COVID-19 පුනරුද සහන ණය: ව්‍යාපාර 20,240ක් සඳහා තවත් රු.බිලියන 53ක් අනුමතයි

COVID-19 පුනරුද සහන ණය: ව්‍යාපාර 20,240ක් සඳහා තවත් රු.බිලියන 53ක් අනුමතයි

5 July 2020 08:41 am

Covid 19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා 'සෞභාග්‍යා COVID-19 පුනරුද සහන ණය' යෝජනා ක්‍රමය යටතේ තවත් රු. බිලියන 53ක් සඳහා අනුමැතිය ලබා දී තිබේ. 

ඒ,ව්‍යාපාර 20,240ක් සඳහාය. 

එම අදියර පසුගිය 02 වැනිදා සිට එය ක්‍රියාත්මක කිරීමටයි මහ බැංකුව කටයුතු කර ඇත්තේ. 

මාස 6ක් දක්වා වූ උපරිම සහන කාල සීමාවක් ද ඇතුළත්ව මාස 24ක් දක්වා වූ ණය ආපසු ගෙවීමේ කාල සීමාවක් සඳහා  4%ක වාර්ෂික සහනදායී  පොළී 
අනුපාතිකයක් යටතේ මෙම ණය ලබා දීමට නියමිතයි.

2020 අප්‍රේල් මස 01 දින සිට ක්‍රියාත්මක වන මෙම ණය යෝජනා ක්‍රමයේ මුල් අදියර ලෙස වයාපාර 13,926ක් සඳහා රුපියල් බිලියන 28ක මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත කරන ලදී. අනුමත කරන ලද ණය අතුරින්  2020 ජූලි මස 02 වන දින වන විට දිවයින පුරා පීඩාවට පත් ව්‍යාපාර හා තනි පුද්ගල ව්‍යාපාර 10,270ක් සඳහා රුපියල් බිලියන 21කට වඩා වැඩි  මුදලක්  බලපත්‍රලාභී බැංකු  විසින් මුදාහැර ඇත. 

2020 ජුනි මස19 දින සිට ක්‍රියාත්මක වන මෙම ණය  යෝජනා ක්‍රමයේ  දෙවන අදියර යටතේ ව්‍යාපාර හා තනි පුද්ගල ව්‍යාපාර  6314ක් සඳහා රුපියල් බිලියන 25ක මුදලක්  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර තිබේ. 

පළමු හා දෙවන අදියර යටතේ අනුමත කරන ලද සම්පූර්ණ  මුදල වන වන රුපියල් බිලියන 53 අතුරින්  45%ක ප්‍රමාණයක් වෙළෙඳාම ප්‍රමුඛ සේවා  අංශයේ ව්‍යාපාර සඳහා ද, 38%ක හා 17%ක ප්‍රමාණයක් පිළිවෙලින් කර්මාන්තත හා කෘෂිකාර්මික  අංශයේ ව්‍යාපාර සඳහාද ලබා දී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ උපදෙස් මත COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා 4%ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ බලපත්‍රලාභී බැංකු හරහා 'සෞභාග්‍යා COVID-19 පුනරුද සහන' ණය යෝජනා ක්‍රමය හඳුන්වා දුන් අතර එය  රටෙහි ආර්ථික කටයුතු නැවත නගා සිටුවීමට සහය වනු ඇති බවයි මහ බැංකුව සඳහන් කරන්නේ. 

වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියනයකට වඩා අඩු ස්වයං රැකියා සහ තනි පුද්ගල ව්‍යාපාර ඇතුළු ඕනෑම ව්‍යාපාරයක් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය සහන ලබා ගත හැකිය. මෙම රුපියල් බිලියනයක වාර්ෂික පිරිවැටුමේ සීමාව සංචාරක, අපනයන හා ඒ ආශ්‍රිත සේවාවන් සපයන ව්‍යාපාර සඳහා අදාළ නොවේ.

ASK