ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්ෂික වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රකාශය

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්ෂික වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රකාශය

3 July 2020 02:00 pm

මානව හිමිකම් කවුන්සිලයේ 44 වැනි සැසිවාරය න්‍යායපත්‍ර අංක 2: මහා කොමසාරිස්වරියගේ වාර්ෂික වාර්තාව පිළිබඳ අන්‍යෝන්‍ය සංවාදය - ශ්‍රී ලංකාවේ ප්‍රකාශය

සභාපතිතුමියනි,

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 2019 වර්ෂය සඳහා මහකොමසාරිස් කාර්යාලයීය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සතුට පළවෙයි. ඉල්ලීමක් මත, රටවලට තාක්ෂණික හා මූල්‍ය ආධාර ලබාදීමට මෙම කාර්යාලය විසින් ගනුලැබ ඇති පියවර හා මෙම කාර්යාලයේ භූගෝලීය වශයෙන් සාධාරණ නියෝජනයක් තිබීමේ අවශ්‍යතාව අවධාරණය කිරීම අපි අගය කරමු. ඵලදායි ලෙස කටයුතු කිරීම සඳහා වූ අපගේ කැපවීම අඛණ්ඩව ඉදිරියට ගෙනයමින්, ශ්‍රී ලංකාව 2020 වසරේ දී මෙම කාර්යාලයට ඇ.ඩො.5000 ක ස්වේච්ඡා දායකත්වයක් ලබා දෙනු ඇත.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් අඟහරුවාදා කොවිඩ් - 19 හා සම්බන්ධයෙන් මානව හිමිකම් වලට අදාළව උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව මෙම කවුන්සිලය වාචිකව යාවත්කාලීන කිරීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුවෙයි. වසංගතයෙන් පසුව යථා තත්ත්වයට පත්වීමේ දී ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කරන ලෙස, විශේෂයෙන්, "ගෝලීය මහජන යහපතක්" ලෙස කොවිඩ් -19 සඳහා අනාගතයේදී එන්නතක් හඳුනාගන්නා ලෙස සහ මෙම වසංගතයට අදාළ සහනවලට බාධා ඇතිකරන සම්බාධක ලිහිල් කරන ලෙස හෝ අත්හිටුවන ලෙස ඉල්ලා සිටීම පිළිබඳව අපි සතුට පළ කරමු.

1953 සිට තම සියලුම ජනතාවට නොමිලයේ විශ්වීය වශයෙන් සෞඛ්‍ය ආරක්ෂණය සහතික කරන හා තම කලාපයේ රටවල් අතුරින් ඒක පුද්ගල සෞඛ්‍ය වියදම් ඉහළම අගයක් ගන්නා  රටක් ලෙස, සමබර, බහු ආංශික ප්‍රවේශයක් හරහා කොවිඩ් - 19 පැතිරීම සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවී තිබේ.

ජාතික මට්ටමේ වේගවත් නිවාරණ පියවර, හොඳින් ජාලගත, බහු පාර්ශ්වකාර සම්බන්ධතා සොයා ගැනීමේ යාන්ත්‍රණයක් සහ රෝග පිරික්සීම / පරීක්ෂා කිරීම හා රෝහල්ගත සත්කාරය උදෙසා සූදානමින් සිටින ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතිය 2020 මැයි 1 සිට රට තුළ කොවිඩ් -19 ශූන්‍ය සමාජ සම්ප්‍රේෂණය සහතික කිරීමට උපකාරී වී තිබේ. කොවිඩ් -19 සම්බන්ධයෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 11 ක් පමණක් වන අතර අවසන් මරණය වාර්තාවූයේ 2020 ජුනි 01 වන දිනය. ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 මරණ අනුපාතය 0.54% ක් වන අතර එය ගෝලීය මරණ අනුපාත වන 4.85% හා සසඳන කළ සැලකිය යුතු ලෙස පහළ අගයකි. ශ්‍රී ලංකාවේ සුවවීමේ අනුපාතය 83.59% ක් වන අතර එය අනුපාත වන 54.77% ට වඩා ඉහළ අගයක් ගනී.

සභාපතිතුමියනි,

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පැසසුමට ලක් කර ඇති, වසංගතය මර්දනය කර ගැනීම සඳහා ශ්‍රී  ලංකා රජය විසින් අනුගමනය කරන ලද ප්‍රවේශයට, කිසිවෙකුටත් වෙනස්කොට නොසැලකීම සහ තම ජනතාවට පමණක් නොව මෙම දේශයේ සිටින විදේශීය ජාතිකයන්ට පවා සෞඛ්‍යය හා සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා මුඛ්‍ය වැදගත්කමක් ලබාදීම ඇතුළත් වෙයි.

වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා රජය ගෙන ඇති පියවර අතරට කිසිදු අවස්ථාවක දී මූලික නිදහස ක්‍රියාත්මක කිරීමට හානි පැමිණවිය හැකි හදිසි ක්‍රියාමාර්ගයක් ඇතුළත් වී නොමැති අතර එම පියවර මෙම වසංගතය හමුවේ රට පුරා සමාජයේ සියලුම කොටස්වල අයිතිය ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව, නියමිත නීති ක්‍රියාවලියට අනුකූලව, මහජන සෞඛ්‍යයේ යහපත තකා ගමන් කිරීම සම්බන්ධයෙන් අවම තාවකාලික සීමාවන්ට පමණක් තරයේ සීමා විය. 2020 ජුනි 28 දින මෙම පියවර සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදී.

