගට සේවය කිරීම ‘ලෝක ප්‍රශ්නයක්‘ බවට පත් කර ගත් ආකාරය පෙර ලිපියෙන් පැහැදිලි කර දුන්නෙමු. මේ ලිපියෙන් අවධානය යොමුකරන්නේ හිටපු මහබැංකු අධිපති කබ්රාල් ව අසාධාරණ ලෙස දඬු කඳේ ගැසූ තවත් සිද්ධියක් වන ‘සේවක අර්ථ සාධක අරමුදල් අයථා ලෙස පරිහරණය‘ නම් වූ චෝදනාව නිර්මාණය වූ ආකාරය, එය බැඳුම්කර කොමිසම විසින් දඩමීමා කර ගත් හැටි සහ මේ චෝදනාවේ ඇත්ත නැත්තයි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම (PTL) විසින් අතේ සතයක්වත් නැතිව, මහබැංකුවේම මුදල්වලින් මහබැංකුවේ බැඳුම්කර මිලදී ගත් ආකාරය මීට පෙර ලිපියකින් අප විසින් පැහැදිලි කර දී තිබේ. ඇත්තෙන්ම 2016 මාර්තු 29 සහ 2016 මාර්තු 31 දා පැවැත්වූ වෙන්දේසිවලදී මෙම වංචාව සිදුකරන ලද්දේ අතිශය සැලසුම්සහගත ව ය. ඔවුන් කළේ එම බැඳුම්කර මිලදී ගෙන, ඉන්පසු දින කිහිපයක් ඇතුළත ඒවා සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජනය කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස තවත් දින කිහිපයක් ඇතුළත රු. මිලියන 4,652 ක, එනම් බිලිය 4.652 ක දැවැන්ත ලාභයක් PTL ලබයි.

බැඳුම්කර කොමිසමේදී මේ නාටකයේ තවත් සාධක කිහිපයක් ද හෙළිදරව් විය. එයින් කිහිපයක් මෙසේ ය.

  • 2016 මාර්තු 29 සහ 2016 මාර්තු 31 දා පැවැත්වූ වෙන්දේසිවලදී ලංසු නොතබන ලෙසට සේවක අර්ථසාධක අරමුදලට විශේෂිතව නියෝග කර තිබිණි.  මේ ඉහළින් ආ නියෝගය කාගේදැයි දන්නෝ දනිති.
  • (සේවක අර්ථ සාධක අරමුදලට (EPF) පමණක් නොව ලංකා බැංකුවට හා මහජන බැංකුවට ද මේ බැඳුම්කර වෙන්දේසිවලදී ලංසු නොතබන ලෙස ‘ඉහළින් නියෝග ලබා දී තිබුණේ වෙළඳපොළ ඒකාධිකාරය පහසුවෙන්ම  PTL වෙත ලබාගත හැකි වන පරිදි ය)
  • ලංසු නොතැබුවත් සේවක අර්ථ සාධක අරමුදල PTL වෙතින් දින කිහිපක් ඇතුළත ඒ බැඳුම්කර මිලදී ගනියි! ඒ ඉතා වැඩි මුදලකට ය.
  • පැහැදිලිවම මෙය ජනතා මුදල් මත කෙළින ලද සූදුවක් වූයේ, මේ ගනුදෙනුවෙන් අති දැවැන්ත පාඩුවක් ලබන බව ඔවුන් මුල සිටම දැන සිටි නිසා ය.

‘සුදු කරපටි අපරාධ‘ (White Collar Crimes) යැයි කියන්නේ මේවාට නොවේ නම් වෙන මොනවාටද? යහපාලනයේ නාමයෙන් බලයට පැමිණි සුදු කමිස සහ ටයි කෝට් හඳින මහත්තුරුන් එසේ හැසිරෙන විට එය විශේෂ ‘කැතකින්‘ යුක්ත ය.

දැන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, සේවක අර්ථ සාධක අරමුදල අතිශය නින්දිත අයුරින් මෙසේ පරිහරණය කරන  විට ශ්‍රී ලංකා මහබැංකුවේ විෂයභාර ඇමතිවරයා සහ අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ එයට විරුද්ධව වචනයක් හෝ කීවේද? නැත....!

