අලියා බීම සමාගමේ වසර 10 ක් අධ්‍යක්ෂ ධුරය හෙබවූ ප්‍රසන්න ජයවර්ධන, කබ්රාල්ගේ මුදල් මණ්ඩලයේ හතරහමාර සොයයි!: බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 12 කොටස

අලියා බීම සමාගමේ වසර 10 ක් අධ්‍යක්ෂ ධුරය හෙබවූ ප්‍රසන්න ජයවර්ධන, කබ්රාල්ගේ මුදල් මණ්ඩලයේ හතරහමාර සොයයි!: බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 12 කොටස

2 September 2020 01:39 am

බැඳුම්කර වංචාව විමර්ශනය කිරීම සඳහා, එනම් 2015 පෙබරවාරි 27 සිට 2016 මාර්තු 21 දක්වා මහබැංකුව විසින් සිදුකළ බැඳුම්කර නිකුතු පිළිබඳ විමර්ශනය සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළ අයුරුත්, එය සිය මැන්ඩේටයෙන් පිට පනිමින් හිටපු මහබැංකු අධිපතිවරයා ව ඉලක්ක කරමින් ‘කබ්රාල් දඩයමක්‘ පටන් ගත් හැටිත් පෙර ලිපියෙන් හෙළිදරව් කළෙමු.

නමුත් ‘බැඳුම්කර කොමිසම‘ යනුවෙන් සුපතළ වූ මෙම ජනාධිපති කොමිසම විසින් කළ අවිද්‍යාත්මක සහ අතාර්කික ක්‍රියා එයින් නිම වන්නේ නැත.

ඒ සඳහා උදාහරණ එමට ය.

බැඳුම්කර කොමිසම සිය වාර්තාවේදී මෙසේ කියයි.

‘‘ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වසර හතර හමාරක් මුළුල්ලේ සිය ධුරයන් දරා ඇති අතර, එය ශ්‍රී ලංකා මහබැංකුවේ ඉහළ නිලධාරීන්ගේ චරිතය සහ ආකල්පය එහි ජ්‍යේෂ්ඨ කාර්ය මණ්ඩලය සිය රාජකාරි කෙරෙහි දැක්වූ එළඹුම හැඩගැස්වීම කෙරෙහි බලපාන්නට ඇත..‘‘

මූල්‍ය මණ්ඩලය යනු ශ්‍රී ලංකා මහබැංකුවේ අතිශය වැදගත් ව්‍යූහාත්මක මණ්ඩලයකි. විශේෂයෙන්ම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් පැවසීමේදී එයට පැවරෙන්නේ සුළුපටු කාර්යභාරයක් නොවේ.

දැන්, විනිසුරු ප්‍රසන්න ජයවර්ධන ඇතුළු කණ්ඩායමට ප්‍රශ්නයක් වී තිබෙන්නේ මහබැංකුවේ ඉහළ නිලධාරීන් වසර හතරහමාරක් ධුරය දැරීමයි.

එය අතිශයින්ම විහිළු කතාවකි. සරල ප්‍රශ්නයක් මෙහිදී නැගේ.

‘‘මෙම කොමිසම බැඳුම්කර වංචාවන් ගැන සොයන්නට පටන් ගත්තේ මුදල් නීති පනත කියවන්නේ නැතිවද?‘‘

මුදල් නීති පනත මගින් පැහැදිලිවම පවසන්නේ ‘මූල්‍ය මණ්ඩල සාමාජිකයන් හට නොකඩවා වසර 6 ක් සිය ධුරයන් දැරීමට විධිවිධාන සලසන බව‘ ය...!

සැබවින්ම ඊටත් වඩා වැඩි කාලයක් වුවත් මහබැංකුවේ ජ්‍යේෂ්ඨ කාර්ය මණ්ඩලයත් සමග කටයුතු කිරීමට මහබැංකු සේවකයෝ පුරුදු වී සිටිති. එයට උදාහරණ එමට ය.

