ප්‍රාග්ධන උගුල: ජයග්‍රාහකයෝ හා පරාජිතයෝ

ප්‍රාග්ධන උගුල: ජයග්‍රාහකයෝ හා පරාජිතයෝ

7 July 2020 11:30 am

රටවල් අතර ගනුදෙනු සිදුවන එක අද ඊයේ පටන් ගත් දෙයක් නෙමෙයි. ලංකාව සැලකුවත්, ජාත්‍යන්තර ගනුදෙනු සිදු වෙන්නේ සහශ්‍ර ගණනක සිටයි. එහෙත්, ඉතිහාසයේ කවර කාලයකවත් ලෝකයේ රටවල් අද තරමට ජාත්‍යන්තර ගනුදෙනු වලින් බැඳී සිට නැහැ.
 
ඉතිහාසය පුරා බොහෝ විට ජාත්‍යන්තර ගනුදෙනු සිදු වුනේ භාණ්ඩ හුවමාරු ලෙසයි. භාණ්ඩ හුවමාරුවකදී ගනුදෙනුව සිදු වුනාට පස්සේ එය එතැනින් ඉවරයි. හුවමාරු කර ගත හැකි දෙයක් තමන් සතුව නැත්නම් බොහෝ විට ගනුදෙනුවක් නැහැ. ඒ නිසා රටවල් අතර වෙළඳාම නෛසර්ගික ලෙසම සමතුලිතයි.
 
පසුව ගනුදෙනු වලදී මුදල් භාවිතයට ගැනුණා. මුලදී මුදල් වුනේ රන් රිදී වැනි වටිනා ලෝහ. ඒ අනුව භාණ්ඩ සමඟ රන් රිදී හුවමාරු වුනා. ලංකාව වගේ රන් ආකාර නැති රටවලටත් ජාත්‍යන්තර වෙළඳාම හරහා රන් ලැබුණා. ඒ රන් වෙනුවෙන් මොනවා හෝ වෙනත් වටිනා දෙයක් දෙන්න වුනා. මුතු, මැණික්, අලි ඇත්තු, පසුව කුරුඳු. මේ ආකාරයට ලැබෙන රන් වලින් ගෙවා වෙනත් ඇතැම් භාණ්ඩ මිල දී ගත හැකි වුනා. නමුත්, උපයාගත් රන් නැත්නම් භාණ්ඩ මිල දී ගත හැකි නොහැකි නිසා තවදුරටත්  වෙළඳාම නෛසර්ගික ලෙසම සමතුලිතයි.
 
දැන් ජාත්‍යන්තර වෙළඳාම සිදු වෙන්නේ ඉතිහාසයේ සිදු වුනු තරම් සරල ආකාරයකට නෙමෙයි. එක පැත්තකින් භාණ්ඩ එහා මෙහා වෙද්දී අනික් පැත්තෙන් භාණ්ඩ හෝ රන් එහා මෙහා වෙන්නේ නැහැ. ඒ වෙනුවට බැංකු කිහිපයක ගිණුම් සටහන් කිහිපයක් වැටෙන එකයි වෙන්නේ.
 
කිසියම් රටක් තවත් රටක් එක්ක ජාත්‍යන්තර වෙළඳාමේ නියැලෙමින් සිදු කරන අපනයන වල වටිනාකම හා ආනයන වල වටිනාකම හැම විටම හරියටම සමාන වෙන්නේ නැහැ. රටක ජංගම ගිණුමේ ශේෂයෙන් මේ වෙනස පිළිබිඹු වෙනවා. කිසියම් රටක් වෙනත් රටක් සමඟ වෙළඳාමේ නියැලෙන හැම විටෙකම ජංගම ගිණුමේ හර ගිණුම් සටහනක් හෝ බැර ගිණුම් සටහනක් වැටෙනවා. මේ සඳහා භාණ්ඩ හුවමාරුවක්ම සිදු විය යුතු නැහැ. සේවා හුවමාරුවක් වුවත් සිදු විය හැකියි. ආර්ථික වටිනාකමක් තිබෙන කවර හෝ දෙයක් වෙනුවෙන් මුදල් ලබා ගැනීමක් සිදු වූ විට එය ජංගම ගිණුමේ සටහන් වෙනවා.
 
