සංගක්කාරට ගහන්නෙ මොකටද එයාට කොහොමත් ICC සභාපති වෙන්න බෑ - තිලංග

සංගක්කාරට ගහන්නෙ මොකටද එයාට කොහොමත් ICC සභාපති වෙන්න බෑ - තිලංග

1 July 2020 06:11 pm

තමන්ගේ අත්දැකීම් අනුව කුමාර සංගක්කාරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරට තරග කිරීම සඳහා කිසිදු හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා. සභාපති ධුරයට තරග කිරීමට නම් ඊට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළයුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙතෙක් කිසිදු රටක් නියෝජනය කරමින් සංගක්කාර ICC විධායක සභාවට නම්කර නොමැති බව පෙන්වා දෙන තිලංග සුමතිපාල මහතා පවසන්නේ එබැවින් මෙවර නිළවරණයේදී ඔහුට ICC සභාපති තනතුර සඳහා තරග කිරීමේ කිසිදු අවස්ථාවක් නොමැති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවක් අතරතුර මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සුමතිපාල මහතා මේ බව සඳහන් කළේය.

ක්‍රීඩකයන් සහ හිටපු ක්‍රීඩකයන් ගැටලුවලට මුහුණ දුන් සෑම අවස්ථාවකදීම ක්‍රීඩා බලධාරීන්, රජය, ක්‍රීඩාලෝලීන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි බව පෙන්වා දෙන තිලංග සුමතිපාල මහතා පවසන්නේ තරග පාවදීම් සම්බන්ධයෙන් වර්තමානයේදී මතුව ඇති ගැටලුවේදීද ක්‍රීඩකයන් වෙනුවෙන් සියලු දෙනා පෙනී සිටින බවයි. හිටපු ක්‍රීඩකයන්ද ඉවසීමෙන් කටයුතු කළයුතු බවත්, පරීක්ෂණ සඳහා සහයෝගය ලබා දී සත්‍ය එළිදරව් වනතුරු නිහඬව සිටිය යුතු බවත් සුමතිපාල මහතා පෙන්වා දෙනවා.

ක්‍රීඩකයන්ද මෙම ගැටලුවට පැටලී පිළිතුරු ලබාදීමට යාමෙන් ගැටලුව තවත් සංකීර්ණ වන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

UN