වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වනාන්තර ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත් කිරීම ගැන ජවිප ජනපතිට ලියයි

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වනාන්තර ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත් කිරීම ගැන ජවිප ජනපතිට ලියයි

3 July 2020 08:00 pm

මෙතෙක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබූ වනාන්තර විශාල ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් යටතට පත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය අතිශය ගැටලු සහගත බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. විශේෂයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක්ද කැඳවා ඇති අවස්ථාවක මෙවැනි තීරණයක් හදිසියේ ගැනීම සම්බන්ධයෙන් බරපතල සැකයක් පවතින බවයි එම පක්ෂය පවසන්නේ.

ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. බිමල් රත්නායක මහතා අදාල ලිපියෙන් අවධාරණය කරන්නේ මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව කැඳවා පාර්ලිමේන්තුව තුළ සම ඉන් පිටත පුළුල් සාකච්ඡාවක් සිදුකර ඒ හරහා මෙම තීරණයට එළඹියේ නම් එය වඩාත් සාධාරණ විය හැකිව තිබූ බවයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබූ වනාන්තර දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරීම හරහා අදාල වනාන්තර සතු ස්වභාවික සම්පත් සහ වන සතුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බව පෙන්වා දෙන බිමල් රත්නායක මහතා පවසන්නේ දේශපාලනඥයන්ට සහ බලවතුන්ට අදාල ඉඩම් බලහත්කාරී ලෙස අත්පත් කර ගැනීම සඳහා මෙම තීරණය හරහා අවස්ථාවක් ලබා දී ඇති බවයි.

එමනිසා වහාම මෙම තීරණය අහෝසි කර පරිසර විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් හරහා අධ්‍යයනයක් සිදු කිරීමෙන් අනතුරුව සිදුවිය හැකි හානි අවම කර ගනිමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් වෙනත් ආයතන වෙත පැවරීම සිදු කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

UN