ඊටත් වඩා අරුම පුදුම හැසිරීමක් පළ කරමින් සිටියේ බැඳුම්කර කොමිසමයි. ඔවුන් ද අගමැතිවරයාගේ මෙම හැසිරීමට විරුද්ධව වචනයක්වත් කීවේ නැත....!

දැන්, ඇලෝසියස්ගේ PTL, සේවක අර්ථ සාධක අරමුදල (EPF) සම්බන්ධයෙන් මෙසේ හැසිරී ඇතැයි ඇස් පනාපිටම ඔප්පු වන අතරවාරයේදී බැඳුම්කර කොමිසම සිය 32-38 ඡේදවලින් කියන්නේ කුමක්ද?

ඔවුන් කරන්නේ කබ්රාල්ව පතුරු ගැසීමයි..

‘පොදු අවකාශයක්‘ නොතිබුණා නම් බැඳුම්කර කොමිසම ඉවරයි....!

ලංකා ඉතිහාසයේ ‘පොදු අවකාශයේ‘ ඇති තොරතුරු මත පමණක් වැඩි වශයෙන් රඳා පැවතෙමින් ජාතික වැදගත්කමකින් යුතු ප්‍රශ්නයක් විමසා බැලූ පළමු සහ අවසාන කොමිෂන් සභාව බැඳුම්කර කොමිසම විය යුතුය.

ලංකාවේ ගොසිප් සහ ගොසිප් නොවන පුවත්පත්, වෙබ් අඩවි පරිශීලනය කරන්නන්, ඒවා කියවන්නන් සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ‘පොදු අවකාශය‘ මත ය. පොදු අවකාශයේ සත්‍ය තොරතුරු  තිබේ. වැඩි හරියක් බේගල් ද තිබේ. දේශපාලන උවමනාවන්ට අනුව ලියැවුණු නිව්ස් ලක්ෂ ගණනින් තිබේ. ඉතින්, ජනතා මුදලින් රුපියල් මිලියන ගණනක් වැය කර ජනාධිපති කොමිෂන් සභා පත්කරන්නේත් පොදු අවකාශයේ තිබෙන තොරතුරු සාරාංශගත කර වාර්තා ලියන්නද?

මේ වන විට බැඳුම්කර කොමිසමේ පූර්ණ අවධානය යොමු වී තිබෙන්නේ, එහි මැන්ඩේටයෙන් නියම කළ 2015 පෙබරවාරි 27 සිට 2016 මාර්තු අග දක්වා වූ බැඳුම්කර නිකුතු ගැන තොරතුරු සෙවීම නොව, කබ්රාල්ව දඩයම් කිරීම සඳහා 2015 පෙබරවාරි 27 ට ‘පෙර‘ සිදුකළ බැඳුම්කර ගනුදෙනු ගැන තොරතුරු සෙවීම බව අපි නැවත නැවතත් කියා ඇත්තෙමු.

ඒ අනුව ඔවුන් සිය වාර්තාවේදී පොදු අවකාශයට අදාළව සිදුකරන සඳහන්, ඇත්තෙන්ම සනාථ නොකළ, සත්‍යාපනය නොකළ සහ අගැයීමක් නොකළ කරුණු මත සහමුලින්ම පදනම් වේ. 

එනිසා බැඳුම්කර කොමිසමට සිය වාර්තාවේ බොහෝ වාක්‍ය අවසන් කරන්නට සිදුව තිබුණේ ‘‘..බව කියනු ලැබේ..‘‘, ‘‘පොදු අවකාශයේ සඳහන් වේ..‘‘, ‘‘මේවා පොදු අවකාශය තුළ පවතින චෝදනා වේ..‘‘ ‘‘.. මේ තත්වය හේතු වූ බව කියනු ලැබේ..‘‘ ‘‘..බව පෙනේ...‘‘ යනාදී වශයෙනි...

කබ්රාල් සහ සේවක අර්ථ සාධක අරමුදල 

පොදු අවකාශයෙන් එපිටට සිතන්නට නොහැකි වූ හෝ එයට අකමැති වූ බැඳුම්කර කොමිසමේ වාර්තාවේ 32 ඡේදය මෙසේ ය.

