Exclusive: අලුත් සභාපතිනියගේ පවුල් සංග්‍රහය නිසා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට (SLTDA) එරෙහිව වාරණ ආඥාවක්

Exclusive: අලුත් සභාපතිනියගේ පවුල් සංග්‍රහය නිසා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට (SLTDA) එරෙහිව වාරණ ආඥාවක්

16 June 2020 11:28 pm

99 අවුරුදු බද්ද යටතේ ඇස්කොට් ලෙෂර් පුද්ගලික සමාගම (දැන් ලංකා රියල්ටි ලෙෂර් පුද්ගලික සමාගම ලෙස හඳුන්වන) විසින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් ලබාගත් ඉඩමක් නීතිවිරෝධී ලෙස තමන්ට අයිති යැයි ප්‍රකාශ කිරීමට එරෙහිව අද (16) දින කොළඹ දිසාඅධිකරණය විසින් වාරණ ආඥාවක් ලබාදීම සිදුවිය. 

මෙහිදී අදාළ සමාගම විසින් රු. මිලියන 30 ක පමණ මූලික ගෙවීමක් සමග 2020 දෙසැම්බර් මාසය දක්වාම බදු මුදල් ද ගෙවා තිබියදීත්, SLTDA විසින් බදු ගිවිසුම නීත්‍යානුකූල ලෙස අවසන් කිරීමකින් තොරව ‘ප්‍රකාශන ඔප්පුවක්‘ සකස් කර එය ලියාපදිංචිය සඳහා යොමු කර ඇති බව ද අධිකරණය ඉදිරියේ කරුණු සනාථ විය. 

තිස් අවුරුදු යුද්ධයක අවසානයේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ව්‍යාපාරිකයන්ව දිරිමත් කිරීමේ අරමුණින් ලබාදී තිබූ මෙම ඉඩම, සංවර්ධනය කිරීමට පවා අවස්ථාවක් ලබා නොදී ආපසු පවරාගැනීමේ පිටුපස තිබෙන්නේ ආණ්ඩු මාරුවෙන් පසු SLTDA වෙත අලුත් පත්වූ සභාපතිනියගේ ඥාති සංග්‍රහ පක්ෂග්‍රාහිත්වයක් බවට ද අධිකරණය ඉදිරියේ අද දින දැක්වූ කරුණුවලින් හෙළිදරව් වේ.  

පැමිණිල්ල (Lanka Realty Leisure (Private) Limited) වෙනුවෙන් නීතීඥ ෆ්‍රැන්සිස් ජුලියන්පතිගේ උපදෙස් මත නීතීඥ රුවන්ත කුරේ, නීතීඥ නාමිත් නෆාඩ්, නීතීඥ නලින්ද අල්විස් සමග ජනාධිපති නීතීඥ අලි සබ්රි පෙනී සිටියේය. 

2009 යුද්ධය අවසන් වීමෙන් පසු...

2009 වසරේදී තිස් අවුරුදු යුද්ධය අවසන් වීමෙන් අනතුරුව එවකට පැවති ආණ්ඩුව විසින් විශාල සංවර්ධන ක්‍රියාදාමයක් ආරම්භ කළ බව ප්‍රකට කරුණකි. ඒ අනුව යාල වනෝද්‍යානයට යාබද පලටුපාන ප්‍රදේශයේ හඳුනාගත් ස්ථාන, සංචාරක කර්මාන්තය සඳහා ආයෝජකයන්ට ලබාදීමට තීරණය කර තිබිණි. ඇස්කොට් ලෙෂර් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම, SLTDA වෙතින් එම ඉඩම අනූ නව අවුරුදු බද්ද යටතේ  සියලු සුදුසුකම් සපුරාලමින් ලබාගන්නේ ඒ අනුව ය.  

එම බදු ගිවිසුමේ පැවති කොන්දේසි අතරින් එකක් වූයේ වසර 99 ක බදු කාලය තුළ අදාළ දේපළ කිසිදු බාධාවකින් තොරව බුක්ති විඳීමට අවස්ථාව තිබෙන බවයි. මෙම ගිවිසුමේ තිබූ ප්‍රධාන ලක්ෂණයක් වූයේ අදාළ බදු වටිනාකමෙන් විශාල කොටසක් ගිවිසුම ආරම්භයට පෙර ගෙවිය යුතු වීමයි. ඒ අනුව රුපියල් මිලියන 29 කට අධික මුදලක් (රු.29,381,250) මූලික ගෙවීම වශයෙන් ද කර තිබිණි. 