අලියා බීම සමාගමේ වසර 10 ක අධ්‍යක්ෂ ධුරය

Ceylon Cold Stores PLC යනු අලියා සිසිල් බීම සමාගමයි. මහබැංකුව මදකට පසෙකින් තබන්න. සාමාන්‍ය සංස්ථාපිත සමාගමක වුවත් අධ්‍යක්ෂ ධුරයන් දරන අය වසර හතරහමාරකට සීමා විය යුතු යැයි නීතියක් කොහේවත් නැත. උදාහරණයක් වශයෙන් ඉහත කී අලියා බීම සමාගමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන වසර 10 ක් අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර තිබේ. ඔහු දැන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වශයෙන් කබ්රාල්ගේ මුදල් මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන්ගේ හතරහමාර ප්‍රශ්න කරන්නේය.

කොමිෂන් සභා සාමාජික ප්‍රසන්න ජයවර්ධන අතීතයේදී මෝටර් රථ සමාගමක ද අධ්‍යක්ෂ ධුරය හොබවා තිබේ. වසර 8කට වඩා වැඩි කාලයක් ඔහු එසේ අධ්‍යක්ෂ ධුරය හොබවා තිබෙන්නේ AMW Motors Co. PLC හි අනුබද්ධ සමාගමක් වන AMW Capital Leasing and Finance PLC හි ය.

තවත් උදාහරණයක් කියන්නේ නම් අර්ජුන මහේන්ද්‍රන්ගෙන් පසුව මහබැංකු අධිපති ධුරයට පත් වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මෙන්ම මුදල් මණ්ඩල සාමාජික නිහාල් ෆොන්සේකා ජෝන් කීල්ස් හෝල්ඩින්ස් (John Keells Holdings PLC) හි අධ්‍යක්ෂවරු වූහ.

දැන් මෙවැනි පසුබිමක් තුළ ඔහු පවසන්නේ ඒ සා දීර්ඝ කාලයක් යමෙකු විසින් අධ්‍යක්ෂ ධුරයක් හෙබවීම එම ආයතනයේ ඉහළ පරිපාලනයට බාධාවක් වන බව ද?

ඒ නිසා ප්‍රසන්න ජයවර්ධන ඇතුළු කොමිෂන් සභා සාමාජිකයන් විසින් මුලින්ම කර ගත යුතුව තිබුණේ මේ කැකිල්ලේ තර්කය තමන්ගේ කල්ක්‍රියාවට ආදේශ කර ගැනීමයි.

පැහැදිලිවම ශ්‍රී ලංකා මහබැංකුවේ ජ්‍යේෂ්ඨ කාර්ය මණ්ඩලය, එහි අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය විසින් බලහත්කාරයෙන් යටපත් කරගෙන සිටියා යැයි පැවසීම, රටේ මූල්‍ය විනය පාලනය කරන ශ්‍රී ලංකා මහබැංකුවේ එම ජ්‍යේෂ්ඨ කාර්ය මණ්ඩලයට කළ හැකි හොඳම නිග්‍රහයයි.

මේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ මෙවැනි තවත් දේ බොහෝ තිබුණේය.

යහපාලනය ආ ගමන් කබ්රාල් අස් වුණේ ඇයි?

බැඳුම්කර වාර්තාවේ 6 සිට 8 දක්වා ඡේදවලින් යෝජනා කරන්නේ ‘2015ට පෙර‘ සිටි මහබැංකු අධිපතිවරයා සහ මූල්‍ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු ජනාධිපතිවරයා වෙනස් වූ පසු ඉල්ලා අස් වී ඇති හෙයින් ‘ඔවුන් දේශපාලනීකරණය වී සිටි බව‘ ය!

2015 ජනවාරි 8 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූයේ 2015 ජනවාරි 9 වැනිදා ය. එදිනම මහබැංකුවේ ජ්‍යේෂ්ඨයන් තිදෙනෙකු ඉල්ලා අස්වූහ. එක් අයෙක් නම් අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ය. අනෙක් දෙදෙනා වූයේ මුදල් මණ්ඩල සාමාජිකයන් වූ නිමල් වෙල්ගම මහතා සහ නීල් උමගිලිය ය.

