ස්ටුවර්ට් බ්‍රෝඩ් ටෙස්ට් කඩුලු 500 සමාජයට එක් වෙයි

ස්ටුවර්ට් බ්‍රෝඩ් ටෙස්ට් කඩුලු 500 සමාජයට එක් වෙයි

28 July 2020 04:56 pm

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් අද සිය ටෙස්ට් දිවියේ 500 වැනි කඩුල්ල දවා ගැනීමට සමත් විය. ඒ, මේ වනවිට පැවැත්වෙන එංගලන්ත - කොදෙව් ටෙස්ට් තරගයේදීය.

2007 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් වරම් හිමිකර ගත් බ්‍රෝඩ් ටෙස්ට් කඩුලු 500 වාර්තා කිරීම සඳහා ටෙස්ට් තරග 140 කට ක්‍රීඩා කළේය. 

වසර 140 කට වඩා පැරණි ලෝක ටෙස්ට් ඉතිහාසයේ මෙතෙක් ටෙස්ට් කඩුලු 500 ක් දවාගෙන සිටින්නේ ක්‍රීඩකයන් 07 දෙනෙකෙු පමණි. ඉනුදු වේගපන්දු යවන්නන් සිටින්නේ සිව් දෙනෙකි.

අද කොදෙව් දෙවැනි ඉනිමේ 14 වැනි පන්දු වාරයේ තෙවැනි පන්දුව ක්‍රියාත්මක කළ බ්‍රෝඩ්, කොදෙව් ආරම්භක පිතිකරු ක්‍රිග් බ්‍රෙත්වෙයිට් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් කඩුලු 500 සමාජයේ සිය අසුන ස්ථිර කරගත් අතර විශේෂත්වය වන්නේ බ්‍රෙත්වෙයිට් 500 වැනි කඩුල්ල ලබා ගැනීම සඳහා සිය දායකත්වය ලබාදුන් දෙවැනි අවස්ථාව මෙය වීමයි.

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ බ්‍රෝඩ්ගේ දිගුකාලීන ආරම්භක වේගපන්දු සගයා වන ජේම්ස් ඇන්ඩර්සන් සිය 500 වැනි ටෙස්ට් කඩුල්ල ලෙස දවා ගත්තේද ක්‍රික් බ්‍රෙත්වෙයිට්ය. ඇන්ඩර්සන් මේ වනවිට තරග 152 කදී බිඳහෙළා ඇති ටෙස්ට් කඩුලු ප්‍රමාණය 587 කි.

බ්‍රෝඩ් මේ වනවිට කොදෙව් දෙවැනි ඉනිමේ දැවීගිය කඩුලු හතරෙන් තුනක්ම සිය නම ඉදිරියේ සටහන් කරගෙන ඇති අතර ඔහු පළමු ඉනිමේදීද සුපිරි දස්කම් දක්වමින් කඩුලු 06 ක් බිඳහෙළීමට සමත් විය. ඒ අනුව ඔහු තරගයක කඩුලු 10 ක් බිඳහෙළීමේ දස්කම සිදු කරන තෙවැනි අවස්ථාව පෙනෙන මානයට පැමිණ තිබේ. ඔහු අවසන් වරට ටෙස්ට් තරගයක කඩුලු 10 ක් බිඳහෙළා ඇත්තේ මීට වසර 07 කට පමණ පෙරදීය. 2013 අගෝස්තු මාසයේදී ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 121 කට කඩුලු 11 ක් බිඳහෙළීමට සමත් විය. 

එය ඔහුගේ ටෙස්ට් දිවියේ තරගයක හොඳම පන්දු යැවීමද වේ. එම දස්කම අභිබවා යමින් කඩුලු 500 වාර්තා කරගත් තරගයේ වටිනාකම තවත් වැඩිකර ගනිමින් තරගයක හොඳම පන්දු යැවීම සටහන් කර ගැනීම සඳහා ඔහුට තවත් අවශ්‍ය වන්නේ එක් කඩුලු දෙකක් පමණි.‍

UN