විශේෂයෙන්, අඩු ආදායම්ලාභී පවුල්, මහලු අය, ආබාධිත පුද්ගලයන්, දිවා ආදායම් උපයන්නන්, ගොවීන් සහ කර්මාන්ත වැනි සමාජයේ අවදානමට ලක්විය හැකි කොටස්වල, වසංගතයේ බලපෑමට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමේ අරමුණින් ඔවුන්ගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්ති මාලාවක් මෙම මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග සමඟ සම්බන්ධ විය.

මේ සම්බන්ධයෙන්, 2020 මැයි 4 වන දින නොබැඳි ව්‍යාපාරයේ සමුළුවට (NAM) ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කළ දේශනය අපට සිහිපත් වේ. එහිදී, කොවිඩ් -19 හේතුවෙන් පැනනගින පෙර නොවූ විරූ ආර්ථික හා ණය සම්බන්ධ අභියෝග කෙරෙහි සහ COVID-19, සහ එහි ප්‍රතිඵලයක් ලෙස සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය සහන සහ මූල්‍ය උත්තේජනවල අවශ්‍යතාව කෙරෙහි ලෝක නායකයින්ගේ අවධානය යොමු විය. පශ්චාත් වසංගත අවධියේ දී ලෝකයේ සංවර්ධනය සඳහා ඇති අයිතිය සපුරාලීමට ණය සහන සහ සෘජු ආයෝජන ඉල්ලා සිටිමින් මහ කොමසාරිස්වරිය සිදු කළ යාවත්කාලීන කිරීමේදී මෙම අවශ්‍යතාව ද ඉස්මතු කර තිබීම අපි අගය කරමු.

කලාපීය මට්ටමින්, කලාපයේ වසංගත ආශ්‍රිත අභියෝගයන්ට සහාය ලබාදීම සඳහා දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ කොවිඩ්-19 හදිසි අරමුදලට ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් ලබා දී ඇත.

සභාපතිතුමියනි,

කොවිඩ්-19 වසංගතය ලෝකයේ එක් භූගෝලීය කලාපයක සිට තවත් කලාපයකට ගමන් කරන හෙයින්, වසංගතයේ බලපෑම් හේතුවෙන් සෑමවිටම විට උග්‍ර වන අපගේ ගෝලීය භූ දර්ශන පථය තුළ පවතින තියුණු විෂමතා අපට වැඩි වැඩියෙන් සිහිපත් වෙයි. මෙම කවුන්සිලය ඇතුළු එක්සත් ජාතීන්ගේ පද්ධතියට මෙම විෂමතාවලට විසදුම් සෙවීමේ දී සහ කොවිඩ්-19 අර්බුදය මඟහරවා ගැනීමේ ගෝලීය ප්‍රයත්නයන්හි දී කිසිවෙකු සැබවින්ම අතහැර නොයන බවට සහතික කිරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙම පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අව්‍යාජ සංවාදයක් හා සහයෝගීතාවයක් පැවැත්වීම වැදගත් වන බව ශ්‍රී ලංකාව විශ්වාස කරන අතර, අප අත්දැකීම් සහ මනා පරිචයන් සෙසු ජාතීන් සමඟ බෙදා ගැනීමටත්, මේ සඳහා ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත් සූදානම්ව සිටිමු.

සභාපතිතුමියනි,

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වු 30/1 යෝජනාවලිය පිළිබඳ සම කණ්ඩායම විසින් (එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝව) ජුනි 30 අඟහරුවාදා පළකරන ලද අදහස් සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාව 30/1 යෝජනාවලියේ සම-අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන විට පවා, රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව දේශීයව සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද ක්‍රියාවලියක් තුළින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් සාක්ෂාත් කර ගැනීමට කැපවී සිටීන බව පැහැදිලි කර තිබේ. පවත්නා යථාර්ථයන් හඳුනා ගන්නා ලෙසත් වසර හතරාමාරකට වැඩි කාලයක් තිස්සේ සැබෑ ප්‍රතිසන්ධානයක් ලබාදීමට අපොහොසත් වී ඇති බාහිරව මෙහෙයවන ලද කාර්ය රාමුවක් තුළ තවදුරටත් කටයුතු කිරීමට තීරණය කරනවා  වෙනුවට ජනතාව ලබාදුන් වරමකින් පිටිවහලක් ලබන සහ ශ්‍රී ලංකාවේ සහ එහි ජනතාවගේ යහපත උදෙසා වන ප්‍රතිසන්ධාන පියවර කෙරෙහි අවධානය යොමු කිරීමේ මෙම ප්‍රවේශය අගය කරන ලෙසත් සියලු පාර්ශ්වයන්ගෙන් නැවත වරක් ඉල්ලා සිටිමු.

අවසාන වශයෙන්, ශ්‍රී ලංකා රජය දේශීය ප්‍රමුඛතා සහ ප්‍රතිපත්තිවලට අනුකූලව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ සමඟ සහ අන්‍යෝන්‍ය වශයෙන් එකඟතාවයට පත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ධාරිතා සංවර්ධනය හා තාක්ෂණික සහාය ලබාදීම තුළින් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීප සහයෝගයෙන් යුතුව අඛණ්ඩව කටයුතු කරයි.

ස්තූතියි.