තණමල්විල කොල්ලාගේ ඉතාලි මස්සිනා

තණමල්විල කොල්ලාගේ ඉතාලි මස්සිනා

3 July 2020 11:45 pm

දැන් ඉතින් තණමල්විල කොල්ලෙක් ඉවර වෙලා හදවත කීරි ගැහිලා යන විචාර කියෙව්වට පස්සේ මේවා ලීවාට කමක් නැහැනේ නේද ?

ඔය තණමල්විල කොල්ලෙක් බලද්දී මට හිතිච්ච එක දෙයක් තමයි ඇයි දිප්තට අධ්‍යක්ෂක නික් නේම් එකක් දැම්මේ නැත්තේ කියල. අනිත් එවුන්ට  පතෝලයා, කූරා, නාඩියා අරව මේවා දාල තියෙද්දී මේ බම්මන්නට විතරක් නමක් නැහැ.

ඉතින් මම මේක බලන්නේ බිරින්දෑ එක්ක. එයා ජර්මන් ජාතික නිසා සිංහල බැහැ කියල දන්නව නේ. (ජර්මන් මික්ස් කෙල්ල බඳින කෑල්ලට පස්සේ එන්නම්) ඉතින් අර දැන්වීම් එකක් එන වෙලාවට එයා ප්‍රශ්න අහනවා වුනේ මොකක්ද කියල. ඔන්න එක තැනක බම්මන්නගේ (දීප්ත කුමාරයාගේ) අක්කණ්ඩි ෆුල් අවුල් වෙලා ඇඳේ අල්ප දයන්න ගහගෙන ඉන්නවා.

මල්ලි අහනවා "මොකෝ ඕයි" කියල. 

අක්කා මූන රිවට් කරගෙන කියනවා. "බලන්ඩකෝ මල්ලි මේ අයියා..." කෙල්ලට අනේ පව් හොඳටෝම අප්සෙට්. නිකන් ඉන්න වෙලාවට පොත් කියවන සදා සොඳුරු අක්ක කෙනෙක් වන මෙතුමියට හොඳටම අප්සෙට් ගිහිල්ල.

බලනකොට ඉතාලි මස්සිනා ඉඩම් හොයන්න, ගන්න යවනවලු. ඒ ඉඩමුත් එකපාර ගන්න බැහැ. එක එක ප්‍රශ්න. විකුණන අය ඉස්සෙල්ල හා කියනවා පස්සේ බැහැ කියනවාලු.  (ඒවා එහෙම තමා මොනවා ගන්න ගියත්) අනික ඉතාලිකාරයට බිස්නස් කරන්නත් ඕනෙලු. යකෙක්නේ මේකා. ජරා සල්ලි හොයන්න අර අහිංසක, සිතුවමක් ඇඳගෙන ඉන්න තාත්තයි හමුදාවේ අයියයි ඉන්න පවුල නරක කරන්න හදන හැටි. 

ඒ මදිවට මේ දීපාල් (ඉතාලි මෑන්) කියනවලු රියදුරු බලපත්‍රය ගන්න. එයාගේ යාලුවන්ගේ වයිෆ්ලාටත් තියනවලු. ගෙයක් හදන්නත් යනවා. ඉතාලි භාෂාව ඉගෙන ගන්න කියනවා. මොන බහුභූතයෙක්ද නේද ? අක්ක කියනවා "එයා එයාගේ සල්ලිවලට අපිව නටවන්න හදනවා" කියලා. අක්කට තේරුණා. 

කතාවේ හැටියට මට පෙනුනේ මේ තමන්ගේ පාඩුවේ පොතක් කියවගෙන ඉන්න අක්කණ්ඩි කැමති නැහැ මේ වැඩේට. කොපමණ සොඳුරුද ? සල්ලිවලට යට වෙන්නේ නැති මිනිස්සු.

ඉතින් මම ඕක බිරින්දැට පැහැදිලි කරලා දුන්න. යකෝ මේ යෝදි බනින්න ගත්තනේ අර අහිංසක අක්කට. "මහා කම්මැලි ගෑණියෙක්. අර උදේට පොඩ්ඩක් උයල, ඒකට ඉතින් අර අම්මත් ඉන්නවා, දවල්ට හරි රෑට හරි කෑම ටික බෙදල, පොතක් පෙරලගෙන කම්මැලිකමේ ඉන්න විතරයි එයා දන්නේ. ඉතාලි මනුස්සය කොච්චර හොඳද ? සල්ලිත් එවනවා ඉඩම් ගන්න, කඩයක් දාන්න, කාටවත් අත නොපා ජීවත් වෙන්න බිස්නස් එකක් කර ගන්න. මේ ගෑණිට ඕනේ අර පරණ මඩ ගොඩේම ලැගිලා ඉන්න"

"නැහැ අනේ ඔයාට තේරෙන්නේ නැහැ. අධ්‍යක්ෂකට ඕනේ මුදලට අරවට මේවට යට වෙන්නේ නැති අය තණමල්විල ඉන්නවා කියල පෙන්වන්න."

"ඔයාට ඕනේ එකක් හිතා ගන්න, මම නම් කියන්නේ ඉතාලි එක්කෙනා තමා හොඳ. එයා තමා හරි. මේ අක්කා මහා  කම්මැලියි."

හදන්න බැහැ ඉතින්. ඒ එයා හිතන විධිහ.

මේවා විවේචන හැටියට ගණන් එපා ඉතින්, සුසිත විජේමුණි ලියලා රොෂාන් රවීන්ද්‍ර මෙපමණ හොඳට අධ්‍යක්ෂණය කළේ නැත්නම් අපි ලියන්නේ නැහැ නේ.

මොකද ඉතින් අපි හාරසිය පනස්පස් වෙනි ඉනිම බලන එකක්ය. සැප්තැම්බර්වල ලංකාවේ ඉන්නකොට කවුද රූපවාහිනිය දාල වැරදිලා බැලුනා ටිකක්. කකා හිටිය එක ඉස්මොල්ලේ  ගියා කිව්වහම. ටක් ගාල දුවල ගිහිල්ලා වමනේ දැම්මම හරි ගියා.

බිරින්දෑ ඊට පස්සේ "තණමල්විල කොල්ලෙක්" බලන එක වර්ජනය කළා. 

හැබැයි ඉතින් පස්සේ බලනකොට අර අක්ක සල්ලිවලට යට වෙලා. වෑන් එකත් පදවන්න දන්නවා. බම්මන්න, සොරි දීප්තයා ගෙදර එනකොට ගේකුත් හදල ළමයෙකුත් ඉන්නව. අක්කණ්ඩි ඩෙනිමකුත් ගහගෙන මොඩ් වෙලා.

සිරාවට කීවොත් ඉතාලි මස්සිනා පොරක්නේ. ඔච්චර ලස්සන ඉතාලි කෙල්ලෝ ඉන්දෙද්දී තණමල්විල බැරල් එකක්ම කර ගහලා ජීවිතේ දුන්න එක. (කෝවිඩ් හදාගෙන එන්න නම් එපා හැබැයි) 

සුසිත/රොෂාන් සුසංයෝගය ඇත්ත ඇති සැටියේ ටොක්කකින් එළියට දාලා.

කොළඹ ගමයා