එම ගිවිසුමේම තවත් වගන්තියක සඳහන් වන්නේ එම දේපළ ගිවිසුමට ඇතුළත් වීමෙන් පසුව සුදුසු පරිදි සංවර්ධනය කිරීමට අදාළ මූලික කටයුතු කිරීම සඳහා නිශ්චිත කාල පරිච්ඡේදයක් ලබාදෙන බවයි. නොතීසි ඉදිරිපත් කිරීම මගින් වරින් වර එම කාලපරිච්ඡේදය දීර්ඝ කර ගැනීමට ද ගිවිසුම මගින් ඉඩ ලබාදෙයි. 

එම ගිවිසුමේම තවත් වගන්තියක දැක්වනේනේ පාර්ශවකරුවන්ගේ පාලනයකින් තොරව හෝ වෙනත් එවැනි කරුණු හේතුවෙන් සාධාරණ කාලයකින් සංවර්ධනය හෝ ඉදිකිරීම් කටයුතු දීර්ඝ කළ යුතු නම්, එවැනි ඉල්ලීමකට ද ඉඩ දෙන බව ය. සාමාන්‍ය තත්වයක් යටතේ නම්, ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නොතීසි ලබා මාස 24 ක්, එනම් වසර 2 ක් ඇතුළත එම සංවර්ධන කටයුතු නිමා කර හෝටලයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කළ යුතුය. 

තවද දෙපාර්ශවයේම පාලනයකින් තොර කරුණු නිසා අදාළ හිමිකම් හා වගකීම් ක්‍රියාත්මක කළ නොහැකි වූයේ නම්, ගිවිසුම්ගත කාල පරිච්ඡේදය ඉක්මවා ගිවිසුම වලංගුව පවතින බව සඳහන් වන්නේ ද එම ගිවිසුමේ ම ය.  

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මෙම බදු ගිවිසුම අත්තනෝමතික ලෙස අවසන් කරන්නේ ‘එකඟ වූ කාල පරිච්ඡේදය ඇතුළත අදාළ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අපොහොසත් වීම‘ යන්න පදනම් කරගෙන ය. 

දීර්ඝ කාලීන බද්ද යටතේ ලබාගත් ඉඩම සංවර්ධනය කරමින් එහි ඉදිකිරීමට යෝජිත හෝටලයේ ගොඩනැගිලි සැලස්ම පවා SLTDA විසින් අනුමත කරයි. ඒ අනුව 2016.04.19 දින ඉදිකිරීම් ආරම්භ කිරීමේ නොතීසිය ඔවුන්ට ලබාදෙන අතර, වරින් වර වසර 2 ක කාලයක් එය නීත්‍යානුකූල ලෙස දීර්ඝ කර ගැනීම ද සිදුවිය. 

මේ අතර, 2017 සැප්තැම්බර් මාසයේදී ඇස්කොට් හෝල්ඩින්ස් නමින් වෙනත් සමාගමක් විදේශ ආයෝජකයන් කිහිප දෙනෙකුගේ මැදිහත් වීමෙන් පිහිටුවනු ලබයි. ඒ අනුව පැමිණිලිකාර සමාගමේ කොටස් ද එම සමාගමට හිමිවන අතර, සමාගමේ හිමිකාරිත්වයේ වෙනසක් සිදුවෙයි. ඒ සමගම කොටස් හිමිකාරිත්වය පිළිබඳ නීතිමය ගැටළුවක් සමාගම තුළ අභ්‍යන්තර වශයෙන් ඇති වන අතර, එය අවසන් වන්නේ කොළඹ වාණිජ මහාධිකරණයේ CHC 7/2018 CO දරණ නඩුවේ අතුරු තහනම් නියෝගයෙනි. එම අතුරු තහනම් නියෝගයෙන් කියැවෙන්නේ එම කොටස් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාවක් නොකරන ලෙස ය. 

සමාගම තුළ සිදුවන මෙකී සියලු ගැටළු හා සංකීර්ණතා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත යාවත්කාලීන කෙරෙන අතර, නීතිමය ගැටළුව විසඳා ගැනීමෙන් පසුව ඔවුන් විසින් සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සඳහා සහන කාලයක් ද ලබා දී තිබිණි.

සමාගම විසින් නව සහන කාලය අනුව සංවර්ධන කටයුතු ආරම්භ කළ යුතු වන්නේ 2018.04.19 දින ය. 

ගිවිසුම අනුව එම සංවර්ධන කටයුතු වසර 2 කින් නිම කළ යුතුය. ඒ අතර, 2019.04.21 දින පාස්කු ප්‍රහාරය එල්ල වෙයි. මෙම තත්වය, සමාගමේ පාලනයෙන් බැහැර තත්වයක් බව ඕනෑම කෙනෙකුට පෙනී යන කරුණකි. 