‘‘ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සෘජු පාලනයට යටත් වන සේවක අර්ථසාධක අරමුදල 2015 පෙර යුගයේ සහ, විශේෂයෙන්ම 2010 හා 2011 අතර කාලයේදී කොළඹ කොටස් වෙළඳපොළෙහි ප්‍රශ්න සහගත වාණිජ කටයුතු සමග සම්බන්ධ වූ බව ‘පොදු අවකාශයේ‘ තොරතුරු පවතියි. ''

ඉතාම සාහසික ලෙස මෙම නිගමනයට බැඳුම්කර කොමිසම එළඹෙන්නේ කිසිදු අධ්‍යයනයකින් හෝ සාක්ෂි විභාගයකින් තොරව ය. 2015 ජනවාරි 8 ආණ්ඩු පෙරළියෙන් පසුව සුරැකුම්පත් හා විනිමය හුවමාරු කොමිෂන් සභාව (SEC), අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් කොමිසමට විසින් ‘කොටස් වෙළඳපොළ‘ වංචාවන් ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්නට පටන් ගත්තේය. ඒවා විශාල ප්‍රචාරයක් සහිතව සිදු කෙරුණු, ඉතාම ආක්‍රමණශීලී විමර්ශන විය. හොරු අල්ලන්නවෝ යැයි කියාගෙන ආ යහපාලනය කළ පළමු කාර්යයක් වුයේ එයයි. 

නමුත් ඒ කිසිවකින් ‘2015 ට පෙර‘ යුගයේ සේවක අර්ථ සාධක අරමුදල කළමනාකරණය සම්බන්ධයෙන් හෝ මූල්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කිසිදු වරදක් හෙළිදරව් නොවූ බව දැන දැනම, ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවේත් ‘බව පොදු අවකාශයේ සඳහන් වේ‘ යැයි සඳහන් කරයි! 

මෙම කොමිසමේ සේවක අර්ථ සාධක අරමුදල් ගැන ඉදිරිපත් කරන චෝදනා, අතිශය පුදුම සහගත ලෙස, එයට වසර ගණනාවකට පෙර පැවරුණු එනම්, 2012 සැප්තැම්බර්28 දා මූලික අයිතිවාසිකම් නඩු අංක 587/12 (FR Case No. 587/12) මගින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නගනු ලැබූ චෝදනාවලට අතිශයින් සමාන චෝදනා වේ. මෙහිදී කොමිසම අමතක කරන කාරණයක් වන්නේ, මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ‘විභාගයට නොගෙන‘ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය ක්‍රියා කළේ හේතු ඇතිව බවයි. ඒ, ‘‘මෙවැනි විශේෂිත චෝදනාවකට පදනමක් නැත‘ යන තත්වයෙනි. 

එයට අදාළව පළ වූ ඩේලි නිව්ස් වාර්තාවක මෙසේ සඳහන් වේ.

පෙත්සම්කරුවන් සඳහන් කළේ EPF මුදල් විශාල සමාගම්වල සහ ද්විතියික කොටස් හුවමාරු වෙළඳපොළවල ආයෝජනය කර ඇති බව තමන් මාධ්‍ය හරහා දැනගත් බවයි.  

වෙනත් කරුණු අතර පෙත්සම්කරුවන් චෝදනා කර සිටියේ මෙම ආයෝජනයන් සම්බන්ධයෙන් විනිවිදභාවයක් නොපැවති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙසට EPF සාමාජිකයන් හට අප්‍රතිවර්තීය පාඩුවක් සිදුව ඇති බව ඔවුහු කියා සිටියහ.  

ඔවුන් තවදුරටත් සඳහන් කළේ EPF සාමාජිකයන්ට ආයෝජන ව්‍යූහය සහ EPF අරමුදලේ ප්‍රතිපත්ති පිළිබඳ දැනගැනිමට අයිතියක් පවතින බවයි. 

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජේ.සී. වැලිඅමුණ කියා සිටියේ එකී ආයෝජන විනිවිදභාවයෙන් ඌන බවයි. 

