Covid 19 මැද උද්ධමනය අඩු වීම

Covid 19 මැද උද්ධමනය අඩු වීම

1 June 2020 03:12 pm

වින්සන් මර්වින් ප්‍රනාන්දු 
මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂ, ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක 

2020 මැයි මාසයේ උද්ධමන වේගය (Rate of Inflation) කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (CCPI) වාර්ෂික සාමාන්‍ය පදනම මත 4.7%ක් වී තිබේ. එය අප්‍රේල් මාසයේ වාර්තා වූ 4.8% ට සාපේක්ෂව සුළු අඩු වීමකි. ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මැයි මාසය 4%ක් වීය. එය අප්‍රේල් මාසය වාර්තා වූ 5.2%ට සාපේක්ෂව සැලකිය යුතු අඩු වීමකි. ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව අප්‍රේල් මාසයේ උද්ධමන වේගය (මැයි මාසයට  තවම ගණනය කර නැත) 5.9%ක් විය. එය මාර්තු මාසයේ උද්ධමන වේගය වූ 7% ට සාපේක්ෂව බලන විට සැලකිය යුතු අඩු වීමකි. මෙම අඩුවීම ආහාරවල 13% සිට 10% දක්වා ද අහාර නොවන භාණ්ඩවල 2.1% සිට 1.6 දක්වා ද සිදු වී ඇත. 

රටක උද්ධමනයක් යන්නෙන් අදහස් කරනුයේ රටේ පොදු මිල මට්ටම (සියළුම භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල) දිගින් දිගට ඉහළ යෑමේ තත්ත්වයකි. 
මෙම ඉහළ යෑම ක්‍රම දෙකක් යටතේ සිදු වේ. එකක් නම් රටේ සමස්ත ඉල්ලුම (Aggregate Demand) ඉහළ යෑම නිසා සිදු විය හැකිය. එයට කියන්නේ ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය(Demand Pull Inflation) කියාය. එය සිදු වනුයේ රටේ මුදල් සැපයුම වැඩි වී රටේ මිනිසුන් ළඟ සල්ලි වැඩි වී භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම වැඩි වීමෙනි. 2020 මැයිමාසයේදී Covid 19 පවතින මොහොතේ මිනිසුන් මාළු,පරිප්පු  හා සහල් ඉල්ලුම වැඩි කළ අතර ඒවායේ මිල ගණන් ඒ නිසාම ඉහළ ගියේය. එසේම ආහාර නොවන අයිතමයක් වන ප්‍රවාහන සහ විවිධ භාණ්ඩ හා සේවා යන උප කාණ්ඩයේ අයිතමයන්ගේ මිල ගණන්ද ඉහළ ගියේය. මේ ආකාරයේ ඉල්ලුම ඉහළ යාමෙන් මතුවන උද්ධමනය මැනීමට මහ බැංකුව "මූලික උද්ධමනය"(Core Inflation) හෙවත් "යටිදැරි උද්ධමනය"ගණනය කරයි. එය ගණනය කරන්නේ මතුපිට උද්ධමනයෙන් (ඉල්ලුම හා සැපයුම දෙකෙන්ම තීරණය වන උද්ධමනයක්) අයිතමයන් 5ක මිල ගණන් වෙනස් වීම (බලශක්ති හා ආහාරද්‍රව්‍ය) පදනම් කරගෙනය. ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරුපණය කරන මූලික උද්ධමනය 2020 මැයි මාසයේදී 2.9% දක්වා පහළ ගියේය. එය අප්‍රේල් මාසයේදී 3.1%ක් විය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 මැයි මාසයේදී 4.4% දක්වා අඩු වූ අතර එය අප්‍රේල් මාසයේදී 4.7%ක් විය. 

රටක උද්ධමනය කෙරෙහි පිරිවැයෙන් තල්ලු වීම (Cost Push) ද බලපාන අතර Covid 19 හරහා ඇතිවන උද්ධමන තත්ත්වයන්ට එහි බලපෑමද වාර්තා වේ. එනම් දේශීය නිෂ්පාදන අතරමඟ නතර වීම,භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ආනයන ඉල්ලුම අඩු වීම ඒ කෙරෙහි බලපෑවේය. කෙසේවෙතත් Covid 19 වසංගත බලපෑම හමුවේ ශ්‍රී ලංකාවේ උද්ධමනය කෙරෙහි වගකියන ශ්‍රී ලංකා මහ බැංකුව එය මැනවින් පාලනය කරන ආකාරයක් පෙන්නුම් කරයි. 