මේ ආකාරයේ ගනුදෙනුවක් හරහා එක පැත්තකින් මුදල් සම්ප්‍රේෂණය වෙද්දී අනෙක් පැත්තෙන් කිසියම් ආර්ථික වටිනාකමක් තිබෙන භාණ්ඩයක් හෝ සේවාවක් සම්ප්‍රේෂණය වන නිසා ගනුදෙනුව එතැනින් අවසානයි. එසේ නොවන ගනුදෙනුත් තිබෙනවා. විදේශ ණයක් ලබා ගැනීම එවැනි ගනුදෙනුවක්. එහිදී ආර්ථික වටිනාකමක් තිබෙන භාණ්ඩයක් හෝ සේවාවක් හුවමාරු වෙන්නේ නැහැ. ඒ නිසා ගනුදෙනුව එතැනින් ඉවර වෙන්නේ නැහැ. මේ මොහොතේ සිදු වෙන්නේ ගනු කොටස පමණක් නිසා දෙනු කොටස අනාගතයට ඉතිරි වෙනවා. මේ ආකාරයේ ගනුදෙනු ජංගම ගිණුමේ සටහන් වෙන්නේ නැහැ. ජංගම ගිණුමේ සටහන් නොවෙන ඉහත ආකාරයේ ගනුදෙනු සටහන් වෙන්නේ මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ.
 
කිසියම් රටක් වෙනත් රටක් සමඟ කරන වෙළඳාමේදී ජංගම ගිණුම සමතුලිත විය යුතුම නැහැ. එහි ධන හෝ සෘණ ශේෂයක් තිබෙන්න පුළුවන්. එය ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, ලෝකයේ අනෙක් හැම රටක් එක්කම කරන ගනුදෙනු වලින් පසුව ජංගම ගිණුමේ ශේෂයක් ඉතිරි වෙනවානම් එහි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලංකාව ඇමරිකාව හා යුරෝපය එක්ක කරන ගනුදෙනු වලදී ලංකාවට වාසිදායක ධන ජංගම ගිණුම් ශේෂයක් ඉතිරි වෙනවා. අනෙක් අතට ඉන්දියාව හා චීනය එක්ක කරන ගනුදෙනු වලදී ලංකාවට අවාසිදායක සෘණ ජංගම ගිණුම් ශේෂයක් ඉතිරි වෙනවා. මේ ධන ශේෂය හා සෘණ ශේෂය එකිනෙකින් සමතුලිත වෙනවානම් අවසාන වශයෙන් ජංගම ගිණුම සමතුලිතයි.
 
 
කිසිම රටක ජංගම ගිණුම් ශේෂය කිසියම් වසරක් ඇතුළත හරියටම සමතුලිත වෙන්නේ නැහැ. භාණ්ඩ හෝ රන් හුවමාරු නොවන ජාත්‍යන්තර වෙළඳ ක්‍රමයකදී ලොකු අහම්බයකින් මිසක් එහෙම වෙන්න විදිහක් නැහැනේ. පොඩි ශේෂයක් හෝ ඉතිරි වෙන්න ඕනෑනේ. ඉහත සිතියමේ පෙන්වා තිබෙන්නේ 2017 වසරේදී ලෝකයේ රටවල් වල ජංගම ගිණුමේ ශේෂය හිඟයක්ද අතිරික්තයක්ද කියන එකයි. 2017න්  පසුව බොහෝ රටවල සංඛ්‍යාලේඛණ යාවත්කාලීන වී නැති නිසයි 2018 හෝ 2019 වෙනුවට 2017 ගත්තේ.
 
කිසියම් වසරකදී ජංගම ගිණුමේ පොඩි ශේෂයක් ඉතිරි වීමත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. දිගුකාලීනව ගිණුම සමතුලිතනම් කිසියම් වසරක ශේෂය සමතුලිත නොවීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලෝකයේ ඇතැම් රටවල් ඒ විදිහට තමන්ගේ ජංගම ගිණුම දිගුකාලීනව සමතුලිත ලෙස පවත්වා ගන්නවා. ඒ වුනත්, එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. ඇතැම් රටවල් විසින් දිගින් දිගටම ධන ජංගම ගිණුම් ශේෂයක් පවත්වා ගැනීමත්, තවත් ඇතැම් රටවල් විසින් දිගින් දිගටම සෘණ ශේෂයක් පවත්වා ගැනීමත් අපට නිරීක්ෂණය වන සාමාන්‍ය තත්ත්වයයි.
 
