කැබිනෙට්ටුවේ අලුත් මුහුණු 03 යි - රාජ්‍ය ඇමතිවරු අතර අලුත් මුහුණු 13 යි

කැබිනෙට්ටුවේ අලුත් මුහුණු 03 යි - රාජ්‍ය ඇමතිවරු අතර අලුත් මුහුණු 13 යි

12 August 2020 05:30 pm

මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරගත් අතර ඒ හරහා මෙතෙක් පාර්ලිමේන්තුවේ නොසිටි අලුත් මුහුණු රැසක් මීළඟ පාර්ලිමේන්තුව නියෝජනය කරයි. විශේෂයෙන් වියත් මග සංවිධානය නියෝජනය කරමින් ඉදිරිපත් වූ පුද්ගලයන් ඇතුළු වියතුන් බුද්ධිමතුන් රැසක් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් දෙ‍ෙකන් එකකට ආසන්න පිරිසක් නවක මන්ත්‍රීවරුන් වේ. 

මහ මැතිවරණය අවසන්වීමෙන් පසුව එසේ පාර්ලිමේන්තුවට සුදුසකම් ලැබූ නවක සභිකයන් කිහිප දෙනෙකුට කැබිනට් තනතුරු හිමිවනු ඇති බවට දේශපාලන ක්ෂේත්‍රය තුළ විවිධ කතාබහ ඇති විය. 

කෙසේ වෙතත් අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් සාමාජිකයන් 25 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය තුළ සිටින්නේ මීට පෙර කිසිදු කැබිනට් ඇමති ධුරයක් නොදැරූ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පමණි. ඒ තරුණ හා ක්‍රීමා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාය.

නාමල් රාජපක්ෂ මහතා සහ උදය ගම්මන්පිල මහතා ඇමති ධුර නොදැරුවද මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර ඒ අනුව මෙවර පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වී කැබිනෙට්ටුව ද නියෝජනය කිරීමට වාසනාවන්ත වී ඇත්තේ අලි සබ්‍රි මහතා පවණි.

මීට අමතරව මීට පෙර අමාත්‍ය තනතුරු නොදැරූ 12 දෙනෙකුට රාජ්‍ය අමාත්‍ය තනතුරු හිමිව තිබේ. ඔවුන්ගෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වී රාජ්‍ය ඇමතිවරුන් වූ පිරිස 07 කි. ඒ ඩී.බී. හේරත් මහතා, ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, නාලක ගොඩහේවා මහතා, ජීවන් තොන්ඩමන් මහතා, අජිත් නිවාඩ් කබ්රාල් මහතා, චන්න ජයසුමන මහතා සහ සීතා අරඹෙපොල මහත්මියයි.

මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ එස්. වියාලේන්ද්‍රන්, තේනුක විදානගමගේ, සිසිර ජයකොඩි, පියල් නිශාන්ත ද සිල්වා, ප්‍රසන්න රණවීර, ඩී.වී. චානක යන මන්ත්‍රීවරුන්ටද පළමු වරට රාජ්‍ය ඇමති ධුර හිමිව තිබේ.

UN