අත්හිටවූ කෝපි

අත්හිටවූ කෝපි

1 July 2020 01:01 pm

විදෙස් රටකදී, දිනෙක මම මිතුරකු සමඟ කෝපි කඩයකට ගියෙමි. අපේ කෝපි ඇණැවුම භාර දුන් අපි අපගේ මේසය වෙත යමින් සිටියදී, කවුන්ටරය වෙත පැමිණි තරුණයෝ දෙදෙනෙක් ඔවුන්ගේ ඇණැවුම පවසනු අපට ඇසිණි. 

''කරුණාකරලා, කෝපි පහක් දෙන්න. දෙකක් අපිට, අනෙක් තුන අත්හිටවලා තියන්න.'' කෝපි සඳහා මුදල් ගෙවූ ඔවුහු දෙදෙනා තම කෝපි දෙක පානය කොටැ පිටව ගියහ. 

''අත්හිටවන කෝපි කියන්නේ මොනවටදැ"යි මම මගේ මිතුරාගෙන් ඇසීමි. 

මිතුරා මෙසේ පිළිතුරු දිනි. ''පොඩ්ඩක් ඉඳලා බලන්නකෝ." 

තවත් කිහිප දෙනෙක් පැමිණියහ. තරුණියෝ දෙදෙනෙක් කෝපි දෙකකට මුදල් ගෙවා එය පානය කැරැ පිට වී යති. ඊළඟ ඇණැවුම නීතීඥයන් තිදෙනකුගෙනි. ඔවුන් තිදෙනාට කෝපි තුනක්ද අත්හිටවූ කෝපි සතරක්ද. 

මේ අත්හිටවූ කෝපි (suspended coffees) යනු මොනවාදැයි කල්පනා කරමින්, කෝපි පැන් හල ඉදිරියේ මනරම් දර්ශනය නරඹමින් හිරු රැස් සහිත කාලගුණයේ ආශ්වාදය විඳිමින් මම හිනිමි. එක්වරමැ, කඩමාලු හැඳුමින් යුතු යාචකයකු වැනි මහලු මිනිසෙක් දොරෙන් ඇතුළු වී, ''අත්හිටවපු කෝපි හෙම තියෙනවදැ"යි ඇසීය.

මෙය ඉතා සරලය. උණුසුම් කෝපි කෝප්පයක රස බැලීමට මුදල් අත නොමැති යම් කෙනකු වෙනුවෙන් මානව හිතවාදියෝ කල් තබාමැ මුදල් බඳිති. මේ සම්ප්‍රදාය ඇරැඹුණේ ඉතාලියේ නේපල්ස් නගරයේයැ. දැන් එය මුළු ලොවැ පුර‍ාමැ පැතිරැ ඇතිවා පමණක් නොවැ, සමහර නගරයන්හි ඔබට කෝපිවලට අමතරවැ සෑන්ඩ්විචයක් හෝ සම්පූර්ණ ආහාර වේලක් හෝ මෙසේ කල් තබා ඇණැවුම් කැරැ තැබිය හැකිය. 

අප තරම් වාසනාවන්ත නොවන පුද්ගලයන් සඳහා යම් අපේක්ෂාවක්ද ආධාරයක්ද ලැබෙන පරිදි මෙවැනි ආපන ශාලා (හෝ සිල්ලර කඩ පවා හෝ) ඇති නම් කොයි තරම් සුන්දරද? ඔබගේ ආපන ශාලාව, සිල්ලර වෙළෙඳ සල මෙවැනි සුර ලොවැ සල්පිලක් බවට පත් කරන්නට සිතෙන්නේ නැතිද?

- Upali Kannangara