 
වෙනත් විදිහකින් කිවුවොත් හැම රටකම ජංගම ගිණුමේ අහම්බෙන් පොඩි ශේෂයක් පමණක් ඉතිරි වෙනවානම් ඉහත සිතියමේ පාට වසරින් වසර අහඹු ලෙස මාරු විය යුතුයි. නමුත්, එහෙම වෙන්නේ නැහැ. 2018 හෝ 2019 වසර වල සිතියම බැලුවොත් පාට මාරු වී තිබෙන්නේ ඉතාම සුළු රටවල් ගණනක පමණයි. ලංකාවේ ජංගම ගිණුම් ශේෂය දිගින් දිගටම සෘණ. ඇමරිකාව හෝ එක්සත් රාජධානිය ගත්තත් එහෙමයි. අනෙක් පැත්තෙන් ජර්මනිය, ජපානය, චීනය, දකුණු කොරියාව, සිංගප්පූරුව වගේ රටවල දිගින් දිගටම දැකිය හැක්කේ ධන ජංගම ගිණුම් ශේෂයක්.
 
මේ ආකාරයේ ජංගම ගිණුම් අසමතුලිතතා දිගින් දිගටම පවතිනවා කියන එකෙන් අදහස් වෙන්නේ ජාත්‍යන්තර වෙළඳාමේදී ප්‍රාග්ධනය ගලා යන නිශ්චිත රටාවක් තිබෙනවා කියන එකයි. ඒ කියන්නේ සෑම වසරකම ජර්මනිය, ජපානය, චීනය, දකුණු කොරියාව වගේ රටවල කිසියම් අතිරික්ත ප්‍රාග්ධනයක් එකතු වෙනවා. ලංකාව, ඉන්දියාව, ඇමරිකාව, එක්සත් රාජධානිය වගේ රටවල ප්‍රාග්ධනය ක්‍රමයෙන් ක්ෂය වෙනවා. මෙවැන්නක් වෙන්න පුලුවන්ද?
 
කිසියම් රටක ජංගම ගිණුම අසමතුලිතනම් එම අසමතුලිතතාව මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය හරහා සමතුලිත විය යුතුයි. වෙනත් විදිහකට කිවුවොත් ජංගම ගිණුමේ හිඟයක් තිබෙන රටවල් යම් ආකාරයකින් ඒ හිඟය පියවාගෙන තිබිය යුතුයි. එහෙම නැත්නම් වෙළඳාමක් සිදු වී තිබෙන්නේ බැහැනේ.
 
ජංගම ගිණුමේ හිඟයක් තිබෙන රටකට ඒ හිඟය පියවා ගන්න වෙන්නේ විදේශ ණය අරගෙනයි. එය එකම ක්‍රමය නෙමෙයි. සෘජු විදේශ ආයෝජන, දේශීය සම්පත් විකිණීම වගේ තවත් ක්‍රමත් තිබෙනවා. මේ හැම අවස්ථාවකම සිදු වෙන්නේ රට ඇතුළේ තිබෙන වත්කම් වල අයිතිය විදේශිකයින්ට හිමි වීමක්. මේ ආකාරයේ ගනුදෙනු සටහන් කරන්නේ මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ.
 
මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ සටහන් වන ගනුදෙනු එතැනින් කෙළවර වන ගනුදෙනු නෙමෙයි. විදේශ ණය, දේශීය සම්පත් විකිණීම, සෘජු විදේශ ආයෝජන වගේ මොන ක්‍රමයකින් විදේශ ප්‍රාග්ධනය ලබා ගත්තත් අවසාන වශයෙන් සිදු වෙන්නේ අනාගතයේදී රටින් පිටතට ප්‍රාග්ධනය ගලා යන මාර්ගයක් විවෘත වෙන එකයි. අනෙක් අතට ණය දෙන, සෘජු විදේශ ආයෝජන කරන, විදේශ සම්පත් මිල දී ගන්න රටවලට අනාගතයේදී දිගින් දිගටම ආදායමක් ලැබිය හැකි, ප්‍රාග්ධනය ගලා එන මාර්ගයක් විවෘත වෙනවා. මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ දිගින් දිගටම ජංගම ගිණුමේ ශේෂයක් පවත්වා ගනිමින් ප්‍රාග්ධනය එක් රැස් කර ගෙන සිටින රටවලටයි.
 
