මැතිවරණය තියන්න නං සියලු පක්ෂවලට සාධාරණ සම බිමක් නිර්මාණය විය යුතුයි - විජිත හේරත්

මැතිවරණය තියන්න නං සියලු පක්ෂවලට සාධාරණ සම බිමක් නිර්මාණය විය යුතුයි - විජිත හේරත්

4 June 2020 02:03 am

මහ මැතිවරණය පවත්වන දිනය තීරණය කිරීමේදී ඡන්ද විමසීම පැවත්වෙන දිනය පමණක් නොව ඊට පෙර හා ඡන්ද විමසීම පැවැත්වීමෙන් පසුව සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද සලකා බැලිය යුතු බවත්, විශේෂයෙන් මැතිවරණයට අදාලව රාජකාරි කරන නිළධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ල යොමු වියයුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

පළමුව රටේ ජනතාවගේ ආරක්ෂාව සහතික වියයුතු බවත් පැතිර යන වසංගත තත්වය හමුවේ ජනතාවගේ ජීවිත අවදානමට ලක්කොට මැතිවරණ පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් විජිත හේරත් මහතා පවසනවා. ඊට අමතරව මහ මැතිවරණට තරග කරන සියලු දේශපාලන පක්ෂවලට නිදහසේ තම ප්‍රතිපත්ති ජනතාව හමුවේ තැබිය හැකි, ජනතා දැනුවත් කිරීම්, රැස්වීම් තැබිය තත්වයක් සියලු පක්ෂවලට සමාන අවස්ථා ලැබෙන පසුබිමක් නිර්මාණය වියයුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දක්වමින් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ සහල් මාෆියාව මෙල්ල කරන බව පවසමින් කයිවාරු ගැසූ ආණ්ඩුව අවසානයේ සහල් මෝල් හිමියන් ඉදිරියේ දණගසා ඇති බවයි. 'ජනාධිපතිවරයා එක්ක කාටවත් සෙල්ලම් කරන්න බෑ' යනුවෙන් වහසි බස් දෙඩූ ආණ්ඩුව මෝල් හිමියන් ඉදිරියේ මෙල්ල වී ඇති බවත්, දැන් සහල් මිල තීරණය කරන්නේද මෝල් හිමියන් විසින්ම බවත් හිටපු මන්ත්‍රීවරයා පවසනවා.

බලයට පත්ව මාස හයක් ඉක්ම යාමට මත්තෙන් වත්මන් ආණ්ඩුව අසාර්ථක ආණ්ඩුවක් බවට පත්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

UN