රට විරුවන් මාස හයකට පසු රට වනසන බෝම්බ බවට පත්වීම

රට විරුවන් මාස හයකට පසු රට වනසන බෝම්බ බවට පත්වීම

26 May 2020 09:02 pm

ක්‍රමයෙන් පහව යමින් තිබූ කොවිඩ් අවදානම නැවතත් දින කිහිපයක් තුළ අධි වේගයෙන් හිස ඔසවමින් තිබේ. ඊට හේතුවූයේ කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට රැගෙන ඒමෙන් පසුව ඔවුන් අතරින් ‍වෛරස් ආසාදිතයන් රැසක් හමුවීමයි.

එක් දිනකදී හමු වූ වැඩිම ආසාදිතයන් පිරිස අද හමු වූ අතර ඔවුන්ගෙන් බහුතරයක්ම කුවේට්හි සිට පැමිණි ශ්‍රීලාංකිකයන්ය.

ඇතැම් පුද්ගලයන් මෙම තත්වය හඳුන්වන්නේ කුවේටය විසින් ශ්‍රී ලංකාවට එල්ල කළ බෝම්බ ප්‍රහාරයක් ලෙසයි.

ඊයේ රාත්‍රී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති සංවාදයක් සඳහා එක්වෙමින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගම‍ගේ මහතා මේ බව සඳහන් කළේය.

ඔහු එහිදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට ගෙන්වන පුද්ගලයන් තෝරා ගන්නේ ඒ ඒ රටේ බලධාරීන් විසින් බවයි. ඒ අනුව කුවේට් බලධාරීන් විසින් වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන් තෝරා ඔවුන් ලංකාවට එවීමට කටයුතු කර ඇති බවට ඔහු චෝදනා කරයි. එය ඉතාමත් පැහැදිලි බවත් එය තේරුම් ගැනීමට නොහැකි තරම් බබ්බු ශ්‍රී ලංකාවේ නොසිටින බවත් ඔහු පවසනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී විදෙස්ගත ශ්‍රමිකයන් රැසක් මෙරටට ගෙන්වා ගැනීමට මහින්දානන්ද අළුත්ගමගේ මහතා නියෝජනය කරන දේශපාලන ප්‍රවාහය සෘජුවම මැදිහත් වූ අතර ඒ වෙනුවෙන් මුල්‍යාධාර පවා ලබාදුන් බවට මාධ්‍ය වාර්තා පළවිය. එකළ ඔවුන් හැඳින්වූයේ රට වෙනුවෙන්, රටේ දියුණුව වෙනුවෙන් විදෙසේගතව නොයෙක් දුක් ගැහැට විඳිමින් විදේශ විනිමය උපයන රටවිරුවන් ලෙසයි.

අද රට විනාශ කරන බෝම්බ බවට පත්කර ඇත්තේද ඒ රටවිරුවන්මය. එදා ඔවුන් රටවිරුවන් ලෙස ‍භෞතීස්ම කළ පුද්ගලයන්ම අද ඒ රටවිරුවන් රටම බිලි ගන්නා බෝම්බ බවට භෞතීස්ම කරමින් සිටී.

UN