බීරූට් පිපිරුම - ඉතිහාසය යළි සිහිකැඳවන්නක් ද?

බීරූට් පිපිරුම - ඉතිහාසය යළි සිහිකැඳවන්නක් ද?

9 August 2020 11:27 pm

මීට දින කිහිපයකට පෙර ලෙබනනයේ බීරූට් නගරයේ වරායේ හටගත් පිපිරුමකින් පුද්ගලයින් 130 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වූ බවට වාර්තා වී තිබිණි.

එම පිපිරුමෙන් පුද්ගලයින් 3000 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබිණි.

ඇමෝනියම් නයිට්‍රේට් පොහොර බහාලූ ටැංකි පුපුරා යාමෙන් ඇතිකළ කම්පනය බීරූට් නගරයේ රික්ටර් මාපකයේ 3.3 ක භූකම්පනයක් ඇතිකිරීමට ද සමත්ව තිබිණි.

ජපානයේ පළමු පරමාණු බෝම්බය පුපුරා යාමේ 75 වන සංවත්සරය ට දින කිහිපයකට මත්තෙන් සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම කාර්මීකරණයෙන් පසු ලෝක ඉතිහාසයේ සිදුවූ මහා විනාශයන් යළි ආවර්ජනය කරවන්නක් බව ට මතයක් ගොඩනැඟෙමින් පවතී.

එපමණක් නොව, 80 දශකයේ රුසියාවේ ෂර්නොබිල් (Chernobyl) හි න්‍යෂ්ඨික බලාගාරයක් පිපිරීමෙන් අත්වූ මහා ඛේදවාචකය ද අපට සිහි කැඳවන්නේ, එකී සියළු සිදුවීම් මිනිස් ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල ලෙස හට ගැණුනු නිසාවෙනි.

එමෙන්ම, චීනය හා එක්සත් ජනපදය අතර දිනෙන් දින තීව්‍ර වන ආතතිකාරී වාතාවරණයක් ද හට ගැනීම තුළ ඉහත කී සිදුවීම් අපට සිහි කැඳවනු ලබන්නේ මිනිසා විසින් මිනිසා විනාශ වීමේ දරුණු ස්වයං සංහාරයක් කරා අප ප්‍රාප්ත වෙමින් සිටිනා බව නොවේද?

ලොව අන්ත අසරණ ආර්ථිකයකට හිමිකම් කියනු ලබන ලෙබනනයේ දූෂිත පාලන තන්ත්‍රය පිළිබඳ එරට වැසියන් අරගල වල නිරත වීම ආරම්භ වූයේ අද ඊයෙක පටන් නොවේ. පෙර නොවූ විරූ මූල්‍ය අර්බුදයක් මධ්‍යයේ ඉකුත් අඟහරුවාදා දින බීරූට් නගරයේ හටගත් ද්විත්ව පිපිරුම ආර්ථිකයට සෘජු මරු පහරක් එල්ල කළේ සම්පත් රැසක් විනාශයට පත් කරමිනි.

ගබඩාවක් තුළ රාජසන්තක කොට තැන්පත් කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් සහිත පොහොර තොගය වසරක කාලයක් මුළුල්ලේ කිසිදු ඉවක් බවකින් ‍තොරව තිබෙන්නට හැර දමා තිබුණු බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පොහොර තොගයේ පැවති අධික පිපිරෙනසුළු ස්වභාවය පිළිබඳ අවධානය යොමුකිරීමට බලධාරීන් උනන්දුනොවී තිබීම තුළ ඉතා අවාසනාවන්ත අන්දමින් හටගත් ගින්නක් ඔස්සේ පිපිරුම හටගෙන තිබිණි.


ෂර්නොබිල් - හිරෝෂිමා-නාගසාකි - ඔක්ලහෝමා යළි යළිත්.....

මෙම පොහොර තොගය තුළ ටොන් 2,750 කට අධික ඇමෝනියම් නයිට්‍රේට් අන්තර්ගතව තිබූ බවට ලෙබනන බලධාරීහු පවසති. 1995 වර්ෂයේ එක්සත් ජනපදයේ ඔක්ලාහෝමා නගරයේ හටගත් පිපිරුම ඔබට මතකද?

ඇස්තමේන්තු කර ඇති අන්දමට බීරූට් නගරයේ වරාය ගබඩාවේ තැන්පත් කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ප්‍රමාණය එකී පිපිරුම හට ගැනීමට තුඩුදුන් පුපුරන ද්‍රව්‍ය වලට වඩා දහසක ගුණයකින් පමණ යුක්ත ය.


Oklahoma Blast - 1995

ඒ අනුව මහා ජන සංහාරයක් සිදුකිරීමට තරම් ප්‍රමාණවත් පුපුරණසුළු ද්‍රව්‍ය තොගයක් රාජසන්තක තත්ත්වයේ පවා කිසිදු වගවිභාගයක් නොමැතිව ගබඩා කාමරයක තැන්පත් කර තීබීමට ඉඩ හැර තිබෙන්නේ මන්ද යන බරපතල පැණය හට ගනී.

තාක්ෂණය හා සමාජ මාධ්‍ය ජාල පරිහරණය අතිශයින් දියුණු තත්ත්වයක් තුළ, රුසියාවේ ෂර්නොබිල් ජන සංහාරය මෙන් මෙම සිදුවීම ලෙබනන රජයට යට ගැසිය නොහැකිය. එදා 80 දශකයේ අද මෙන් සමාජ මාධ්‍ය ජාල ක්‍රියාත්මක වූවා නම්, සිදුවීම යට ගැසීමට රුසියාව කළ වෑයම නිසැකවම වරදිනු ඇත.


