ලලිත් ජයසිංහට වඩා රංගජීව බලවත් වුණේ කොහොමද? පොලිස් කොමිසමට පැනයක්

ලලිත් ජයසිංහට වඩා රංගජීව බලවත් වුණේ කොහොමද? පොලිස් කොමිසමට පැනයක්

7 July 2020 03:31 pm

උතුරු ප්‍රදේශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ වැඩ තහනම් කිරීමට ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව මූලික විමර්ශනයක් පැවැත්විය යුතු නමුත් එවැනි විමර්ශනයක් නොකර ඔහුගේ වැඩ තහනම් කළ බව පොලිස් කොමිසමේ හිටපු ලේකම් ආරියදාස කුරේ මහතා ජනාධිපති කොමිසමේදී පිළිගත්තේය.

මේ ජනාධිපති කොමිසම පත්කර ඇත්තේ පසුගිය රජය යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රජයේ නිලධාරින්ට සහන සැලසීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

මූලික විමර්ශනයක් සිදු නොකර විධිමත් චෝදනා පත්‍රයක් දිය හැක්කේ කෙසේදැයි ප්‍රශ්නයක් මතුව තිබේ. මේ නිසා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව මෙහෙයවන නිලධාරියාගේ නිගමනය වී ඇත්තේ මෙම චෝදනා ඔප්පු කිරීමට නොහැකිවාක් මෙන්ම ස්වභාවික යුක්ති ධර්මයේ නීතියටත් මූලධර්වලටත් පටහැනි බවය.

මේ නිගමනය අනුව පොලිස් කොමිසම පොලිස්පතිවරයාට යලිත් වරක් නියෝග කළේ නැවත මූලික පරීක්ෂණයක් පවත්වා විධිමත් චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙසය. ඒ 2018 වසරේ ඔක්තෝබර් 22 දිනය.

මේ වන විට වසර 2 කට ආසන්න වී තිබියදී වුවත් විධිමත් චෝදනා පත්‍රයක් දී නොමැත.

මේ වනාහි ආයතන සංග්‍රහය අමු අමුවේම උල්ලංඝනය කිරීමක්. ආයතන සංග්‍රහය විනය පරීක්ෂණයක් ප්‍රමාද කිරීම සම්බන්ධව මෙලෙස විධිවිධාන යොදයි.

ආයතන සංග්‍රහයේ 48 පරිච්ඡේදයේ එන 13:2 වගන්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත්තේ 2019.08.27 දිනය. පසුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් සියලුම ආයතන ප්‍රධානීන් වෙත දන්වා යවා ඇත්තේ අංක 30/2019 දරන සහ 2019.09.30 දිනැති චක්‍රලේඛය මාර්ගයෙනි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ පරීක්ෂණයට දැන් වසර 3ක් ගත වෙන්න ඔන්න මෙන්න තිබයදී විධිමත් චෝදනා පත්‍රයක් පවා එවා නැත. පොලිස්පතිවරයා පොලිස් කොමිසමේ නියෝග පිළිනොපදින්නේද යන සැකයක් මතුවන්නේ 2018.10.22 සිට මේ දක්වා පොලිස්පතිවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසාය.

එවැනි අවස්ථාවකදි විනය පරීක්ෂණ ප්‍රමාද වන්නේ නම් ප්‍රමාදය මගහරවා ගෙන මාස දෙකක් ඇතුලත විනය පරීක්ෂණ අවසන් කිරීමට විනය බලධරයා වගබලාගත යුතු බව ආයතන සංග්‍රහයේ 13:2 වගන්තියෙන් සදහන් වුවත් එය ශත පහකට ගණන් ගත් බවක් පෙනෙන්නට නැත.

මූලික විනය පරීක්ෂණයක් විධිමත් චෝදනා පත්‍රයක් නොමැති අවස්ථාවක තමන් යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ පොලිස් කොමිසම වෙත අභියාචනයක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේය.

පොලිස් කොමිසම ක්ෂණිකව එයට පිළිතුරක් දෙමින් සදහන් කළේ ලලිත් ජයසිංහට එරෙහිව ඇති විනය පරීක්ෂණ සහ අධිකරණ පරීක්ෂණ අවසන් වන තෙක් යළි සේවයේ පිහිටුවීමට නොහැකි බව දන්වා ඇත.

