හිටපු මැති-ඇමතිවරු රැසක් ගෙදර - කාන්තා නියෝජනය 12 න් 08 ට බහී

හිටපු මැති-ඇමතිවරු රැසක් ගෙදර - කාන්තා නියෝජනය 12 න් 08 ට බහී

7 August 2020 04:07 pm

අගෝස්තු 05 වැනිදා පැවති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීම හේතුවෙන් නවක දේශපාලනඥයන් රැසකට පාර්ලිමේන්තු වරම් හිමිව තිබේ. ඊට සාපෙක්ෂ්ව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන් 50 කට අධික පිරිසක් පරාජයට පත්ව තිබෙනවා.

මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වූ පිරිස අතර දශක කිහිපයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මෙරට දේශපාලනයේ පතාක යෝධයන්ද සිටින අතර ඉන් ප්‍රමුඛයා වන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතායි. ඔහු 1977 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර පසුගිය පාර්ලිමේන්තුව සඳහා වික්‍රමසිංහ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූයේ ලංකාවෙන්ම වැඩිම මනාප ප්‍රමාණයක් හිමිකර ගනිමිනි.

ඔහුට අමතරව එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ බහුතරයකට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි විය. රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, දයා ගමගේ, වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් එජාපයෙන් ඉදිරිපත්ව පරාජයට පත් වූහ.

ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පෙරුම මහතාගේ පරාජය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. 

මීට අමතරව සුජීව සේනසිංහ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අජිත් පී. පෙරේරා, චන්ද්‍රාණි බණ්ඩාර, පී. හැරිසන්, චතුර සේනාරත්න, ඇතුළු හිටපු මහජන නියෝජතයන් රැසක් සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව පරාජයට පත්විය.

මේ අතර පසුගිය පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන් 12 දෙනෙකුගේ නියෝජනයක් දක්නට ලැබුණද මෙවර එය අටක් දක්වා අඩු වී තිබෙනවා. ඉන් හතර දෙනෙකුම නියෝජනය කරන්නේ සබරගමුව පළාතයි. රත්නපුර දිස්ත්‍රික්කයෙන් පවිත්‍රා වන්නිආරච්චි, මුදිතා සොයිසා සහ තලතා අතුකෝරල යන අපේක්ෂිකාවන් ජයග්‍රහණය කළ අතර කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රාජිකා වික්‍රමසිංහ මහත්මිය පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබෙනවා.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ කෝකිලා හර්ෂනී ගුණවර්ධන මහත්මිය පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබා තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබාගෙන ඇති අතර මාතලේ දිස්ත්‍රික්කයේ රෝහිණී කුමරි කවිරත්න මහත්මිය සිය ආසනය ආරක්ෂා කර ගැනීමට සමත්ව තිබේ.

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරියන්ගෙන් සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ චන්ද්‍රානී බණ්ඩාර, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, තුසිතා විජේමාන්න යන අපේක්ෂිකාවන්ද එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ විජයකලා මහේෂ්වරන්, අනෝමා ගමගේ යන අපේක්ෂිකාවන්ද පරාජයට පත්ව තිබේ. මීට අමතරව පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ ශ්‍රියාණි විජේවික්‍රම සහ සුමේධා ජී. ජයසේන යන හිටපු මන්ත්‍රීනියන්ද පරාජයට පත් විය.

UN