පොහොට්ටුවේ මෛත්‍රී විරෝධය උත්සන්න වෙලා - මහින්දත් පිළිගනී

පොහොට්ටුවේ මෛත්‍රී විරෝධය උත්සන්න වෙලා - මහින්දත් පිළිගනී

22 February 2020 03:30 pm

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එල්ල වෙමින් පවතින් විරෝධය උත්සන්න වෙමින් පවතින බව සඳහන්. 

2015 දේශපාලන පෙරළියේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ භූමිකාව අළලා මෙම විරෝධය මතු වූ අතර දේශපාලන එදිරිවාදිකමක් කළ එවැනි තැනැත්තෙකු සමඟ එකම වේදිකාවේ එකට සිටිමින් මැතිවරණයක් කරන්නේ කෙසේද යන්න පිළිබඳව පොහොට්ටු නියෝජිතයින් ඉදිරි පෙළ නායකත්වයෙන් ප්‍රශ්න කරමින් පවතින බව කියවෙයි.

විශේෂයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරුන් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි විරෝධය ප්‍රසිද්ධියේ දක්වමින් තිබෙන අතර දැන් එම විරෝධය සම්බන්ධයෙන්  අගමැති මහින්ද රාජපක්ෂ මහතාද පිළිගෙන තිබේ. 

අද මහනුවරදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් අගමැතිවරයා පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලොකු විරෝධයක් එල්ල වී තිබෙන නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ වේලාසනින් ගිවිසුම් ගතව සිටි බවයි. 

මෙවැනි තත්ත්වයක් මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එවන තැනැත්තා පිළිගත යුතුව ඇති අතර ශ්‍රීලනිපයෙන් එවා තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන බව අගමැතිවරයා පවසයි. 

කෙසේවෙතත් මැතිවරණ ප්‍රචාරක අවදිය තුළ මෙම විරෝධය උත්සන්න වීම වැළැක්විය නොහැකි අතර විශේෂයෙන් පොළොන්නරුව තුළ සීතල යුද්ධයක් දැක ගත හැකි වනු ඇති බවටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සඳහන් කර ඇත. 

විශේෂයෙන් පොළොන්නරුව ජනතාවගේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ඉල්ලීම මත තමන් මැතිවරණයට ඉදිරිපත් වන බව පවසන හිටපු ජනාධිපතිවරයා කියමින් යන්නේ රට පාලනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය දැනුම ලබා දෙන බවයි.