වැලිකඩ සිරගෙදර තුලට ගොස් සිරකරුවන් 27 දෙනෙකු මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිට පසුව ඇප මත නිදහස්ව රංගජීව නියෝමාල් යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගෙන පොලිස් කොමිසම ඔහු වහාම සේවයෙහි පිහිටුවීය.

ඔහු සේවයෙහි පිහිටුවන බව සදහන් ලිපියේ දක්වා ඇත්තේ විනය සහ අධිකරණ ක්‍රියාමාර්ගවලට යටත්ව සේවයෙහි පිහිටුවන බවය.

පොලිස් පරීක්ෂක නියෝමාල්ට එල්ල වී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 206 වගන්තියට අදාල මිනී මැරුම් චෝදනාය. එවැනි චෝදනා තිබුණත් ඔහු යළිත් පොලිස් දෙපාර්තමේන්තුවේය. එහි කිසිම වරදක් නැත. නිවැරදි ක්‍රමය පොලිස් කොමිසම අනුගමනය කර ඇත.

එහෙත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියා කලාපය ආයතන සංග්‍රහයට පටහැනි බව කණගාටුවෙන් වුවත් සදහන් කළ යුතුය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට යුක්තිය ඉටුවිය යුතුය. යුක්තිය යනු අදාළ පුද්ගලයා නිවැරදිකරු හෝ වැරදිකරු කිරීමය. එලෙස විනිශ්චයක් නොදී කල් මරමින් සිට විශ්‍රාම යන වයස පැමිණි විට තමන්ගේ රැකියාවේ ලබා ගැනීමට තිබූ වැටුප් වර්ධක සහ උසස්වීම් අහිමි කිරීම ප්‍රමාදකරුවන්ගේ යටි අරමුණය.

යුක්තිය ඉටු කිරීම ප්‍රමාද කිරීම යුක්තිය ඉටු කිරීමක් නොවන්නේය යන බවට තරයේ වග බලාගන්නා ලෙස ආයතන සංග්‍රහය විනය බලධරයන්ට උපදෙස් දී ඇත්තේ එනිසාමය.

පොලිස් පරීක්ෂක රංගජීව නියෝමාල්ට එල්ල වී ඇත්තේ සාපරාධී මිනිමැරුම් චෝදනාය. ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙනෙකු මරා දැමීමයි සැක පිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ පසු ඔහුගේ වැඩ තහනම් කළේය. පසුව ඔහු ඇප මත නිදහස්ව පැමිණි පසු පොලිස්පතිවරයා විසින් ඔහු යළි සේවයේ පිහිටුවනු ලැබීය.

පසුව නීතිපතිවරයා ඔහුට විරුද්ධව අධිචෝදනා ගොනු කිරීමෙන් පසුව යළි වැඩ තහනම් කරනු ලැබීය.

අනතුරුව ඔහු පොලිස් කොමිසම වෙත අභියාචනයක් ඉදිරිපත් කළේය. එම අභියාචනය පිළිගෙන පොලිස් කොමිසම පොලිස් පරීක්ෂක රංගජීව නියෝමාල් යළි සේවයේ පිහිටුවිය. ඔහුට මිනිමැරුම් චෝදනා එල්ල වී ඇතත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට එල්ල වී ඇත්තේ සැකකරුවකුට පොලිස් අත්අඩංගුවෙන් පලා යෑමට උදව් කළේ යයි යන චෝදනා පමණි.

මේ පුද්ගල සාධක දෙස කිරා මැන බලන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට සහතික කරන ලද 12 (1) වගන්තිය ප්‍රකාරව සමානව සැලකීම ලැබෙනවාදැයි යන්න නැවත සලකා බැලීමට බලධාරින්ගේ අවධානය යොමු විය යුතු හොඳම කාලය මෙය වේ.

රත්නපාල ගමගේ - ස්විට්සර්ලන්තය 
(ලංකාදීප පුවත්පතේ හිටපු ජේෂ්ඨ මාධ්‍යවේදී) 

සංස්කාරක සටහන - 
මෙය අදාල ලේඛකයාගේ මතය මිස 'ලංකා නිව්ස් වෙබ්' අපගේ මතය නොවන බව සලකන්න