අවසාන වශයෙන් වෙන්නේ ජංගම ගිණුමේ අතිරික්තය ප්‍රාග්ධන උල්පතක් බවට පත් වී දිගින් දිගටම තවත් ප්‍රාග්ධනය උපයන්න පටන් ගන්න එකයි. මේ ආකාරයේ ප්‍රාග්ධන ආයෝජන ප්‍රමාණවත් තරමට ඇත්නම් පසුකාලීනව ජංගම ගිණුම් ශේෂය හිඟයක් වුනත් ප්‍රශ්නයක් නැහැ. මොකද ජංගම ගිණුමේ හිඟය පියවා ගත හැකි ආදායමක් ලබා දෙන වත්කම් රටෙන් පිට තිබෙන නිසා ඒ වෙනුවෙන් කාගෙන්වත් ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා, අවසාන වශයෙන් වැදගත් වෙන්නේ කිසියම් රටකට රටින් පිටත තිබෙන වත්කම් හා බැරකම් මොනවාද කියන එකයි.
 
රටින් පිටත ආදායම් උපදවන වත්කම් ඇති රටවල් ලෝක ණය හිමියෝ. ඒ වගේම රටින් පිටතට බැරකම් ඇති රටවල් ලෝක ණයකරුවෝ. ලෝකයේ සෑම රටකම ජංගම ගිණුම් සමතුලිතව තිබුණත් ශුද්ධ ජාත්‍යන්තර වත්කම් ඇති රටවලට දිගින් දිගටම ප්‍රාග්ධනය ගලා එනවා. ඒ රටවල් එන්න එන්නම පෝසත් වෙනවා. ශුද්ධ ජාත්‍යන්තර බැරකම් ඇති රටවල් දිගින් දිගටම දුප්පත් වෙනවා. ඒ රටවල් වලින් ප්‍රාග්ධනය දිගින් දිගටම පිටතට ගලා යනවා.
 
ශුද්ධ ජාත්‍යන්තර වත්කම් ඇති රටක් තව දුරටත් ජංගම ගිණුම් අතිරික්තයක් පවත්වා ගන්නවානම් ක්‍රම දෙකකින්ම ආදායම් එනවා. ඒ වගේම ශුද්ධ ජාත්‍යන්තර බැරකම් ඇති රටක් තව දුරටත් ජංගම ගිණුම් හිඟයක් පවත්වා ගන්නවානම් ක්‍රම දෙකකින්ම ප්‍රාග්ධනය ක්ෂය වෙනවා. මේ තත්ත්වයන් වසරින් වසර කළමනාකරණය කරන්න යාමේදී සිදු වෙන්නේ ශුද්ධ ජාත්‍යන්තර බැරකම් තවත් ඉහළ ගොස් ප්‍රාග්ධනය වඩා වේගයෙන් ක්ෂය වෙන එකයි. කොයි ආකාරයකින් හෝ මේ චක්‍රයෙන් මිදුනේ නැත්නම් තාවකාලිකව කවර ආශ්චර්යයන් පෙනෙන්න තිබුණත් දිගුකාලීනව රට යන්නේ වල පල්ලටයි.
 
ජපානය, චීනය, සිංගප්පූරුව, ජර්මනිය වගේ රටවල් මේ චක්‍රයෙන් මිදී සිටිනවා වගේම වෙනත් රටවල් මේ චක්‍රයේ සිර වී සිටීමේ වාසියද ලබා ගන්නවා. ලංකාව දිගින් දිගටම මේ උගුලේ සිර වෙමින් සිටිනවා. කෝවිඩ් වසංගත කාලය මේ ගැන ගැඹුරින් සිතා ක්‍රියාත්මක වීමට සුදුසුම කාලයක්!
 
ඉකොනොමැට්ටා