ලංකාවේත් හාවී වයින්ස්ටීන්ලා? - නීතිඥ අනුර හෑගොඩ

ලංකාවේත් හාවී වයින්ස්ටීන්ලා? - නීතිඥ අනුර හෑගොඩ

25 February 2020 12:01 pm

‘කින්ග් ඔෆ් හොලිවුඩ්’ හෙවත් හොලිවුඩ් සිනමා රාජ්‍යයේ රජා ලෙස කිරුළු පලන් හාවි වයින්ස්ටීන් හෙට අනිද්දා ඇමරිකාවේ සිරගෙයක කූරු ගනිමින් සිටිනවා ඇත. ඒ ඔහු විසින් නිෂ්පාදනය කෙරුණු චිත්‍රපට ගණනාවක නිළියනට ඔහු විසින් කෙරුණු ලිංගික අතවර සහ දූෂණ චෝදනාවලට වරදකරු බව නිව්යෝක් නගරයේ අධිකරණයේදී ජූරියේ එ්කමතික තීරණය වූ නිසාය.

හැටහත් හැවිරිදි වයින්ස්ටීන් 1979 සිට 2017 දක්වා හොලිවුඩයේ දැවැන්ත සිනමාකරුවෙකු ලෙස නිෂ්පාදනයේ නිරතව සිටියේය. ඔහු විසින් නිෂ්පාදනය කෙරුණු 'The English Patient' සහ Shakespeare in Love ලොව පුරා සම්මාන දිනාගත් සිනමාපට විය. චිත්‍රපට නිෂ්පාදනය අතරතුර ඔහු හා සබඳතා පැවැත්වූ නිළියන් ඉහලින් බැබළුණු අතර ඔහුගේ යෝජනා ප්‍රතික්ෂේප කළවුන්ට ආතක් පාතක් නැති විය. ඔහු නිළියන් හට බලහත්කාරකම් කරන බව හොලිවුඩයේ ප්‍රසිද්ධ රහසක් වුවත් තම තමන්ගේ සිනමා ජීවිත අහවර වේ යැයි ඇති බිය නිසා කිසිවෙක් ඉදිරියට ආවේ නැත.

එහෙත් 2017 ඔක්තෝබර් මාසයේදී ඔහුගේ බල පරාක්‍රමය අවසන් වීම ආරම්භ විය. ඉතාලියානු නිළියක වූ ඒසියා ආර්ජෙන්ටෝ විසින් වයින්ස්ටීන් විසින් තමන් හට සිදුකරන ලද ලිංගික අතවර පිළිබඳව පළමුවරට හෙළි කරන ලදී. ඉතා ක්ෂණයකින්ම ඇය වටා සිය ගණනක කතාන්දර හෙළි වන්නට පටන් ගැනුණි. මොවුන් අතර ඇන්ජලිනා ජොලි, සල්මා හයාක්, කේට් බ්ලැන්චට්, ග්විනිත් පාර්ට්ලෝ, උමා තර්මන් වැනි චිත්‍රපට ප්‍රධාන චරිත රඟපෑ නිළියන්ද වීම විමතියට කාරණයක් විය.

මෙම චෝදනා එළියට විත් සති කිහිපයකින් ඔහුගේම ‘ද වයින්ස්ටීන්’ කොම්පැණියෙන් ඔහු ඉවත් කරන ලද අතර ‘ඇකඩමි ඔෆ් මෝෂන් පික්චර් ආර්ට් ඇන්ඩ් සයන්සස්’ සහ අනෙකුත් සිනමා ආයතනයන්ගේ සාමාජිකත්වයෙන් පහ කර දමන ලදී. අනතුරුව ඔහුට ජූරියේ ඒකමතික තීරණය අනුව වරදකරු කරන ලදී.

