ඇවන් ගාර්ඩ් ව්‍යාපාරය මම නැවත ස්ථාපිත කරනවා - නිශ්ශංක සේනාධිපති (VIDEO)

ඇවන් ගාර්ඩ් ව්‍යාපාරය මම නැවත ස්ථාපිත කරනවා - නිශ්ශංක සේනාධිපති (VIDEO)

26 May 2020 10:13 pm

නැවතත් තමන් ඇවන් ගාර්ඩ් ව්‍යාපාරය ස්ථාපිත කර රැකියා අහිමි වූ සියලු දෙනාටම එම රැකියා ලබා දී රටට අහිමි වූ ආදායමද නැවත ලබා දෙන බව ඇවන් ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අවධාරණය කළේය. 

ඔහු මේ බව සඳහන් කළේ අද (26) දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලිමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

රාජිත සේනාරත්න,පාඨලී චම්පික රණවක,අර්ජුන රණතුංග සහ අනුර කුමාර දිසානායක යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් සිය ව්‍යාපරය අත්පත්කරගැනීම සඳහා දේශපාලන පළිගැනීමක් කරමින් රණවිරුවන් 4900ක රැකියා අහිමි කිරීම සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති මහතා උක්ත ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු අතර අද එම සාක්ෂි සටහන් කරගැනීම සිදු විය. 

තමන්ගේ ව්‍යාපාර කටයුතු අඩපණ කිරීමෙන් ඒ වන විටත් පැවති රැකියා 4900ක් සහ නයිජීරියානු ගිවිසුමෙන් පසු ලැබීමට තිබූ රැකියා 25,000ක ප්‍රමාණයකුත් අහිමි විය ගිය බවයි සේනාධිපති මහතා කියා සිටියේ. 

රටට උපයා ගැනීමට තිබූ ඩොලර් බිලියනයකුත් අහිමි වී ගිය බව ඔහු සඳහන් කරන ලදී. 

තමන්ගෙන් ව්‍යාපාරය උදුරාගෙන පැවති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයද එම ගිවිසුම් එලෙසින්ම අත්සන් කර වසර පහක් කරගෙන ගිය නමුත් තමන්ගේ ව්‍යාපාරය කඩාකප්පල් කිරීම ගැන හිටපු ජනාධිපතිවරයා තමන්ගෙන් පෞද්ගලිකව සමාව ගත් බවද ඇවන් ගාර්ඩ් සභාපතිවරයා අද පැවසුවේය. 

"ඔවුන්ගේ එම ක්‍රියාවලිය හරහා හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාව අපකීර්තියට ලක් කරමින් දේශපාලනයට පැමිණීම වැලැක්වීම බලාපොරොත්තු වී තිබෙනවා. ඇවන් ගාර්ඩ් ව්‍යාපරය ගැන නඩු තිබියදී සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ තිබියදී සියලුම ගිවිසුම් හිටපු ජාන්ධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජය එම සියලු ගිවිසුම් අත්සන් කළා. එසේ නම් එම ගිවිසුම් නීත්‍යානුකූල නොවන්නේ කෙසේද? මහනුවර නෞකාවට ද කිසිම නඩුවක් නැතත් බලෙන් පවරාගෙන තිබෙනවා." 

කෙසේවෙතත් මා සතුව තිබූ ලියකියවිලි හිටපු රජය විසින්ද පිළිගෙන අත්සන් කළේ නම් තමන්ට සිදු වවු දේශපාලන පළිගැනීමට සාධාරණයක් ඉටුවිය යුතු බව ඔහු පැවසුවේය. එමෙන්ම රැකියා අහිමි වූ සියලු දෙනාටද එම රැකියා නැවත ලැබිය යුතු බවයි සේනාධිපති මහතා සඳහන් කළේ. 

ඇවන් ගාර්ඩ් වංචා දූෂණ සෙවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතා පත් කළ ජනාධිපති කොමිසමද අවසන් වශයෙන් නිර්දේශ කර ඇත්තේ ඇවන් ගාර්ඩ් මැරිටයිම් ආයතනය ජාතික ආර්ථිකයට දායකත්වයක් කර ඇති හෙයින්  සියලුම කාරණා සලකා බලා මෙම ව්‍යාපාරය නැවතත් දෙපාර්ශවයට පාඩුවක් නොලබන ආකාරයට පවත්වාගෙන යාම බව සේනාධිපති මහතා ප්‍රකාශ කළේය

එමෙන්ම මෙම ව්‍යාපාරය දැන් සිදුකරගෙන යන නාවික හමුදාවේ ඇතැම් නිලධාරීන් විසින් මුදල් වංචාකර තිබෙන ආකාරයද සාක්ෂි  සහිතව පෙන්වා දිය හැකි බවද ඔහු කියා සිටියේය.