MCC ගැන අපේ කතාවයි යහපාලනේ කතාවයි අන්ත දෙකක් - හිටපු මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

MCC ගැන අපේ කතාවයි යහපාලනේ කතාවයි අන්ත දෙකක් - හිටපු මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

2 July 2020 10:11 am

2005 දී මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සමයේ පැවති MCC සාකච්ජා හා 2018 යහපාලන ආණ්ඩුව සමඟ පැවති MCC සාකච්ජා අතර හාත්පසින්ම වෙනස්කම් පවතින බව 2005 දී එම සාකච්ජාවලට සහභාගී වූ හිටපු මහ බැංකු අධිපති වත්මන් අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින්  අවධාරණය කරයි.

තමන් සම්බන්ධ වූ සාකච්ජාවලදී අවධානයට ගැනුණේ වාරිමාර්ග සංවර්ධන,මාර්ග සංවර්ධනය හා කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීම ඇතුළු රටට හිතකර විෂය ක්ෂේත්‍ර වන අතර ඉඩම් ප්‍රතිසංස්කරණ වැනි අයහපත් යෝජනා කිසිවක් සම්බන්ධයෙන් සාකච්ජා නොවුණු බවයි කබ්රාල් මහතා සඳන කරන්නේ.

එහෙත් මේ සම්බන්ධයෙන් අධ්‍යයනට පත් කළ ගුණරුවන් කමිටුවේ වාර්තාවෙන් කියවෙන්නේ යහපාලන ආණ්ඩුව සාමය තුළ MCC ගිවිසුමට අදාළව රටට අහිතකර දේවල් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත්ව ඇති බව යැයි ද හෙතෙම කියා සිටියි. 

යහපාලන ආණ්ඩුවේ ක්‍රියා පටිපාටිය එසේ වුවත් රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමය තුළ MCC සම්බන්ධයෙන් කිසිදු නෛතික එකඟතාවකට නොපැමිණි අතර කිසිදු කොන්දේසියක්ද ඉදිරිපත් නොවුණු බව හිටපු මහ බැංකු අධිපතිවරයා පෙන්වාදෙයි. 

එය එවකට ඇමරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් මහතාද තහවුරු කර තිබෙන බව විකිලීක්ස් පණිවුඩ හරහාම කියවා ගත හැකි බවයි ඔහු පවසන්නේ. 

"මම රට වෙනුවෙන් ගිවිසුම් සහ සාකච්ජා රාශියකට සම්බන්ධ වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ජාවක් හරහා තමයි ඇමරිකානු ඩොලර් බිලියන 2.6ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට සාකච්ජා කළේ. ඒ වගේම මම සාම සාකච්ජාවලත් හිටියා. එවැනි සාකච්ජා රාශියක මම කටයුතු  කරලා තියෙනවා. ඒ එකම අවස්ථාවකවත් MCC ගැන කළ සාකච්ජා ඇතුළුව කිසිවිටෙක ශ්‍රී ලංකාවට අහිතකර කටයුත්තකට අපි එකඟවෙලා නැහැ. එක කොන්දෙසියක්වත් නැහැ ශ්‍රී ලංකාවට අහිතකර." 

ඒ අනුව යහපාලන ආණ්ඩුව සමයේ MCC ගිවිසුමට ඇතුළත් කරන ලද අයහපත් යෝජනා ඉවත් කර ගිවිසුමට එළඹීම සුදුසුද නැද්ද යන්න සලකා බැලීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.