මෙන්න මෙතැනදී බැඳුම්කර කොමිසමට මුදල් පනත සිහි වෙයි ! එය උපුටා දක්වමින් ඔවුන් පවසන්නේ මුදල් පනත ප්‍රකාරව එක් අයෙකු වසර 6 ක් සිටිය යුතු නිසා කලින් ඔවුන් කලින් අස් වුණේ ‘දේශපාලනීකරණය ව සිටි නිසා‘ කියා ය.

කොමිසම සිය වාර්තාවේදී උපුටා දක්වන මුදල් පනතේ 16 වන වගන්තියෙන් කියන්නේ ජනාධිපතිවරයා හට ඔවුන් ඉවත් කළ හැකි අවස්ථාවන් ගැන ය. එහි දක්වන කිසිදු පසුබිමක් 2015 ජනවාරි වන විට නොතිබුණු බව ද කොමිසම කියයි. කොමිසම මෙහිදී නොකියා කියන්නේ මුදල් මණ්ඩල සාමාජිකයන් ඉවත් කරන තෙක්ම සිටිය යුතු බව ද ? ඔවුන්ට ස්ව කැමැත්තන් ඉල්ලා අස්විය නොහැකි බව ද?

මේ ලෝකයේ කිසිදු නීතියකින් ධුරය දරන්නෙක් ධුරයේ සිරකරුවන් බවට පත් කරන්නේ නැත. ඉල්ලා අස්වීමට ඕනෑම කෙනෙකුට හැකි ය. එය කොන්දේසි සහිතව හෝ කොන්දේසි රහිතව කළ හැකිය.

පහත දැක්වෙන්නේ හිටපු මහබැංකු අධිපති කබ්රාල්ගේ ඉල්ලා අස්වීමේ ලිපියයි.

එනිසා මෙහිදී, කබ්රාල් ඉල්ලා අස්වූයේ කෙසේද යන්න සොයා බැලීම වටියි.

කබ්රාල් මහබැංකු අධිපති ධුරය පසෙක තබා ගෙදර ගිය හැටි

අජිත් නිවාඩ් කබ්රාල් 2015 ජනවාරි 9 වැනිදා ඉල්ලා මහබැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්විය. එනම්, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ලැබුණු දිනයට පසුදිනම ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හට ලබාදුන්නේය.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියේ, එයට පාදක වූ හේතු පැහැදිලිවම දැක්වෙයි.

එනම්, බලයට පැමිණෙන ජනාධිපතිවරයා විසින් දින 100 ක කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දී තිබීම නිසා එම වැඩසටහන හැකිතාක් ඉක්මනින් ක්‍රියාවට නැංවීමට ඔහුට සහ ඔහුගේ පරිපාලනයට නිදහස ලබාදෙමින් වන බව ය.

සැබවින්ම කබ්රාල් නියම මහත්මයෙකු සේ ගෙදර ගියේය.

තමන්ට පාවිච්චිය සඳහා ලබා දී තිබූ වාහන ද එදිනම ශ්‍රී ලංකා මහබැංකුව වෙත භාර දුන්නේය.

දින 5 ක් ඇතුළත මහබැංකු අධිපතිවරයාගේ නිල නිවස වන ‘ද බෑන්ක් හවුස්‘ හිස් කර දුන්නේය. 

මෙවැනි කාරණයක් සම්බන්ධයෙන් අප ජීවත් වන්නේ කෙබඳු රටකද?

