‘‘මේක නොනගත කාලයක්. කොවිඩ් වසංගතයේ පශ්චාත් අභියෝගවලට මුහුණ දීම සඳහා පැහැදිලි ජනවරමක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි‘‘- අජිත් නිවාඩ් කබ්රාල් කියයි.

‘‘මේක නොනගත කාලයක්. කොවිඩ් වසංගතයේ පශ්චාත් අභියෝගවලට මුහුණ දීම සඳහා පැහැදිලි ජනවරමක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි‘‘- අජිත් නිවාඩ් කබ්රාල් කියයි.

14 May 2020 04:02 pm

හිටපු මහබැංකු අධිපති සහ වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මෙසේ පැවසුවේ පසුගිය ඉරිදා (10) අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ  'Post COVID 19 Impact on the Economy and CSE සංවාද මණ්ඩපයට එක් වෙමිනි. මෙම සංවාදය Daily FT කර්තෘ නිස්තාර් කාසිම් විසින් මෙහෙයවනු ලැබිණි. 

ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග මෙයට සහභාගි වී සිටි අතර, අන්තර්ජාලය ඔස්සේ සජීවී ව 1500 කට අධික පිරිසක් මෙම සංවාදය සමග එක්ව සිටියහ. කොවිඩ් ලොක්ඩවුන් තත්වය තුළ ලංකාවේ පැවැත්වූ වැඩිම පිරිසක් සජීවී ලෙස සහභාගි වූ අන්තර්ජාල සංවාදය ලෙස මෙය සැලකේ. 

පැය 2 කට ආසන්න කාලයක් තුළ පැවති මෙම සාකච්ඡාවේදී කබ්රාල් අවධාරණය කළේ, කඩිනම් පුනර්ජීවනයක් ලබාගැනීමට නම් ආණ්ඩුවේ වැඩපිළිවෙළ රටේ සමස්ත ආර්ථිකයකටම අදාළ විය යුතු බවයි. ආණ්ඩුවකට ශක්තිමත් ජනවරමක් අත්‍යාවශ්‍ය වන්නේ එනිසා බව ද ඔහු තවදුරටත් පැවසීය. 

‘‘එවැනි පැහැදිලි බවක් සහ ස්ථිරසාර බවක් ලැබෙන්නට නම් අපි හැකිතාක් ඉක්මනින් මැතිවරණය පැවැත්විය යුතුයි. රජයේ සේවය, පුද්ගලික අංශය, ව්‍යාපාර, ආයෝජකයන් සහ අනෙකුත් හැම කෙනෙකුටම ප්‍රතිපත්තිමය ස්ථිරසාරබව සහ පැහැදිලිබව සාක්ෂාත් කරගත හැක්කේ එවිටයි. අන්න එතකොට මේ ආර්ථිකයේ සියලුම කොටස්කරුවන්ට දීර්ඝකාලීන සැලසුම්වලට මාර්ගය සකස් කර ගන්නටත් ඒ වෙනුවෙන් කැප වන්නටත් අවශ්‍ය කරන විශ්වාසය ලැබෙනවා..‘‘ යැයි ද ඔහු එහිදී ප්‍රකාශ කළේය. 

‘‘කල් ඉකුත් වූ‘ ජනවරමක් සහිත පාර්ලිමේන්තුවක් නෙවෙයි, ජනතාවගේ වර්තමාන අපේක්ෂාවන් සහ අවශ්‍යතා නියෝජනය කරන පාර්ලිමේන්තුවක් අපට අවශ්‍යයි. අලුත් ආණ්ඩුව මොකක්ද කියන එක ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට තීරණය කරන්න පුළුවන්.‘‘ යැයි ද අජිත් නිවාඩ් කබ්රාල් තවදුරටත් පැවසීය. 

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය මෙහිදී කබ්රාල් විසින් සමාන කළේ පරණ අවුරුද්ද නිමා වීම සහ නව අවුරුදු උදාව අතර පවතින ‘නැකැත් නැති සමය‘ හෙවත් ‘නොනගතය‘ට ය. නොනගත කාලයේදී කිසිදු වැදගත් හෝ සුබ කටයුත්තක් නොකළ යුතු බවට සිංහල හා හින්දු ජනතාව විශ්වාස කරයි. 

‘‘අපිට දැන් පැහැදිලි බව සහ නිශ්චිත බව අවශ්‍යයි. එතකොට ව්‍යාපාරිකයන් ඇතුළු සියලු ආර්ථික කොටස්කරුවන්ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ක්‍රමෝපායයන් ගැන පැහැදිලි බවක් ඇති වෙනවා.‘‘ හිටපු මහබැංකු අධිපතිවරයා තවදුරටත් පැවසීය.

‘‘මේ රටට අලුත් ආණ්ඩුවක් පුළුවන් තරම් ඉක්මනින් බිහි කරගන්න පුළුවන් නම් ආර්ථිකයේ කඩාවැටීම, බාහිර කම්පනයන් වගේම සාර්ව-ආර්ථික අවදානම් නවත්වා ගන්නට සහ අඩුකරගන්නට අවශ්‍ය කරන දේවල් ක්‍රියාවට නංවන්න පුළුවන් වෙනවා. එහෙම කළොත් පමණයි, අපට අපේ රට යථා තත්වයට ගන්නට පුළුවන් වෙන්නෙ.. කොවිඩ්-19 අරමුදල පිහිටුවීම, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වගේ බහුපාර්ශවික ආයතන සමග කලාපීය මට්ටමෙන් සාකච්ඡා කරලා නිශ්චිත කාලයක් සඳහා ‘ණය අත්හිටුවීම‘, ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට SPV පහසුකම (Special Purpose Vehicles) ලබාදීම ස්ථාපිත කිරීම වගේ ප්‍රධාන පෙළේ මුල පිරීම් කරන්නට සහ ඒවා ක්‍රියාවට නංවන්නට ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි. අන්තර්වාර හෝ භාරකාර ආණ්ඩුවක් මේ වගේ දේවල් කරන්න හදනව නම් ඒක ඵලදායී වෙන්නෙ නැහැ..‘‘ යැයි ද හිටපු මහබැංකු අධිපතිවරයා තවදුරටත් පැවසීය. 

2006 වසරේ සිට 2014 වසර දක්වා අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකුවේ අධිපතිවරයා ව සිටි වසර 9 ක කාල පරිච්ඡේදය තුළ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො. බිලියන 24 සිට ඇ.ඩො. බිලියන 79 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබිණි.