අපනයන යළි බලගන්වමින් බ්‍රැන්ඩික්ස් වෙතින් ප්‍රථම අපනයනය ඇමරිකාවට

අපනයන යළි බලගන්වමින් බ්‍රැන්ඩික්ස් වෙතින් ප්‍රථම අපනයනය ඇමරිකාවට

15 May 2020 08:39 pm

බ්‍රැන්ඩික්ස් සමාගම විසින් අපනයනය සඳහා නිෂ්පාදනය කළ ප්‍රථම මුහුණු ආවරණ තොගය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලේනා බී ටෙප්ලිට්ස් මහත්මිය වෙත නිල වශයෙන් භාර දීම ඊයේ (14) දිනයේදී සිදුවිය. 

මෙම අවස්ථාවට ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස එක්ව  සිටියේය.

මිලියන 200ක මුහුණ ආවරණ තොගය බැසිල් රාජපක්ෂ මහතා විසින් තානාපතිනිය වෙත භාර ලදී. 

බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ඒ.සුකුමරන්,බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් සහ බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ. 

බ්‍රැන්ඩික්ස් සමාගමේ සාමාජික සාමාජිකාවන් 15,000ගේ ශ්‍රම දායකත්වයෙන් එම මුහුණු ආවරණ නිෂ්පාදනය කර තිබුණු අතර සම්පූර්ණයෙන්ම කපු අමුද්‍රව්‍යයෙන් ස්ථර තුනකින් නිමවා ඇති එම මුහුණු ආවරණ පහසුවෙන් ඇදීම සඳහා මොබිලෝන් ඉලාස්ටික් පටියකින් යුතුව නිෂ්පාදනය කර ඇත. විෂබීජවලට ප්‍රතිරෝධී නිමාවක් ඒවායෙහි වෙයි. ඒ අනුව එම නිෂ්පාදන ඉහළ ප්‍රමිතියෙන් යුතුව  සිදු කර තිබෙන බවයි බ්‍රැන්ඩික්ස් සමාගම සඳහන්  කරන්නේ.