නිදහස් චතුරස්‍රයේ වෙඩි තබා ගැනීමට අදාල ගිනිඅවිය අපිට අදාල එකක් නෙවෙයි - ලංකා වෙඩි තැබීමේ සම්මේලනය

නිදහස් චතුරස්‍රයේ වෙඩි තබා ගැනීමට අදාල ගිනිඅවිය අපිට අදාල එකක් නෙවෙයි - ලංකා වෙඩි තැබීමේ සම්මේලනය

3 July 2020 12:09 pm

පසුගිය ජුනි 12 වැනිදා නිදහස් චතුරස්‍රයේදී අභිරහස් ලෙස මියගිය පුද්ගලයා සියදිවි හානි කර ගැනීම සඳහා භාවිතා කළ ගිනිඅවිය මෙරට තුළ වෙඩි තැබීමේ ක්‍රීඩාව සඳහා භාවිතා කරන වර්ගයේ ගිනිඅවියක් නොවන බව ලංකා වෙඩි තැබීමේ සම්මේලනය පවසනවා. එම සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ පොයින්ට් 12 අර්ධ ස්වයංක්‍රීය වර්ගයේ මයික්‍රෝ පිස්තෝල භාවිතා කරන කිසිදු තරග ඉසව්වක් තම සම්මේලනය යටතේ ක්‍රියාත්මක නොවන බවයි.

වෙඩි තැබීමේ සම්මේලනය මේ බව සඳහන් කරන්නේ, අදාල සිදුවීම සඳහා භාවිතා කළ පිස්තෝලය වෙඩි තැබීමේ ක්‍රීඩාව සඳහා භාවිතා කරන ගිනිඅවියක් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සිදුකර තිබූ ප්‍රකාශයක් පිළිබඳව පැහැදිලි කරමිනි.

ලංකා වෙඩි තැබීමේ සම්මේලනය වැඩිදුරටත් පවසන්නේ පොයින්ට් 12 වර්ගයේ ගිනිඅවි භාවිතය සඳහා බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය නොවන බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණ අසත්‍ය බවයි. එවැනි ගිනිඅවි භාවිතය සඳහා බලපත්‍ර ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි එම ක්‍රීඩා සම්මේලනය පවසන්නේ.

එසේම තම සම්මේලනය යටතේ ක්‍රියාත්මක වන ක්‍රීඩා ඉසව් සඳහා භාවිතා කරන ගිනිඅවි සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂාවෙන් සිටින බවත්, එම ගිනිඅවි වෙනත් පුද්ගලයන්ගේ අවශ්‍යතා සඳහා භාවිතා නොවන බවත් ලංකා වෙඩි තැබීමේ සම්මේලනය අවධාරණය කරනවා.

UN