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.‘‘ .- “SC dismisses EPF case – Jayantha de Silva

දැන් මේ නඩුව පැවරුවේ කවුදැයි සොයාබැලීම වටියි. එය පැවරුවේ ‘නීතීඥ එකමුතුව‘ (“Lawyers Collective”) සහ වෘත්තීය සමිති 11 ක් විසින් ඒකාබද්ධව ය. මෙම නීතීඥ එකමුතුවේ සිටි එක් නීතීඥවරයෙක් වූයේ, එකල පුද්ගලික නීතීඥයෙකු ලෙස කටයුතු කළ පසුව විනිසුරුවරයෙකු බවට පත්වූ ප්‍රසන්න ජයවර්ධන ය. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දැමූ මූලික අයිතිවාසිකම් පෙත්සමක සඳහන් චෝදනා, එයට වසර ගණනාවකට පසුව ජනාධිපති කොමිෂන් සභාවක අවසන් වාර්තාවේත් ඒ අයුරින්ම සඳහන් වන්නේ අහම්බයකින් නොවේ!

සේවක අර්ථ සාධක අරමුදල දීර්ඝ කාලීන විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් වන අතර, එහි ආයෝජන කටයුතු සිදුකරන්නේ ‘කළඹ‘ පදනමක් මත ය. පසුව අගවිනිසුරවරයෙකු බවට පත්වූ ශ්‍රීපවන් විනිසුරුවරයා, සේනසිංහ එ. කබ්රාල් නඩු තීන්දුවේදී ඒ බව පැහැදිලිවම සඳහන් කර තිබේ.

2011 වසරේ සියලු කොටස් මිල දර්ශකය කඩා වැටුණේත් EPF නිසාලු!

2011 වසරේදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ‘සුවිශේෂී‘ අන්දමින් කඩා වැටීම ගැන ද කොමිෂන් සභාව සඳහන් කර ඇති අතර, එම කඩාවැටීම සේවක අර්ථ සාධක අරමුදල හේතුවෙන් සිදුවූවක් ලෙස කොමිසම දක්වයි. නමුත් එහිදී එම වසරේදී ලෝකය වෙළාගෙන තිබූ දැවැන්ත ආර්ථික හා බැංකු අර්බුදයක කොමිසමට සහමුලින්ම අමතක වෙයි. තවද වෙළඳපොළ අගයේ විශාල අඩුවීම්වලට ප්‍රධාන හේතුව සහ ASPI හි අඩුවීම ට හේතුව සේවක අර්ථ සාධක අරමුදල විසින් සිදුකළ ගනුදෙනු‘ නොව ගෝලීය හා කලාපීය තත්වයන් බවට වන කාරණය කොමිසමට මගහැරෙන්නේ ඔවුන් විෂය දැනුමෙන් ඌනවීම සහ අවංක අධ්‍යයනයක් කිරීමට අකමැති කම නිසා විය යුතුය. අඩුම වශයෙන් මේ කාලය තුළ ගෝලීය හා කලාපීය කොටස් වෙළදපොළවල හැසිරීම ඔවුන් අධ්‍යයනය කළේ නම්, මේ ලෝක ලැජ්ජාව වසාගැනීමට හැකියාව තිබිණි. 

මේ අයුරින් ගෝලීය හා කලාපීය ප්‍රවණතා හේතුවෙන් කඩාවැටීමකට ලක් වූ කොළඹ කොටස් වෙළඳපොළ, 2014 වසරේදී යථා තත්වයට පත් වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සේවක අර්ථ සාධක අරමුදලේ කළඹ, උප ලබ්ධි නොවූ රු. මිලියන 20,223 ක අති දැවැන්ත ප්‍රාග්ධන ලාභයක් ලබාගනියි. මේ අනුව සේවක අර්ථ සාධක අරමුදල, කොමිෂන් සභාව කියන ආකාරයට 2014 වසර වන විට වෙළඳපොළ අගයෙන් විශාල අඩුවීමක් නොව වැඩි වීමක් ලබාගෙන තිබේ...! 

පහත වගුවට අදාළ දත්ත ලබාගෙන තිබෙන්නේ මහබැංකුවේ වාර්ෂික වාර්තාවලින්ම වේ.

