උපන් දිනයට දින තුනක් තිබියදී තොන්ඩමන් හෘදයාබාධය ඉදිරියේ පරාජය වෙයි

උපන් දිනයට දින තුනක් තිබියදී තොන්ඩමන් හෘදයාබාධය ඉදිරියේ පරාජය වෙයි

26 May 2020 10:57 pm

ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අද පස්වරුවේ ජීවිතයෙන් සමු ගත්තේය. ඒ හදිසි හෘදයාබාධයක් හේතුවෙනි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක තොන්ඩමන් මහතා අද පස්වරු 4.30 ට පමණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකට සහභාගි වී ඇති අතර ඉන්පසු සිය නිවසට පැමිණ තිබේ.

සන්ධ්‍යාවේදී ඔහු සුපුරුදු පරිදි මධුවිතක් තොලගෑමට සූදානම් වූ අවස්ථාවේදී හදිසි හෘදයාබාධයකට ලක්ව ඇති අතර ඔහු තලංගම රෝහල වෙත රැගෙන යනවිටත් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

තොන්ඩමන් අමාත්‍යවරයා සිය 56 වැනි උපන් දිනය සැමරීමට නියමිතව තිබුණේ මැයි 29 වැනිදාය. කෙසේ වෙතත් සිය 56 වැනි උපන් දිනයට දින තුනක් ඉතිරිව තිබියදී හෘදයාබාධය ඉදිරියේ ඔහුට පරාජය වීමට සිදුව තිබේ.

1994 වසරේ ලංකා කම්කරු කොන්ග්‍රසය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා එතැන් පටන් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

සිය සීයාගේ ඇවෑමෙන් 1999 වසරේදී කම්කරු කොන්ග්‍රසයේ නායකත්වයට පත් වූ ආරුමුගම් තොන්ඩමන් මහතා මේ දක්වා එහි නායකයා ලෙස කටයුතු කළේය.

තොන්ඩමන් මහතාගේ අභාවය හේතුවෙන් පක්ෂයේ නායකත්වය සඳහා තොන්ඩමන් මහතාගේ සහෝදර‍ියගේ පුතා වන, හිටපු පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොන්ඩමන් මහතා පත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව සිටී.

තොන්ඩමන් මහතාගේ පුත් ජීවන් තොන්ඩමන් මහතා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීති උපාධිය සමත්ව මේ වනවිට නීතිඥයෙකු ලෙස කටයුතු කරයි.ඔහු තවමත් යොවුන් වියේ පසුවන අතර සෙන්දින් තොන්ඩමන් පක්ෂය තුළ ජීවන්ට වඩා ඉදිරියෙන් සිටී. 

UN