ඔහුට සිර දඩුවම් නියම කිරීම ඉතා ඉක්මනින් සිදුවන්නට නියමිත අතර ඔහුට විරුද්ධව කැලිෆෝනියා අධිකරණයේ ද මෙවන්ම නඩු පෙළ ගැසී ඇත. කරන කලට පව් මීරිය මී සේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිණි සේ කියා වයින්ස්ටීන්ගේ තිත තියමු.

එක ටෙලි නාට්‍යයකට සම නිෂ්පාදනයෙන්ද, තවත් එකකට විධායක නිෂ්පාදනයෙන්ද, එක් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය (මුල්‍යමය) කිරීමෙන්ද, පාසල් සමයේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය තුනකට තිරය පිටුපස සිට සහභාගි වීමෙන් ද ශ්‍රී ලංකා නාට්‍ය, ටෙලිනාට්‍ය පිළිබඳව යම් තරමකට අවබෝධයක් ලබා ඇත්තෙමි.

ශ්‍රී ලංකාවේ හාවී වයින්ස්ටීන්ලා දැක ඇත්තෙමි. හාවී වයින්ස්ටීන්ලා පිළිබඳව කතා අසා ඇත්තෙමි. නිෂ්පාදනය නිම කොට පෝලිමේ සිටින ටෙලිනාට්‍ය, රූපවාහිනියේ හෝ අයිටීඑන් ප්‍රදර්ශනය කරවීමට අවසර දීමට ඒවායේ ප්‍රධාන හෝ ඇහැට කනට පෙනෙන නිළිය හා යහන්ගත වීමට ඉල්ලා සිටි ඇමතියන් පිළිබඳව කතා අසා ඇත්තෙමි.

ශ්‍රී ලංකාවේ බොහෝ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිළියන්ගේ ජීවිත පිළිබඳව නොයෙකුත් කට කතා ඇත. විනාඩියකට හෝ චිත්‍රපටයකට ටෙලි නාට්‍යයකට මුහුණ ඔබා ගැනීමට ඇති ආසාවට සමහර හිරිමල් තරුණියන් තම ආත්ම ගරුත්වයද ජීවිතයද පාවා දෙනවා වන්නට ඇත. සතර දිසාවේ සිට කොළඹට පැමිණ ඉන්න හිටිනට ද හරියම් තැනක් නොමැතිව, ඉඳුම් හිටුම් හිලව්වට, කෑම බීම හිලව්වට ජීවිතය පාවා දෙන තරුණියන්ද සිටින්නට පුළුවන. ටෙලි නාට්‍යයකට දෙකකට සහභාගි වූ පසු මෙවන් සමහරුන් නවතින්නේ කොහේද යන්න දන්නේ දෙවියන් පමණි.

ලංකාවේ බොහෝ නිළියන් බිහිවන්නේ රංග ශිල්ප ශාලිකාවලින් නොවේය. ඔවුන් නිළියන් වන්නේ ලස්සන නිසාය. රඟපෑම පුරුදු වන්නේ පළමු ටෙලි නාට්‍යයෙන්මය. එතෙක් සමහරුන් පාසල් නාට්‍යයකවත් රඟපා නැත. ඉතින් මෙවැනි තරුණියන් ලාංකික හාවී වයින්ස්ටීන්ලා හට ගොදුරු වීම සක්කරයාටවත් වැළැක්විය හැකිද?

එදිනෙදා අල්ලසට පුරුදු පුහුණු වී ගලාගෙන යන ශ්‍රී ලංකා ජීවන ප්‍රවාහයේ ලිංගික අල්ලස අරුමයක් යැයි අප සිතන්නේ නැත. නොහැකියාව හැකියාවකට පරිවර්තනය කරවීමට එවැනි අල්ලසක් දීම හෝ ගැනීම අපරාධයක් ලෙස නොසිතනවා වන්නට ද පුළුවන. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ හාවී වයින්ස්ටීන්ලාගේ ඇගේ මයිල් කෙලින් වීමට හොලිවුඩ් හාවී වයින්ස්ටීන් හට සිදු වූ දේ දෙයක් නොවේය යන්න අපගේ හැඟීමයි.