වැලිකඩ අවදානම ඉදිරි දින දෙක තුන තුළ තහවුරු කරගත හැකියි - සෞඛ්‍ය අමාත්‍යාංශය

වැලිකඩ අවදානම ඉදිරි දින දෙක තුන තුළ තහවුරු කරගත හැකියි - සෞඛ්‍ය අමාත්‍යාංශය

7 July 2020 05:30 pm

වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනා ගැනුණු කොවිඩ් 19 ආසාදිත රැඳවියාගෙන් වෛරසය පැතිර යාමේ අවධානමක් පවතින හෙයින් එම බන්ධනාගාරයේ ඔහුගේ  ආශ්‍රිතයන් ලෙස හඳුනාගන්නා  රැඳවියන්, බන්ධනාගාර නිලධාරීන් යන අය නිරෝධායනය කිරීම සහ PCR  පරීක්ෂණ කිරීමත් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා ඒකකයේ විද්‍යාඥ සුදත් සමරවීර මහතා පවසයි. 

සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කළේ අද (07) අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එම රැඳවියාගෙන් යම්කිසි හෝ ව්‍යාප්තියක් සිදුව ඇත්නම් ඉදිරි දින දෙක තුන තුළ හඳුනා ගත හැකි වනු ඇති බවයි සුදත් සමරවීර මහතා කියාසිටින්නේ. එහෙත් ඔහුගෙන් වෛරසය පැතිර යාම පිළිබඳ විශාල අවධානමක් නොමැති බවද ඔහු පවසයි. 

කෙසේවෙතත් එම රැඳවියාට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න පිළිබඳ වසංගත විද්‍යාත්මකව පර්යේෂණ ආරම්භ කර තිබෙන බවද හෙතෙම කියා සිටියි. 

මෙම රැඳවියා හඳුනා ගැනීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයින් 400ක් 600ක් අතර PCR පරීක්ෂණ ප්‍රමාණයක් කිරීමට සිදුවනු ඇති බවයි සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ. 

දිගින් දිගටම සිදුකරන පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම ආසදිතයාද හඳුනා ගෙන ඇති අතර තවදුරටත් පරීක්ෂණ සිදුකිරීමට අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. 

ඒ අනුව තවදුරටත් පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යාම, අත් පිරිසිදුව තබා ගැනීම, ජනාකීර්ණ තැන්වල මුඛ ආවරණ පැළඳීම, ආදී සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවයි සුදත් සමරවීර පෙන්වාදෙන්නේ. 

වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගැනුණු ආසදිතයා කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්ධනාගාරයට යොමුකළ තැනැත්තෙකි. 

ASK