ජන්ද වුවමනාව නිසා ආණ්ඩුව කොරෝනා අවදානම බැහැර කළා - රනිල්

ජන්ද වුවමනාව නිසා ආණ්ඩුව කොරෝනා අවදානම බැහැර කළා - රනිල්

12 July 2020 09:46 pm

ආණ්ඩුවට කෙසේ හෝ ජන්දය පැවැත්වීමේ වුවමනාව නිසා කොරෝනා අවදානම ඔවුන් බැහැර කළ බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය. 

ජන්දය ලබා ගැනීම වෙනුවෙන් වන දේශපාලන වාසිය තකා හදිසියේ රු.5000 බෙදුවා මිස මෙම කොරෝනා අවදානම බැහැර කරගැනීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් නොතිබුණු බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කළේ. 

"අද අපිට තිබෙන විශාලම ප්‍රශ්නය කොරෝනා. මගේ ඉල්ලීමක් තිබෙනවා රටේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ උපදෙස් අරගෙන කරුණාකරලා පරීක්ෂණ පැවැත්වීම පටන් ගන්න. මොකක්ද කළේ ජන්දේ දිහා බලලා හදිසියේ ගිහින් රු.5000 බෙදුවා. වුවමනා අයටත් නෙවෙයි දුන්නේ. දේශපාලන වාසියක් ගන්න හැදුවේ. ඊට පස්සේ ජන්දය විගහට තියන්න වුවමනා වුණා. මැතිවරණ කොමිසමට බැන්නා. හුඟක් අය කිව්වේ අගෝස්තු 22 හෝ ඊට පස්සේ ජන්දය තියන්න කියලා. අපි  පරීක්ෂණ පැවැත්වූයේ  නැහැ. මොනවත් නැතුව ජන්දෙට යන්න පටන් ගත්තා. 

කෙසේවෙතත් මේ වන විට අවදානම් තත්ත්වයක පසුවන අතර දෙවෙනි වතාවටත් මෙය ඇති වුණොත් සියල්ල හමාර වනු ඇති බවයි වික්‍රමසිංහ මහතා කියා සිටියේ. 

වෛරසය පාලනය කළ යුතු අතර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ දිනකට පරීක්ෂණ 5000ක් පැවත්වීමට කටයුතු කරන බවත් පවත්නා තත්ත්වය අනුව එම ප්‍රමාණය ද වැඩි කිරීමට සිදුවනු ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. 

එමෙන්ම පවත්නා තත්ත්වය මත මැතිවරණය කල් දැමීමට අවශ්‍ය නම් තවත් මුදල් වියදම් කිරීමට පෙර මැතිවරණය කල් දැමිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවකදීය. 

ASK