Covid 19 මර්දනයෙන් තුනෙන් දෙකක ජයග්‍රහණයට පාර කැපුණු පළමු මාර්ගෝපදේශය

Covid 19 මර්දනයෙන් තුනෙන් දෙකක ජයග්‍රහණයට පාර කැපුණු පළමු මාර්ගෝපදේශය

11 August 2020 02:45 pm

                                                        

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජය බලාපොරොත්තු වූ පරිදි මේ වන විට තුනෙන් දෙකක බලයක් ලබා ගෙන මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයාගේ නායකත්වයෙන් ආණ්ඩු බලය ලබා  අවසන්ය.

පසුගිය 09 වැනි දින  කැළණිය රජ මහා විහාරස්‌ථ භූමියේ දී සර්ව ආගමික ආශිර්වාදය මැද මහින්ද රාජපක්ෂ මහතා නව ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

2019 නොවැම්බර් මස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැට නව ලක්ෂයක ජනතා ප්‍රසාදයෙන් සිය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර වූයේ මෛත්‍රී - රනිල් යහපාලනය ජනතා අප්‍රසාදයට ලක්ව සිටි බව විශ්වසනීය ලෙස තහවුරු කරමිනි.

ඒ අනුව පසුගිය මාර්තුවේ මහ මැතිවරණයට සූදානම් වෙමින් සිටියදී අනපේක්ෂිත ලෙස ගෝලීය Covid19 වෛරසයේ ව්‍යාප්තියත් සමඟ මාර්තු 20 වැනිදා ශ්‍රී ලංකාවද ඇඳිරිනීතිය පනවමින් ලොක් ඩවුන් කිරීමට සෞඛ්‍ය අංශ උපදෙස් මත ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය තීරණය කරන ලදී.

මෙම තත්ත්වය මත මහ මැතිවරණයද කල් දැමීමට මැතිවරණ කොමිසම තීරණය කළ අතර අවසානයේ එය අගෝස්තු 05 වැනි දින පැවැත්වීමට හැකියාව ලැබුණි.

කොරෝනා වසංගත තත්ත්වය ලෝක සෞඛ්‍ය, ආර්ථික, සමාජ, දේශපාලන මෙකී සියලුම පැතිකඩයන්ට දරුණු ලෙස තවදුරටත් පහර එල්ලකරමින් පවතින තත්ත්වයක ශ්‍රී ලංකාව එය මනාව පාලනය කරගෙන තිබේ. ලොව ප්‍රබල රටවල් වෛරසය හමුවේ දණින් වැටී සිටින තත්ත්වයක ශ්‍රී ලංකාව සෞඛ්‍ය අංශ උපදෙස් මත ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම කළමනාකරණය කරගනිමින් අඩුපාඩු අවම වන ලෙස කොරෝන වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මනාව මුහුණ දී සිටියි. තවදුරටත් ඒ සම්බන්ධයෙන් කාර්යක්ෂම සේවාවක් සිදුකරමින් පවතින අතර විශේෂයෙන් සෞඛ්‍ය උපදෙස් මත මහ මැතිවරණයද සාර්ථකව නිම කිරීමට හැකිවී තිබුණි.

Covid 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරන ආකාරය අනුව එය නව රජයේ අනාගතය තීරණය කරන්නක් බවට පත්වන අතර එය මනාව පාලනය කරගත හොත් රජයේ අනාගත සුරක්ෂිතභාවය ද තහවුරු කරගැනීමට හැකි බව කරුණු සහිතව ප්‍රථමයෙන් මාධ්‍ය සංවාදයක යෙදුණේ විශ්‍රාමික මේජර් ජනරාල් දේශකීර්ති ලංකා පුත්‍ර ආචාර්ය බොනිෆස් පෙරේරා මහතාය.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ලොව මුල්ම දස දෙනා අතර පසුවන මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා එම කරුණු තහවුරු කරන ලද්දේම ඔහුගේ පර්යේෂණ ඥානය මත පදනම්වය.

වසර 36ක සිය යුධ හමුදා සේවා කාලය තුළ වසර 20ක්ම එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරහිව යුධ පෙරමුණේ සිටි රණවිරුවෙක් ලෙස යුධ ජයග්‍රහණයට පමණක් සීමා නොවී විශේෂයෙන් උතුරේ ජාති ආගම් භේදයකින් තොරව සංහිඳියාව ඇති කිරීමටත්, අවතැන් වූවන් යළි පදිංචි කිරීමටත් සෘජුව විශාල දායකත්වයක් දීමට හේ පසුබට වී තිබුණේ නැත.