2019 අගෝස්තු මාසයේදී යහපාලන ආණ්ඩුව විසුරුවා හැරිය විටත් යහපාලනයේ ඇතැම් මැති ඇමතිවරුන් සිය සැප වාහන සහ බංගලා බාරදුන්නේ නැත. එයට උදාහරණ කිහිපයක් මෙන්න.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහ ලේකම් පා.ම. දයාසිරි ජයසේකර ග්‍රෙගරි පාරේඅංක C- 78 දරණ නිල නිවස භාර නොදී සිටියේ තමන් අසනීප තත්වයෙන් නිවසේ රැඳී සිටින බව කියමිනි. මහින්ද අමරවීර හිටපු අමාත්‍යවරයා කීවේ ‘මං විතරක් නෙවෙයි මෙහෙම ඉන්නෙ. මම ගත්තෙ මට අයිති දේවල්..‘‘ කියා ය! යහපාලන මැතිඇමතිවරුන් විසි දෙනෙක් පමණ අවම වශයෙන් මෙසේ නිලය අහිමිවීම දරාගත නොහැකිව වරප්‍රසාද බදාගෙන සිටියහ. (මැති ඇමති නිල නිවාසවල නිල දහන්ගැට

ඇතැම්විට මෙය යහපාලනයේ ස්වභාවය විය හැකිය. සිරිසේනගේ බැඳුම්කර කොමිසම කබ්රාල් සියල්ල අතහැර මහත්මයෙකු සේ නික්ම යාම සැක කටයුතු සේ දුටුවේ ඒ නිසා විය යුතුය.

නමුත් කොමිෂන් සභා සාමාජික ප්‍රසන්න ජයවර්ධනට හැම විටම තමන්ගේම කතා අමතක වන සෙයකි.

ඔහුගේ පියා වන එල්. ස්ටැන්ලි ජයවර්ධන ලංකාවේ ප්‍රකට බැංකුකරුවෙක් විය. එසේම ස්ටැන්ලි ජයවර්ධන ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලයේ ද සාමාජිකයෙකු ව සිටියේය. 1994 වසරේදී චන්‍ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පැමිණි විට ඔහු මුදල් මණ්ඩලයෙන් නොපමාව අස් වෙයි. එතැනදී ද ඔහු එසේ අස්වන්නේ ඔහුව ‘ඉවත් කිරීම‘ අවශ්‍ය වන කිසිදු කොන්දේසියක් පැන නැගී නොතිබෙන විටදී - ආණ්ඩු වෙනසක් පමණක් පැන නැගී ඇති විටදී ය. ඔහු ද මුදල් මණ්ඩලයේ වසර 6 සේවය කර තිබුණේ නැත.

ඉතින් දැන් මේ අවනඩුව කාට කියන්නද...?

මේ නාඩගම් දෙස බලමින් බැඳුම්කර වංචාවේ මහ මොළය මහ හයියෙන් සිනාසුණා විය යුතුය... 

-           හැමෝම දන්නා ජේමිස් බොන්ඩ් හෙටත් ලියයි

සංස්කාරක සටහන - මෙම ලිපියේ නම් සඳහන් පාර්ශවයන්ට මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ලබාදීමට අප සූදානම්.

පෙර ලිපි

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි. - 1 කොටස

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 2 කොටස

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 3 කොටස

මහබැංකුවේම බිලියන 42කින් මහබැංකුවේම බැඳුම්කර මිලට ගත් හැටි - බැඳුම්කරේ ජරමරේ - 4 වන දිගහැරුම

‘මමයි බෑණයි දුරයි!‘ - මහේන්ද්‍රන් කියයි - බැඳුම්කරේ ජරමරේ 5 වන දිගහැරුම

කැකිල්ලේ ක්‍රමයේ නීතීඥ කමිටුව සමග බැඳුම්කරේ ජරමරේ - 6 වන දිගහැරුම

රනිල් වික්‍රමසිංහ අකල් මරණයෙන් බේරුණු හැටි - බැඳුම්කර ජරමරයේ 7 වන දිගහැරුම

හඳුන්නෙත්ති මොකද කළේ? බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 8 කොටස

සුජීව සේනසිංහ කතා වස්තුව සමග බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 9 කොටස

හදවතින්ම සිරි ලාංකික - ‘යන්නෙ කොහෙද මල්ලෙ පොල්‘ වර්ගයේ ජනාධිපති කොමිසම‘: බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 10 කොටස

හදවතින්ම ‘සිරි‘ ලාංකික බැඳුම්කර කොමිසම ‘කබ්රාල් දඩයම‘ පටන් ගත් හැටි : බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 11 කොටස