කොළඹ - ගම්පහ කොවිඩ් අවදානම ඉහළ යයි

කොළඹ - ගම්පහ කොවිඩ් අවදානම ඉහළ යයි

14 July 2020 02:49 pm

 
කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට සහ එම කඳවුරේ සේවය කළ හමුදා නිළධාරීන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කොවිඩ් අවදානම ඉහළ ගොස් තිබෙනවා.
 
අදාල උපදේශකයා ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුට සහ ඔහුගේ රියදුරාට වෛරසය වැළඳී ඇති බව පරීක්ෂණවලින් තහවුරු විය. මෙම පුද්ගලයා පසුගිය 07 වැනිදා ගම්පහ අධිකරණයේ පැවති නඩු විභාගයක් සඳහා සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිට ඇති අතර මීට අමතරව ඔහු සිය බිරිඳ සමග මහරගම පිළිකා රෝහලටද පැමිණ තිබෙනවා.
 
ඔහු සහ රියදුරා තවත් ස්ථාන රැසක සංචාරය කර ඇති අතර ප්‍රිය සම්භාෂණ සහ දානමය කටයුතුවලටද සහභාගි වී තිබේ.
 
කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ සේවය කළ, හෝමාගම සහ ගොඩගම ප්‍රදේශවල පදිංචි හමුදා නිළධාරීන් දෙදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති අතර මේ නිසා ඔවුන් දෙදෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇසුරු කළ පවුල් 07 කට අයත් පුද්ගලයන් 30 දෙනෙක් මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර තිබේ.
 
මෙම හමුදා නිළධාරීන් දෙදෙනා නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර ඒ වනවිට ඔවුන් ද පොදු ස්ථාන රැසක සංචරණය කර තිබෙනවා. එක් නිළධාරියෙකු වෛද්‍ය මධ්‍යස්ථානයකටද ගොස් ඇති අතර අදාල වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයෙකු සහ සහායකයෙකුද මේ වනවිට නිරෝධායනය වෙමින් සිටී.
 
UN