එම අග්‍රගණ්‍යභාවය නිසාවෙන්ම ඔහුට රාමඤ්ඤ නිකායෙන් දේශකිර්ති ලංකා පුත්‍ර ගරු නාමය ලැබුණේ මහා සංඝ රත්නයේ 1000 නමක් ඉදිරිපිට අනුරාධපුර සඳහිරු සෑය අභියසදීය. ඒ මෙරට කතෝලිකයෙක් ලද පළමු සම්මාන වරමට හිමිකම් කියමිනි.

මේ වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසය වෙනස් කර තිබෙන බොනිෆස් පෙරේරා මහතා එක් අතකින් ජාතික ආරක්ෂාවට වගකීමට බැඳී සිටියදී අනෙක් අතින් ඊට හාත්පසින්ම වෙනස් ආර්ථික විද්‍යාව සම්බන්ධ ආචාර්ය උපාධිධාරියෙකි. එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ එවැනි සළකුණක් තැබීමට හැකිව තිබෙන්නේද ඔහුටම පමණි.

යුද්ධ හමුදා සේවාව තුළ ජ්‍යෙෂ්ඨත්වය,සේවා පළපුරුද්ද,අධ්‍යාපන සුදුසුකම් ආදී සියලු අවශ්‍යතා ඉහටත් උඩින් සපුරා තිබියදී 2017 වසරේදී යුධ හමුදාපති ධූරය බොනිෆස් පෙරේරා මහතාගෙන් ගිලිහුණේ ඔහු රාජපක්ෂ හිතවාදියෙකු යන චෝදනාව එල්ල කරමිනි.

රට එලෙස ඔහුව පසෙකින් තැබුවද ජාත්‍යන්තරය ඔහුගේ සේවාව ලබා ගැනීමට තරම් ඥානවන්ත වී තිබුණේ අපේ ඇත්තන්ට බොහෝ පාඩම් කියාදෙමින්ය.  

මෙවැනි සේවා, අධ්‍යාපන හා පර්යේෂණ පළපුරුද්ද මත බොනිෆස් පෙරේරා මහතා ශ්‍රී ලංකාව තුළ Covid 19 හිස ඔසවන විටම රාජ්‍ය නායකත්වය විසින් කළ යුත්ත සම්බන්ධයෙන් විවෘත සංවාදය ගෙන එන්නේ ඔවුන්ගේද අනුමැතිය අනුවය.

වසංගත ව්‍යාප්තිය හමුවේ බොහෝ දෙනෙකුට රැකියා අහිමි වීම තුළින් ඇතිවන ආර්ථික බංකොලොත්භාවය වැලැක්වීම වත්මන් රජයේ වගකීම හා ඉලක්කය විය යුතු බවට ඔහු අවධාරණය කර තිබුණි. එම ආර්ථික බංකොලොත්භාවය විසින් ඇතිකරන හානිය ස්ථිර වශයෙන්ම විසඳීමට රජයට හැකි විය යුතු බවයි ඔහු එමඟින් පෙන්වා දුන්නේ. ඒ අනුව සියලුම පුරවැසියන් රැක බලාගැනීම, අනාගත සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් සැකයක් මතු නොවන ලෙස මැදිහත් වීම,ඒ සම්බන්ධයෙන් විශ්වාසය ඇති කිරීම රජයේ වගකීමක් බවයි බොනිෆස් පෙරේරා මහතා සඳහන් කළේ.

මානව ව්‍යසනයක් දක්වා දිගුවක් වන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රාජ්‍ය නායකත්වය මට්ටමෙන් අවශ්‍ය ප්‍රයෝගික මෙන්ම කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කරන ලදී.

''රට තුළ තවදුරටත් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීම ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ යුතුකම වන අතර පසුව පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරවලට මෙම වෛරසයෙන් ඇති වන ආර්ථික හානිය සමඟ සාර්ථකව කටයුතු කිරීමට උපකාරී වන පරිදි සැලකිය යුතු මූල්‍ය හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, මුදල් හුවමාරුව, වැටුප් සහනාධාර හෝ බදු සහන වැනි ක්‍රියාමාර්ග රජයන් විසින් සලකා බැලිය යුතු අතර, වසංගතය සැපයුම් දාමයට හා පාරිභෝගික ඉල්ලුමට බාධා කරන බැවින් බැංකු හා සමාගම්වලට ද්‍රවශීලතාවයක් සැපයීමට මහ බැංකු සූදානම් විය යුතුය.'' යන්න ඔහු  පෙන්වාදුන්නේය.