Covid 19ට පෙර ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර වශයෙන් පැවති වසර 30ක යුද්ධය හමුවේ මේ රටේ ජනතාව වසර 20කට ආසන්න කාලයක් ඉලක්කම් දෙකක උද්ධමන වේගයන්ගෙන් (Doubble Digit Inflation) පෙළුණි. 1980 මේ රටේ උද්ධමන වේගය වූ  නිදහසින් පසු වැඩිම උද්ධමනය වේගය වූ 26% වාර්තා කළේය. එතැන් පටන් 1984 වන තෙක් පිළිවෙළින් 18%,11%,14%,17% වශයෙන් උද්ධමන වේගයන් වාර්තා විය. යළිත් 1984 -1994 දක්වා වසර 6ක් එක දිගටම පිළිවෙළින් 14%,12%,22%,12%,11%,12% ලෙස මේ රටේ ජනතාව දැඩි ජීවන බරකට ගොදුරු විය. 2005 බලයට පැමිණි ජනපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ පළමු කාල පරිච්ජේදයේ යුද්ධයක් තදින් පැවති නිසාම 2005 -2008 වසර හතරක කාලය පිළිවෙළින් 11%,10%,16%,23%ලෙස ඉලක්කම් දෙකේ උද්ධමන වාර්තා කළේය. 2009 මහින්ද ජනපති හා ආරක්ෂක ලේකම් එක්ව යුද්ධය නිම කිරීම සමඟ එවක මහ බැංකු අධිපතිව සිටි අජිත් නිවාඩ් කබ්රාල් මහතා රටේ මිල ස්ථායිතාව (Price Stability) හා ආර්ථික ස්ථායිතාව ඇති කිරීමේ මහ බැංකුවේ ප්‍රධානතම අරමුණට මුල පිරුවේය. ඒ අනුව 2009 සිට 2002 Covid 19 පවතින මේ කාලය දක්වාම රටේ උද්ධමන වේගය තනි මැදි ඉලක්කමකින් පවත්වාගෙන යාමට මහ බැංකුව සමත් වූ අතර ආර්ථික වර්ධන වේගය 2010,2011,2012 වර්ෂ තුනේදී පිළිවෙළින් 8%,8.4%,9.5%ක් ලෙස ඉහළ නංවාලීමට ද සමත් විය. එහෙත් 2015සිට ආර්ථික වර්ධනයේ දැඩි පසුබැස්මක් වාර්තා විය. (වගුව බලන්න)
 
ශ්‍රී ලංකාවේ මිල හා ආර්ථික ස්ථායිතාව 2009 -2020 මැයි 

මෙම වගුව අනුව පෙන්නුම් කරනුයේ යුද්ධය නිම වී රටේ මිල හා ආර්ථික ස්ථායිතාව ඇතිකර ගැනීමට මහ බැංකුවට හැකියාව ලැබුණත් 2015න් පසු මිල ස්ථායිතාව ආරක්ෂා කර ගත්තත් ආර්ථික ස්ථායිතාව ඇතිකර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වූ බවය. ඒ අතරම ලෝක වසංගතයක් ලෙස පැතිරී Covid 19 ශ්‍රී ලංකාවද ගොදුරු වූ තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ මිල ස්ථායිතාව 4%-6% අතර මට්ටමක් තුළ පවත්වාගෙන යෑමට මහ බැංකුව සිය නම්‍යශීලි උද්ධමන ඉලක්කරණය (Flexible Inflation Targeting) වැඩපිළිවෙල යටතේ සමත් වී තිබුණත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ විදේශ අංශය දැඩි ලෙස  අඩපණ වීම,(සංචාරක,ඇඟලුම් අපනයන, විදේශ ප්‍රේෂණ,ආනයන) හා රාජ්‍ය අංශය දැඩි ලෙස පසු බැසීම (රාජ්‍ය බදු අදායම පහළ යාම,රාජ්‍ය වියදම් ඉහළ යාම,රාජ්‍ය ණය ලබා ගැනීම දුෂ්කර වීම) ව්‍යාපාර අංශය දැඩි පසුබැස්මකට ලක් වීම හා කුටුම්භ අංශයට ආදායම් අහිමි වීම යන සාර්ව ආර්ථික කාරකයන් අඩපණ  වීම නිසා ආර්ථික ස්ථායිතාව දැඩි පසුබැසීමට (ආර්ථික පසුබැස්මකට) ලක් විය. මේ තත්ත්වය හැඳින්වීමට "උද්ධමනීය ආර්ථික පසුබැස්ම " යන යෙදුම  ආර්ථික විද්‍යාවට අළුතෙන් එකතු කර ගත හැකිය.