CHERNOBYL, UKRAINE, USSR - MAY 1986: Chernobyl nuclear power plant a few weeks after the disaster. Chernobyl, Ukraine, USSR, May 1986. (Photo by Laski Diffusion/Getty Images)

ලෙබනනයේ ඉහළ රේගු නිලධාරියකු වන බඩ්‍රි ඩහර් ට අනුව, මෙකී පුපුරන ද්‍රව්‍ය තොගය රාජසන්තක කර තිබෙන්නේ මීට වසර හතකට පෙරය. එමෙන්ම මෙම පොහොර තොගය යළි අපනයනය කරන ලෙස ලෙබනන අධිකරණය හට අවස්ථා හයකදී ම ඉල්ලුම් කර ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ වන විට බීරූට් පිපිරුම් සම්බන්ධයෙන් වරාය නිලධාරීන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.


Beirut explosion

ෂර්නොබිල් සිදුවීම් මෙන්ම, බීරූට් පිපිරුම අපට සිහිකැඳවන්නේ එක්සත් ජනපදය විසින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි වෙත එල්ල කළ පරමාණුක ප්‍රහාරයයි. 1945 වර්ෂයේදී ගෙන ඇති ඡායාරූප සැබවින්ම බීරූට් පිපිරුම සිහි නොකැඳවන්නේ ද? තීරණය ඔබ සතුය.

හිරෝෂිමා - නාගසාකි සිදුවීම සෑම විටම ඇමරිකානු ඉතිහාසඥයින් විසින් සාධාරිණීකරණය කිරීමට තැත්කර තිබිණි. ඔවුන්ගේ තර්කය වූයේ එම ප්‍රහාරය තුළින් මීට දරුණු ලේවැකුණු යුධ ගැටුමක් වළක්වාලීමට ඔවුන් කටයුතු කළ බවයි.

ප්‍රකට මාධ්‍යවේදියකු වන බ්‍රෙට් විල්කින්ස් පෙන්වා දෙන්නේ ඉතිහාසඥයින් විසින් මෙම පෙන්වා දෙන තර්කය පිළි ගත නොහැකි බවයි. මෙම කාලවකවානුව වන විට ජපානය යටත්වීමට මාස ගණනක පටන් සැලසුම් කර තිබීම හා එක්සත් ජනපදය ඒ පිළිබඳව දැන දැනම ප්‍රහාරය දියත් කිරීම මීට හේතුව බව හෙතෙම පෙන්වා දෙයි.


මීළඟ පිපිරුම චීනයෙන් ද? 

එදා ජපානය සමඟ එදිරි වූ එක්සත් ජනපදය දෛවයේ සරදමක් මෙන් අද මේ මාන බලන්නේ ජපානයේ දිගුකාලීන සතුරකු වන, දැන් දැන් එක්සත් ජනපදයේ පරම සතුරකු බවට පත්ව තිබෙන චීනයට ප්‍රහාරයක් දියත් කිරීමට ද යන කතිකාවත දැන් සමාජය තුළ ගොඩනැඟී තිබේ.

යුද්ධය - විනාශය - දේශපාලනය එකිනෙකින් එතී තිබෙන වැලක් මෙනි. න්‍යෂ්ඨික යුද්ධයක් පිළිබඳ විවිධ මතිමතාන්තර ඉතිහාසය පුරා දිව යන මුත්, නවතම තත්ත්වය අනුව, ඇමරිකාවට ඉතිහාසයේ පළමු වරට න්‍යෂ්ඨික ප්‍රතිවාදීන් දෙදෙනෙකුට මුහුණ දීමට සිදුව තිබේ. ඒ චීනය හා රුසියාවයි.

ඇතැම් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ලෝකයේ වෙනත් රටවලින් චීනය කෙරෙහි ගොඩනැංවෙන එදිරිවාදිකම් නිසා ගැටුමේ තත්ත්වය තවතවත් බරපතල විය හැකි බවයි.

චීනය හෑල්ලු කර දැමීමට ඉන්දියාව සහ එක්සත් ජනපදය සිය ක්‍රමෝපායික මිත්‍ර සබඳතා වැඩිදියුණු කර ගත් බවට රහසක් නොවේ. එපමණක් නොව, එක්සත් රාජධානිය ද මේ වන විට හුවාවි (Huawei) සිය 5G ටෙලිකොම් ජාලයෙන් තහනම් කර තිබේ. එමෙන්ම කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ චීනයේ බීජිං නුවර විසින් චීන-පාලිත හොංකොං නගරය වෙත පැනවූ ආරක්ෂක නීති දැඩි ලෙස හෙලා දැක තිබේ. ඊටම පිදුරු අවුලමින් හොංකොං නගරයට ආයුධ අපනයනය කිරීම නවතා දැමීමට එක්සත් ජනපදය කටයුතු කර තිබේ. චීනය සහ යුරෝපා සංගමය අතර තියුණු වෙනස්කම් පවතින බවට වාර්තා වෙමින් පවතී.

මේ අනුව කොමියුනිස්ට්වාදී චීනය සැමගේ සතුරා බවට පත්ව ඇතිද යන පැණය මතුව තිබේ. චීනය කෙරෙහි නව ආරක්ෂක ප්‍රවේශයක් ගැනීමට යුරෝපා රටවල් සැරසෙන්නේ මෙම හේතුව නිසා විය යුතුය.

කෙසේවෙතත්, ලෝක බලවතුන් සමඟ තරඟයක් නොමැති, ආර්ථිකයෙන් ද නන්නත්තාර වූ ලෙබනනයේ බීරූට් නගරයේ සිදුවූ පිපිරුමෙන් අප උගත යුතු පාඩමක් තිබේ.

අවි ගත්තෝ අවියෙන් ම නැසෙති.! 

Isuru Parakrama | outboundtoday.com