අවම වශයෙන් මේ කොමිසම, මෙවැනි බරපතළ සහ නොමග යවනසුලු ප්‍රකාශයක් සිදුකිරීමට පෙර 2014 වසරට අදාළ මහබැංකු වාර්තාව කියවිය යුතුව තිබිණි...

ඉතින් කොමිසමට මේ සා විශාල වැරදීමක් සිදුවන්නේ අත්වැරදීමකින් නොවිය යුතුය...

මේ තරම් විශාල දෝෂ සහගත අර්ථදැක්වීමකට ලංකාවේ මාධ්‍ය ප්‍රචාරය ද නොමදව ලැබුණේය. ඒ මාධ්‍ය මෙහෙයුම කොතරම් දැවැන්තද යත්, අදටත් සේවක අර්ථ සාධක අරමුදල ගැන කතාකරන විට එය කාබාසීනියා කර දැමූ රනිල් වික්‍රමසිංහ නාමය වෙනුවට ජනතාවට සිහිවන්නේ කබ්රාල්ව ය. යහපාලනය විසින් ‘නැත්ත - ඇත්ත‘ කර තිබෙන්නේ එසේ ය. 

ශ්‍රී ලංකා මහබැංකුවේ වාර්ෂික වාර්තාවලින් ඉතාම පැහැදිලිව පෙනී යන ආකාරයට ඉහත වගුවෙන් දක්වන සුවිශේෂී ලාභය EPF විසින් ලබාගන්නේ කබ්රාල්ගේ නායකයත්වය යටතේ ය. 

‘‘මේ ගනුදෙනුවලින් රාජ්‍ය ආයතන විශාල වශයෙන් ලාභ ලැබුවා..අපි මේ එක සතයක්වත් ගෙදර ගෙනිහින් නැහැ..‘‘ යැයි හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ එනිසා ය. 

කබ්රාල්ට එරෙහිව අවි අමෝරාගන්නවුන්, මොහොතකට නතර වී අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපතිව සිටින සමයේදී සේවක අර්ථ සාධක අරමුදලට අත් වූ ඉරණම සමග එය සැසඳිය යුතුම වන්නේ එනිසා ය. එහිදී පැහැදිලිවම පෙනී යනු ඇත්තේ යහපාලනයේ මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් හරහා EPF භක්ෂණය කළ බව (කා දැමූ බව) සහ ඊට පෙර සිටි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එය රක්ෂණය (ආරක්ෂා) කළ බව ය. භක්ෂණය සහ රක්ෂණය ගැන ලංකාවේ අර්ථ ශාස්ත්‍රය තුළ මෑත කාලීන ඉතිහාසයේ ලබාදිය හැකි හොඳම උදාහරණය මේ අනුව සේවක අර්ථ සාධක අරමුදලයි. 

ඉතින් රනිල් බැඳුම්කර හොරු ඇල්ලුවද? නෑනේ.. නෑනේ...!

2017 ජනවාරි 11 දා අගමැති රනිල් වික්‍රමසිංහ උදාරම් ලෙස මෙසේ අසයි.

'‘අද ලංකාවෙ ධනවත්ම සමාගම මොකක්ද? ජෝන් කීල්ස් සමාගමද? හේලීස් සමාගමද? එයිට්කන්ස්පෙන්ස් සමාගමද? ඒ එකක්වත් නෙවෙයි..

‘‘ධනවත්ම වාණිජ සංවිධානය තමයි, සේවක අර්ථ සාධක අරමුදල. ඒකෙන් අපිට මේ සමාගම් ඔක්කොම මිලදී ගන්න පුළුවන්...!

