ලංකා බැංකුවේ අභ්‍යන්තර අර්බුදය: මහ බැංකුව සුදත්ට පත්වීම් ලිපිය නොදෙන්නේ බැඳුම්කර වංචාව යටගහන්නද?

ලංකා බැංකුවේ අභ්‍යන්තර අර්බුදය: මහ බැංකුව සුදත්ට පත්වීම් ලිපිය නොදෙන්නේ බැඳුම්කර වංචාව යටගහන්නද?

4 September 2020 02:35 pm

ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී ලෙස වැඩ භාර ගෙන සිටින සුදත් ගුණසේකර මහතාට තවදුරටත් සිය පත්ව්ම් ලිපිය ලබා දීම මහ බැංකුව විසින් ප්‍රමාද කරමින් තිබේ. 

සුදත් ගුණසේකර මහතා සාමාන්‍යාධිකාරී තනතුරට පත්වීමට පෙර යම් යම් අක්‍රමිකතා සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවටත් පවසමින් ඔහුව තවදුරටත් වැඩබලන සාමාන්‍යාධිකාරී තනතුරේ තබා ගැනීමටයි මහ බැංකුවත් කටයුතු කරමින් සිටින්නේ. 

ඔහුගේ මෙම පත්වීමට මුල සිටම විරුද්ධ වූ මෙන්ම එය වළක්වාලීමට මහත් වෙහෙසක් ගත් තවදුරටත් එම උත්සාහය අතනොහැර සිටින ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා ඇතුළු කණ්ඩායම විසින් ඊට බලවත් සහයක්  ලබාදෙමින් තිබෙන බව සඳහන්. 

ගුණසේකර මහතා නව සාමාන්‍යාධිකාරී ලෙස වැඩභාරගත් පසුගිය මාර්තු 05 වැනි දින ආයතනයේ කළු කොඩි දමා විරෝධය පළකිරීමට ද කටයුතු කළ අතර Banking System එක යොදා ගනිමින් ශාඛා අතර online රැස්වීමක් පවත්වා දිනක් ලංකා බැංකු පද්ධතියම අකර්මණ්‍ය කිරීමටද උක්ත ෆොන්සේකාගේ කණ්ඩායම කටයුතු කර තිබුණි. 

මේ සම්බන්ධ සියලු පසුබිම් තොරතුරු අපි මීට ඉහතදී වාර්තා කර ඇත්තෙමු.

සතිපතා බැංකුවේ පැවැත්වෙන ප්‍රධාන රැස්වීම් ද මෙම ෆොන්සේකා කල්ලිය වර්ජනය කරමින් අභ්‍යන්තර කටයුතු අඩපණ කිරීමට උත්සහ දරමින් සිටින අතර ඊට අධ්‍යක්ෂ මණ්ඩලයේ දෙදෙනෙකුගේ නොමද සහයද ලැබෙමින් පවතින බවයි කියවුණේ. 

කෙසේවෙතත් සුදත් ගුණසේකර මහතා සාමාන්‍යාධිකාරී ලෙස පත් කිරීමට පෙර සියලු විගණන සිදුකර අවශ්‍යතා සපුරා තිබියදී කැබිනට් මණ්ඩලයේද අනුමැතියෙන් ඔහු පත්වූ නමුත් දැන් මේ අභියෝගයට ලක්වන්නේ කැබිනට් මණ්ඩලයද අනුමත කළ පත්වීමකි. 

මහ බැංකුවද ලංකා බැංකුවේ එක් කණ්ඩායමක ඉත්තන් වී ඇති බවට මේ වන විට අභ්‍යන්තරයෙන් චෝදනා එල්ල වෙමින් තිබේ. 

සුදත් ගුණසේකර මහතාගේ පත්වීමට අදාළ නිලභාවය ලබා දීම මහ බැංකුව ප්‍රමාද කරමින් සිටීමට එක් හේතුවක් රසල් ෆොන්සේකාමය.

ඔහුගේ බිරිද මහ බැංකුවේ නිලධාරිනියක් වන මාලනී ෆොන්සේකා වන අතර මහ බැංකුව මඟින් සුදත් ගුණසේකරගේ පත්වීම් ලිපිය යොමු කිරීම ප්‍රමාද කරමින් සිටීමට ඇය ද මහතා දායකත්වයක් දෙමින් සිටින බව සඳහන්. 

මෙහිදී විශේෂිතම කාරණය වන්නේ 2015 මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව අර්ජුන් අලෝසියස්ගේ පර්පෙචුවල් ට්‍රේෂරීස් වෙත රු. බිලියන 10ක් ලංකා  බැංකුව මුදා හරින්නේ මහ බැංකුවේ උපදෙස් මතය.

නිසි පටිපාටියෙන් තොරව වගකීම් විරහිත ලෙස ඇලෝසියස් වෙත රු. බිලියන 10ක් නිදහස් කිරීමට ලංකා බැංකුව කටයුතු කර තිබූ අතර ඒ සඳහා වූ මහ බැංකුවේ උපදෙස් ප්‍රශ්න කිරීමට හෝ ලංකා බැංකුව කටයුතු කර නොතිබුණේ එවකට ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස කටයුතු කළ රසල් ෆොන්සේකා ද ඊට සහය දී තිබූ හෙයිනි. 

ඒ අනුව ලංකා බැංකුව බැඳුම්කර ගනුදෙනුව සඳහා පර්පෙචුවල් ට්‍රේෂරීස් වෙත රු. බිලියන 10ක් නිදහස් කරනේ එවකට ලංකා බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා වන රසල් ෆොන්සේකාගේ අනුමැතියට යටත්වය. 

මෙම දූෂිත ක්‍රියාව සම්බන්ධයෙන් සුදත් ගුණසේකර නව සාමාන්‍යාධිකාරී විසින් විමර්ශනයක් කිරීමට සූදානම් වන හෙයින් මහ බැංකුවද පරල වී සිටින්නේ සුදත් ගුණසේකරට සිය පත්වීමේ නිලභාවය ලද සැණින් එම කාර්යයට අත තබනු ඇතැයි යන විශ්වාසයෙනි. 

එසේ වුවහොත් ලංකා බැංකුවේ පමණක් නොව බැංකුවල මහ ගෙදර වන මහ බැංකුවේ  රෙදි ගැලවී යාමද  වැළැක්වීමට නොහැකි වනු ඇත.  

සබැඳි පුවත්:ලංකා බැංකුවේ අභ්‍යන්තර අර්බුදය: සුදත්ව ගෙදර යවන්න හදන්නේ රසල් මහ බැංකු බැඳුම්කර වංචාවට හවුල් නිසාද?