වසංගත තත්ත්වය හමුවේ ක්‍රමෝපායික ලෙස අනාගතයට මුහුණ දීම සඳහා නිරෝධායන පහසුකම් සංවර්ධන කිරීම පිළිබඳ සලකා බැලිය යුතු බව ද බොනිෆස් පෙරේරා මහතා සිය ලිපිය මඟින් පැහැදිලි කරන ලදී.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ රට ලොක්  ඩවුන් කරන්නේ මාර්තු 20 වැනිදා සිට වන අතර ඔහු මෙකී රජයේ  ක්‍රමෝපායික සැලැස්මක අවශ්‍යතාව පැහැදිලි කරන්නේ මාර්තු 22 දිනය. එහිදී කළ යුත්ත පිළිබඳව නැත්නම් රජය ගමන් කළ යුතු මාර්ගය පිළිබඳව බොනිෆස් පෙරේරා මහතා පැහැදිලි පර්යේෂණාත්මක විග්‍රහයක් ඉදිරිපත් කර තිබුණි.

ඒ වන විටත් රටේ කතා බහට ලක්ව තිබුණු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් මතු කිරීමට එය හේතු මූල සැපයීය. ජාතික  ආරක්ෂාව වූ කලී තුවක්කුවට හෝ අධිකරණ ක්‍රියාවලියකට හෝ භෞතික වශයෙන් ආරක්ෂාව සැපයීම හෝ යන කරුණකට සීමා  නොවන අතර එය ආර්ථික ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව,දේශපාලන ආරක්ෂාව ආදී සියලු පැතිකඩයන්ට අදාළ බවට හේ තහවුරු කර පෙන්වා දුන්නේය. (ජාතික ආරක්ෂාව යනු කෙතරම් පුළුල් කාරණයක්ද යන වග බොනිෆස් පෙරේරා මහතා මහතා මීට ඉහතදී කරුණු පැහැදිලි කර තිබේ. ඔබගේ වැඩිදුර දැනගැනීම සඳහා එයද අපි මෙලෙස යළි පළකරමු.)

 සබැඳි පුවත් 

ෆොන්සේකාව ආරක්ෂක ඇමති කළ පමණින් ජාතික ආරක්ෂාව තහවුරු වෙන්නේ නැහැ (VIDEO)

මෙහිදී රට තුළ පර්යේෂණ අංශ සහ හදිසි ප්‍රතිචාර ඒකක සඳහා වැඩි මූල්‍ය දායකත්වයක් ලබා දෙමින් ජාතික සෞඛ්‍යයට ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතු බවද ඔහු අවධාරණය කර තිබුණි. එය මේ වන විට සක්සුදක් සේ තහවුරු වී අවසන්ය. මේ සියලු තත්ත්වයන් සාර්ථක කර ගැනීම සඳහා පැහැදිලි ප්‍රතිපත්තිමය උපදෙස් මෙන්ම ඉහළ විනිවිදභාවයක් සහිතව ක්‍රියාත්මක විය යුතු බවද විශ්‍රාමික මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා සිය ලිපිය මගින් කරුණු සහිතව පෙන්වා දී තිබුණි.

මෙහිදී තවත් විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ ශ්‍රී ලංකාව තුළ Covid 19 වසංගත තත්ත්වය ඉතාලියට සාපේක්ෂව යම් අනතුරුදායක තත්ත්වයක් සංඥා කර තිබෙන පසුබිමක මෙරට වගකිව යුතු රජයේ වෛද්‍ය නිලධාරියෙකු පවසා තිබුණේ ශ්‍රී ලංකාව තුළ ආරම්භක අවදියේ කොරෝනා තත්ත්වය ඉතාලියට වඩා දරුණු බවය. එහෙත්  ඉතාලියේ  හා ශ්‍රී ලංකාවේ තත්ත්වයන් සංසන්දනය කර ඉතාලිය සමඟ ශ්‍රී ලංකාව සමපාත කිරීම නිවැරදි නොවන බව බොනිෆස් පෙරේරා මහතා සිය ලිපිය ආරම්භයේදීම පෙන්වා දී තිබේ.

