නවසීලන්තය යළිත් කොවිඩ් වෛරසයට නතු වෙයි - අදත් ආසාදිතයන් 14 ක්

නවසීලන්තය යළිත් කොවිඩ් වෛරසයට නතු වෙයි - අදත් ආසාදිතයන් 14 ක්

13 August 2020 11:30 am

නොකඩවා දින සියයකට වැඩි කාලයක් තිස්සේ කිසිදු ආසාදිතයෙකු හමු නොවූ නවසීලන්තයෙන් යළිත් දිනපතාම කොවිඩ් ආසාදිතයන් හමු වීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඕක්ලන්ඩ් නගරයෙන් පෙරේදා එකම පවුලේ සාමාජිකයන් 04 දෙනෙක් කොවිඩ් 19 ආසාදිතයන් බවට හඳුනාගෙන තිබිණි. මේ අතර එම පවුලට සම්බන්ධ පුද්ගලයන් ඇතුළු තවත් 14 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව මේ වනවිට වාර්තා වී තිබෙනවා.

ඕක්ලන්ඩ් නරගයෙන් නැවත ආසාදිතයන් හමුවීමත් සමග එම නගරය සම්පූර්ණයෙන් වසා දැමීමට නවසීලන්ත රජය පියවර ගත් අතර මේ වනවිට ආසාදිතයන් තවදුරටත් සිටින්නේද යන්න පිළිබඳව දැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

මෙම තත්වය හේතුවෙන් ඊයේ දිනයේදී සිදු කිරීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ලබන සඳුදා දක්වා කල්දමා තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල්දැමූවද නියමිත පරිදි සැප්තැම්බර් 19 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩර්න් මහත්මිය පවසන්නේ.

කෙසේ වෙතත් තවදුරටත් ආසාදිතයන් හමු වුවහොත් මහ මැතිවරණය පැවැත්වීම ද අවිනිශ්චිත වනු ඇත.

මේ වනවිට නවසීලන්තයෙන් හමු වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 1589 ක් වන අතර වාර්තා වී ඇති මරණ ප්‍රමාණ්‍ය 22 කි.

UN