පරීක්ෂණ මගාරින්න අපි වැරදි කරලා නෑ කරුණාකරලා අපි ගැන බොරු දාන්න එපා - මහේලගෙන් ඉල්ලීමක්

පරීක්ෂණ මගාරින්න අපි වැරදි කරලා නෑ කරුණාකරලා අපි ගැන බොරු දාන්න එපා - මහේලගෙන් ඉල්ලීමක්

3 July 2020 12:46 pm

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේදී පාවාදීමක් සිදු වූයේද යන්න සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ සඳහා අවශ්‍ය උපරිම සහයෝගය ලබාදෙන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන පවසනවා. ක්‍රීඩාවේ නිරත වූ පුද්ගලයෙකු ලෙස තමන්ට ඒ සඳහා සහාය ලබාදීමට වගකීමක් තිබෙන බවත්, එම වගකීම උපරිමයෙන් ඉටු කරන බවත් ඔහු පවසනවා.

මහේල මේ බව සඳහන් කළේ ක්‍රීඩා වැරදි විමර්ශනය කිරීමේ ඒකකයට අද උදෑසන පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් සිදු කරමිනි.

තමාට අද දිනයේදී ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණෙන්නැයි දැනුම් දී තිබූ නමුත්, විමර්ශන නිළධාරීන් ඊයේ රාත්‍රී 11 ට පමණ තමන් අමතා අද දිනයේදී නොපැමිණෙන ලෙස දැන්වූ බවද මහේල පවසනවා. කෙසේ වෙතත් අද උදෑසන වනවිට ඇතැම් මාධ්‍ය තමන් සම්බන්ධයෙන් ඊට ඉඳුරාම වෙනස් පුවත් පළකර තිබූ බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ අද දිනයේදී විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටීම මහේල ජයවර්ධන ප්‍රතික්ෂේප කර ඇති බවයි.

තමන් විමර්ශනවලට පෙනී නොසිටින බවත්, විමර්ශනවලින් මගහැර සිටින බවත් ඇතැම් මාධ්‍ය ප්‍රකාශ කර තිබූ බැවින් විමර්ශන නිළධාරීන් අද නොපැමිණෙන්නැයි දැනුම් දී තිබියදීත් තමා විමර්ශන ඒකකය වෙත පැමිණි බවත් ඔහු සඳහන් කරනවා. මහේල ඉල්ලා සිටින්නේ තමන් සම්බන්ධයෙන් එවැනි අසත්‍ය සහ වැරදි තොරතුරු සමාජගත නොකරන ලෙසයි.

මෙම විමර්ශනයට අදාලව මේ වනවිට හිටපු තේරීම් කමිටුව සභාපති අරවින්ද ද සිල්වා, 2011 අවසන් තරගයේදී නායකත්වය දැරූ කුමාර සංගක්කාර, එම කණ්ඩායම නියෝජනය කළ උපුල් තරංග යන පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

UN