එකී රජයේ වෛද්‍ය නිලධරයාගේ කතාව රට තුළ භීතියක් ඇති කරමින් ජනතාව නොමඟ යවන සුළු තත්ත්වයක් නිර්මාණය කරන්නක් බවත් මෙම වසංගතය ව්‍යාප්ත වීම සඳහා තවත් අවශේෂ කරුණු සැලකිය යුතු ප්‍රමාණයක දායකත්වයක් ඇති බවත් ඔහු පෙන්වා දී තිබේ.

''එය ඉතාලියේ ශීත සෘතුව වන බැවින් උණ සමය වන අතර ශීත කාලගුණය හේතුවෙන් ඕනෑම අවස්ථාවක රෝග වැඩි වෙන්න පුළුවන්. එය තමයි සිදුවෙමින් තිබෙන්නේ. දෙවනුව, බොහෝ ඉතාලියානුවන් ජීවත් වන්නේ මහල් නිවාසවල වන අතර සිය ගණනක් නොව දහස් ගණනක් එක් ගොඩනැගිල්ලක එකට වාසය කරනවා. තෙවනුව, ඉතාලියානුවන් පිරිමි හා ගැහැණු එකිනෙකා සිප ගනිමින් හා වැලඳ ගනිමින් සුබ පතන සංස්කෘතියක් තිබෙන්නේ.  සිව්වනුව, ඉතාලියේ වයස්ගත ජනගහනය වැඩියි. පස්වනුව, මිලියන 10 කට අධික චීන සංචාරකයින් විසින් ඉතාලියේ සෑම අස්සක් මුල්ලක් නෑරම වෛරසය පතුරුවා තිබුණේ. හයවනුව, ඔවුන්ගේ සෞඛ්‍ය සේවාව මේ සඳහා සූදානම්ව සිටියේ නැහැ. හත්වනුව, එය ප්‍රමාද වන තුරු රජය එය එතරම් බැරෑරුම් ලෙස සැලකුවෙත් නැහැ. අවසාන වශයෙන්, COVID 19 ගැන කිසිවෙකු දැන සිටියේ නැහැ. එබැවින්, ඉතාලියේ වර්තමාන රෝගීන්ගේ අනුපාතය ඉහළ යාමට හේතු වී තිබෙන්නේ  පුරවැසියන් වසංගතය සැහැල්ලුවෙන් ගැනීම ඇතුළු ඉහත හේතු නිසා.''  යනුවෙන් බොනිෆස් පෙරේරා මහතා කරුණු පැහැදිලි කර තිබෙන අතර ඒ අනුව ඉතාලිය හා ශ්‍රී ලංකාව සංසන්දනය කිරීම යෝග්‍ය නොවන අතර එය නිවැරදි නොවන බවත් ඔහු මනාව අවධාරණය කර තිබේ.

එයද මේ වන විට පෙනෙන්නට තිබෙන අත්විඳින සත්‍යයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

ඒ අනුව රජයද  එකී අවශ්‍යතාවන් අවශ්‍ය මොහොතේ ලබා දීමට සමත් වීම තුළ ලෝකයේම අවදානය තමන් වෙත හරවා ගනිමින් කොරෝනා වෛරසය පාලනය කර තවදුරටත් සුරක්ෂිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමට සමත් විය. පැහැදිලි ලෙසම රජයේ අනාගතය රඳා පැවතියේ කොරෝනා පාලනය කිරීම තුළය. එසේ නොවන්නට කතාව බොහෝ සෙයින් වෙනස් වන්නට තිබුණි.

එහෙයින් කොරෝනා ජයගත හොත් රජයද සිය අනාගත සුරක්ෂිතභාවය තහවුරු කර ගන්නා බවට රට ලොක් ඩවුන් කර දින දෙකක් ගත වන විට ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා සියලු වග විස්තරයන් සහිතව පෙන්වා දුන්නේය. එය එලෙසින්ම අද ඉටුව තිබේ. එහෙයින් අපි යළිත් වරක් ඔබගේ අවධානය සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණ එම ලිපිය මෙලෙස පළ කරන්නෙමු.  

COVID 19 : MISLEADING NEWS AND RESPONSIBILITY OF THE PUBLIC AND GOVERNMENT