ඉඩම ආපසු ගත් බවට ලිපියක්!

පාස්කු ප්‍රහාරයෙන් සුණු විසුණු වී ගිය ලංකාවේ සංචාරක  කර්මාන්තය යළි නගා සිටුවීම සංචාරක සංවර්ධන අධිකාරියේ පරම අරමුණ විය යුතුව තිබියදී, දැනටමත් ඔවුන් සමග රැඳී සිටින ව්‍යාපාරික සමාගමක් දඩයම් කිරීම ඇරඹෙයි. ඒ අනුව ලංකා රියල්ටි ලෙෂර් (අතීතයේ ඇස්කොට් ලංකා සමාගම) වෙත හදිසියේම, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් බෝම්බ ගැසුවාක් වැනි ලිපියක් ලැබේ. එහි සඳහන් වන්නේ ඔවුන්ගේ බදු ගිවිසුම අවසන් කර ඇති බව ය! 

එම ලිපියේ දාතම වන්නේ 2019 නොවැම්බර් 13වැනිදා ය. එනම්, ජනාධිපතිවරණය පැවැත්වීමට එක් දිනකට පෙර ය. ඒ අනුව මෙම ලිපිය ලියන දිනය වන විට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැර තිබූ බව ද සුවිශේෂී කරුණකි. 

අවසානයේ ජනාධිපතිවරණය හේතුවෙන් එම ලිපිය සමාගම වෙත ලැබෙන්නේ 2019 නොවැම්බර් 28 වැනිදා ය. තමන්ට කිසිදු පෙර දැනුම්දීමක් හෝ සාකච්ඡාවක් නොකර, 2020 දෙසැම්බර් දක්වාම මාසික බදු මුදල් පවා ගෙවා තිබියදී එවා ඇති එම ලිපියෙන් කියැවෙන්නේ සමාගමේ ව්‍යාපෘතිය තමන් විසින් අතහැර දමා ඇති සේ සැලකීමට බලාපොරොත්තු වන බවත්, ඒ අනුව 2019 නොවැම්බර් 4 දා පටන් එහි බුක්තිය නැවත සංචාරක සංවර්ධන අධිකාරිය වෙත ලබාගන්නා බවත් ය!

එනම්,  ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඔළුව යම් දෙයක වැදුණා සේ ක්‍රියා කරන්නට පටන් ගන්නේ 2019 නොවැම්බර් මාසයේ පටන් ය. 

අලුත් සභාපතිනියගේ ඥාති සංග්‍රහය

ඩිල්මා සභාපති මෙරිල් ජේ. ෆ්‍රනෑන්ඩෝගේ පවුලේ ඡායාරූපයක්. සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිනිය ද ඡායාරූපයේ සිටියි.

නව ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලොකු පුටුවලට අලුත් මුහුණු පැමිණෙයි. ඒ අනුව එහි සභාපතිනිය බවට 2019 දෙසැම්බර් 16 දා පත්වන්නේ කිමාලි ෆ්‍රනෑන්ඩෝ (Kimali Fernando) ය. ඇගේ සැමියා වන්නේ මලික් ෆ්‍රනෑන්ඩෝ ය. ඔහු ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඩිල්මා Dilmah/M J F සමාගම් ජාලයේ සභාපති මෙරිල් ජේ. ෆ්‍රනෑන්ඩෝ ගේ බාල පුත්‍රයා ය. අදාළ ඉඩමේ සන්තකය සහ බුක්තිය නැවත පවරාගැනීමේ කටයුතු අතිශය උනන්දුවකින් යුතුව සිදුවන්නේ නව සභාපතිනිය යටතේ ය. 

මේ අතරේ ඒ වන විටත් අගතියට පත් ව සිටි සමාගමට අපූරු දෙයක් පැහැදිලි වෙයි. 

එනම්, මෙම ප්‍රශ්නගත ඉඩමට යාබද Wild Coast Lodge අයත්ව තිබෙන්නේ Dilmah/M J F  සමාගම් ජාලයට බවයි. එහි හිමිකරුවන් වන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනියගේ සැමියා වන මලික් ෆ්‍රනෑන්ඩෝගේ පවුල ය. මෙය ද සංචාරක සංවර්ධන අධිකාරියෙන්ම ලබාගත් ඉඩමකි. මේ අනුව නව සභාපතිනියගේ පත්වීම පැහැදිලිවම බැඳියාවන් අතර ගැටුමක් (Conflict of Interest) පෙන්වයි. අනෙක් අතට, එසේ තිබියදීත් ඇය, අතිශය අවලස්සන ලෙසට එම ගැටුම අධිකරණය ඉදිරියේ ද ප්‍රදර්ශනය කරමින් අල්ලපු ඉඩම ද බලහත්කාරයෙන් ලබාගන්නට තැත් කර තිබේ!

