කුරුණෑගල නගරාධිපතිට එරෙහි වරෙන්තුව අභියාචනාධිකරණය අත්හිටුවයි

කුරුණෑගල නගරාධිපතිට එරෙහි වරෙන්තුව අභියාචනාධිකරණය අත්හිටුවයි

12 August 2020 04:58 pm

කුරුණෑගල නගරයේ පිහිටා තිබූ බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපයේ කොටසක් කඩා දැමීමේ  සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස්දෙනා සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන වරෙන්තුව එළඹෙන  24 දක්වා ක්‍රියාත්මක නොකරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත. 

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ තමන් අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර තිබෙන වරෙන්තුව බල රහිත කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ නගරාධිපතිවරයා විසින් ගොණු කර තිබෙන රීට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය. 

පෙත්සම ඉදිරිපත් කරමින් නගරාධිපතිවරයා පවසා තිබුණේ උක්ත ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබෙන අතර ඇතැම් දේශපාලන පක්ෂ විසින් ඒ සම්බන්ධයෙන් වැරදි මත සමාජගත කිරීමට කටයුතු කර ඇති බවයි. 

එහි වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, කුරුණෑගල විශේෂ විමර්ශන අංශය බාර පොලිස් ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා, පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සහ කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා නම් කර ඇත.

උක්ත සිධිය සම්බන්ධයෙන් නගරාධිපතිවරයා ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණු අතර එම නියෝගය හෙට (13) දිනය දක්වා දීර්ඝ කර තිබුණි. 

මේ අතර සැකකරුවන් විදෙස්ගත වීම වළක්වමින් තහනම් නියෝගයක්ද මහේස්ත්‍රාත්වරයා නිකුත් කර තිබේ. 

ASK