කපිල චන්ද්‍රසේනගේ සල්ලි එජාප ඇමතිවරුත් අරන්. ජනපති මේ සියල්ල හෙළිකරනවා - ප්‍රසන්න

කපිල චන්ද්‍රසේනගේ සල්ලි එජාප ඇමතිවරුත් අරන්. ජනපති මේ සියල්ල හෙළිකරනවා - ප්‍රසන්න

22 February 2020 08:02 am

එයාර් බස් වංචාවේදී ශ්‍රී ලංකන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා විසින් අල්ලස් වශයෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන දෙකක මුදලින් කොටසක් එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් විසින් ද ලබාගෙන ඇතැයි තමන්ට තොරතුරු අනාවරණය වී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සියල්ල පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස නියෝග කර ඇති නිසා ඉදිරියේදී දෙපැත්තේම කුණු එළියට එනු ඇති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

"මේ ගිවිසුම අත්සන් කරන වෙලාවෙදි ඇතිවුණු දූෂණත් ගිවිසුම අවලංගු කරන අවස්ථාවේදී ඇතිවුණු දූෂණත් පිළිබඳ කතා කරනවා. ඇමරිකන් ඩොලර් මිලියන 16ක්ද 17ක්ද මුදලක්, ඒකෙන් මිලියන 2ක් ඒකෙ ප්‍රධාන විධායක නිලධාරියා හා ඔහුගේ බිරිඳ සම්බන්ධව මේ වෙනකොට උසාවියේ නඩුවක් තියෙනවා. 

අපි මේ කාරණාව පහුගිය අවුරුදු හතර හමාරෙම කතා කළා. හැබැයි මේ පිළිබඳව එවකට ආණ්ඩුව කටයුතු කළේ නෑ. දැන් හැමෝම මේක මේ රාජපක්ෂ යුගයේ වෙච්චි දෙයක් කියල මඩක් ගහන්න හදනවා මේ කතාවෙදි හැබැයි අපට තියෙන තොරතුරු අනුව මේ මිලියන 16න් කොටසක් අද විපක්ෂයේ ඉන්න ඉදිරිපෙළ හිටපු ඇමතිවරුන්ටත් ලැබිලා තියෙනවා. ඒනිසා තමයි ඔවුන් මේ පිළිබඳ කටයුතු කරලා නැත්තෙ. ඒනිසා තමයි මේක යටගහන්න කටයුතු කළේ. 

නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ තොරතුරු ලැබුණු වහාම නීතිපති දෙපාර්තමේන්තුවට කියලා නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා. ඒනිසා කවුරු සුදනෝ වෙන්න හැදුවත් දෙපැත්තෙම අයගේ කුණු තියෙනවායි කියන එක අපි දන්නවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ එයාර් බස් වංචාව පිළිබඳ පෙරේදා (20) පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී අදහස් දක්වමිනි.

RN