කෙසේ වෙතත් මෙහිදී විශේෂයෙන් කිව යුතු තවත් කාරණයක් ද තිබේ. එනම්, අප දන්නා පරිදි ඩිල්මා සභාපති මෙරිල් ජේ. ෆ්‍රනෑන්ඩෝ ලංකාවේ  ඔටිසම් දරුවන්ගේ සුබසිද්ධිය වැනි සැබෑ මානව හිතවාදී ව්‍යාපෘතිවල ද සමාන්තර ව නියැළී සිටින, සිය සමාගම්වල ලාභයෙන් කොටසක් අවංක ලෙස සමාජ සුබසාධන කටයුතුවල ද යොදවන මානව හිතවාදී - අති දක්ෂ ව්‍යාපාරිකයෙකි. එනිසා මෙම ලිපියෙන් ඔහුට සිත් වේදනාවක් හෝ අපකීර්තියක් ඇති කිරීමට අප කිසිසේත්ම අරමුණු නොකරන නමුත්, ඔහු පිළිබඳව සඳහන් කළ යුතුම තත්වයට අපව පත් කර තිබෙන්නේ ඔහුගේ බලලෝභී ලේලිය විසිනි.  

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ‘අල්ලපු ඉඩමට කෙළ හළන‘ කෑදර ඉඩම්හිමියෙකුගේ තත්වයට පත් වෙයි

කිසිදු දැනුම් දීමකින්, සාකච්ඡාවකින් හෝ නීත්‍යානුකූල ආකාරයකින් ගිවිසුම අවලංගු කිරීමකින් තොරව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ක්‍රියාකළේ ප්‍රකාශන ඔප්පුවක් සකස් කිරීම මගිනි. ලංකාවේ නීතිය තුළ හිමිකමේ ප්‍රබලත්වය අනුව ප්‍රකාශන ඔප්පුවලට හිමිවන්නේ පහළම ස්ථානයකි. මන්ද යත්, ඕනෑම කෙනෙකුට අනුන්ගේ ඉඩමකට මෙමගින් ඔප්පු සකස් කළ හැකි බැවිනි. ඒ අනුව ‘අල්ලපු ඉඩමට කෙළ හළන කෑදර ඉඩම් හිමියෙකුගේ තත්වයට‘ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පත්ව ඇති අතර, එසේ ප්‍රකාශන ඔප්පුවක් සකස් කිරීමෙන් නොනැවතී ඔවුන් එය ලියාපදිංචියට ද යොමු කර තිබේ. මේ සම්බන්ධයෙන් අද දින කොළඹ දිසා අධිකරණය ප්‍රකාශ කළේ, ‘නිසි පරිදි බදු ගිවිසුම අවලංගු කිරීමකින් තොරව විත්තිකරු විසින් ගන්නා ලද ඉදිරි ක්‍රියාමාර්ග කිසිවක් වලංගු නොවන බව‘ ය. 

ඒ අනුව මෙම ගිවිසුම අවලංගු වූවා යැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ කුමන පදනමක් යටතේදැයි ඔවුන්ට කරුණු ගොනුකිරීමට කොළඹ දිසා අධිකරණය විසින් ජූනි 30 දක්වා කල් ලබා දීම ද අද දිනයේ සිදුවිය. 

ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙහෙම වීම පුදුමයක්ද?

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය කිමාලි ෆ්‍රනෑන්ඩෝ 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවියේ (https://www.sltda.gov.lk/) දක්වා ඇති ආකාරයට නම් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යනු, සංචාරක කර්මාන්තය සහ ඒ හා සබැඳි කර්මාන්තයන්හි සැලසුම්කරණය, සංවර්ධනය, නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා පවතින රජයේ අධිකාරියයි. සරල බසින් කියන්නේ නම් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා වගකියන ඉහළම රාජ්‍ය අධිකාරිය මෙයයි. නමුත් එහි මුල්පුටුවලට පැමිණෙන කිමාලි ෆ්‍රනෑන්ඩෝලා ආයතනය සිය පෞද්ගලික බූදලයක් බවට පත්කර ගනිමින් පවුලේ ළඟම ඥාතීන්ට සංචාරක සංවර්ධන අධිකාරියේ ඉඩම් ලබාදෙන්නට තැත් කරන්නේ රටේ සිවිල් නීතියට පවා අභියෝග කරමිනි. මෙවැනි තත්වයක් තුළ ලංකාවේ සංචාරක කර්මාන්තයට පල්ලම් බසින්නට සිදුවීම පුදුමයට කාරණයක්ද?