රනිල් වික්‍රමසිංහට සේවක අර්ථ සාධක අරමුදල ‘සමාගමක්‘ ලෙස පෙනී යාම කොහෙත්ම පුදුමයක් නොවේ. කෙසේ වෙතත් ‘ලංකාවේ ධනවත්ම සමාගම මොකක්ද?“ යැයි ඇසූ විට  පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඔහුට සිහි නොවීම නම් පුදුමයකි. එය ඔහුගේ ළඟම හිතවතෙකු වන මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණාගේ සමාගමයි. මහබැංකු බැඳුම්කර වංචාවන් සිදුකරවූයේ මේ සමාගම හරහා ය. අනෙක් අතට, මෙහිදී රනිල් වික්‍රමසිංහට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හරහා සේවක අර්ථ සාධක අරමුදල ට ‘කෙළවූ‘ ආකාරය ද සහමුලින්ම අමතක වෙයි. නමුත් රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ යහපාලන ආණ්ඩුව සේවක අර්ථ සාධක අරමුදලේ ධනවත්කම ගැන කොතරම් ඇස ගසාගෙන සිටියාද යන්න ඔහුගේ මුවින් ගිලිහුණු මේ වදන් සාක්ෂි දරයි. 

මෑතකදී එක්තරා පුද්ගලික නාලිකාවක වැඩසටහනකට පැමිණෙන ජාජබ නායක අනුර කුමාර දිසානායක ‘දේශපාලනය කරන හැටි‘ කතා කරයි. එහිදි ඔහු කියන්නේ ‘‘අපි සමහර දේවල් කරන්න කියල පාර්ලිමේන්තුවෙදි කෑ ගහන්නෙ, ඒවා නොකරන බව දැන දැනමයි. දැන් අපි බැඳුම්කර හොරු අල්ලන්න කියල රනිල් වික්‍රමසිංහට කෑ ගැහුවා. ඔහු ඒක කරයිද?“

සැබවින්ම රනිල් වික්‍රමසිංහට බැඳුම්කර හොරුන් අල්ලන්නට බැරි ය. මන්ද යත් බැඳුම්කර හොරුන් වූයේ ඔවුන්ම වූ නිසා ය. එනිසා රනිල් වික්‍රමසිංහ උතුර දකුණ මාරුවීමකින් හෝ බැඳුම්කර හොරු ඇල්ලුවොත්, ඇල්ලෙන්නේ තමන්වම ය. 

ඉතින් අල්ලයිද? ඇල්ලුවද? 

නෑනේ.. නෑනේ....!

- හැමෝම දන්නා ජේමිස් බොන්ඩ් හෙටත් ලියයි
 
සංස්කාරක සටහන - මෙම ලිපියේ නම් සඳහන් පාර්ශවයන්ට මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ලබාදීමට අප සූදානම්.
 
පෙර ලිපි
 
බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි. - 1 කොටස
බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 2 කොටස
බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 3 කොටස
මහබැංකුවේම බිලියන 42කින් මහබැංකුවේම බැඳුම්කර මිලට ගත් හැටි - බැඳුම්කරේ ජරමරේ - 4 වන දිගහැරුම
‘මමයි බෑණයි දුරයි!‘ - මහේන්ද්‍රන් කියයි - බැඳුම්කරේ ජරමරේ 5 වන දිගහැරුම
කැකිල්ලේ ක්‍රමයේ නීතීඥ කමිටුව සමග බැඳුම්කරේ ජරමරේ - 6 වන දිගහැරුම
රනිල් වික්‍රමසිංහ අකල් මරණයෙන් බේරුණු හැටි - බැඳුම්කර ජරමරයේ 7 වන දිගහැරුම
හඳුන්නෙත්ති මොකද කළේ? බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 8 කොටස
සුජීව සේනසිංහ කතා වස්තුව සමග බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 9 කොටස
හදවතින්ම සිරි ලාංකික - ‘යන්නෙ කොහෙද මල්ලෙ පොල්‘ වර්ගයේ ජනාධිපති කොමිසම‘: බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 10 කොටස
හදවතින්ම ‘සිරි‘ ලාංකික බැඳුම්කර කොමිසම ‘කබ්රාල් දඩයම‘ පටන් ගත් හැටි : බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 11 කොටස
අලියා බීම සමාගමේ වසර 10 ක් අධ්‍යක්ෂ ධුරය හෙබවූ ප්‍රසන්න ජයවර්ධන, කබ්රාල්ගේ මුදල් මණ්ඩලයේ හතරහමාර සොයයි!: බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 12 කොටස