ජිප්සීස්ලා සමඟ ගැයීම වැයීම සහ ජිප්සීස්ලාට අතින් පයින් ගැසීම!

ජිප්සීස්ලා සමඟ ගැයීම වැයීම සහ ජිප්සීස්ලාට අතින් පයින් ගැසීම!

21 February 2020 07:18 pm

අවිවේකී දේශපාලන පිටියෙන් මොහොතක විරාමයක් ලද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය බිරිඳ ජලනි ප්‍රේමදාස සමඟ ඊයේ (20) සන්ධ්‍යාව වෙන්කරගෙන තිබුණේ ජලනිගේ නුවර නැන්දණියක වන සෝමා සේනානායක මැතිණියගේ 91 වෙනි උපන්දිනය සැමරීම වෙනුවෙනි.

සජිත් ප්‍රේමදාස නම් දේශපාලකයා පසෙකින් තබා සජිත් ප්‍රේමදාස නම් සෞන්දර්යකාමීයා යළි යළිත් අවදිකරන්නේ සිය නැන්දණිය පසෙකින් තබාගෙන සිය නිසඟ කුසලතාව විදහා දක්වමින් දිල්හානි දුවණි ගීය පියානෝවෙන් සිත්තම් කරමිනි.

සජිත් සිය දේශපාලන පරපුරේ සෙස්සන්ගෙන් වෙනස් වන්නේ මෙතැනදීය. ඒ මන්ද යත් ශ්‍රී ලංකාවේ සුප්‍රකට සංගීත කණ්ඩායම් වන මේරියන්ස්,ෆ්ලෑෂ් බෑක්,සකුරා ෆ්ලෑෂ් සහ ජිප්සීස් සමඟ සිය ගායන වාදන හැකියාවන් සජිත් ප්‍රේමදාස විදහා දැක්වූයේ වරක් දෙවරක් නොවේ.

එයට ඕනෑවටත් වඩා සාක්ෂි අන්තර්ජාලයේ සුලභ ලෙස දැක ගත හැකිය. 

සජිත් එලෙස ජිප්සීස් සමඟ ගයන වයන විට අපේ ඇතැම් දේශපාලන නායක කාරකාදීන් සිදුකළේ ජිප්සීස්ලාට අතින් පයින් ගැසීමයි. 

සිංඥෝරේ වැනි උපහාසය දනවන ගීතවල තේරුම වරදවා වටහාගත් ඔවුන් සිදුකළේ ජිප්සීස් කණ්ඩායම සිය උදහසට ලක්කිරීමය.

එතෙකින් නොනැවතී දිවංගත දීපාල් සිල්වා වැනි ප්‍රහසනාත්මක ගායකයන් 'ඔලුව තදින් නරක් වෙච්ච මිනිසුන් පිරිසක් හැදිච්ච අරුම පුදුම රටක් තියෙනවා ඕයි ......' ගයද්දී ඔහුට තර්ජනාත්මකව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා මාතාවට අපහාස නොකරන ලෙසයි. 

එහි ප්‍රථිපලයක් ලෙස දීපාල් එම ගීතය ගැයීම නවතා දැමීය.

මෙයින් පසක් වන කරුණ නම් බිමෙහි පවතින යථාර්තය තේරුම් ගැනීමට අඳබාල දේශපාලකයන් අපොහොසත් බවය. 

මෙහිදී අප විසින් වෙසෙසා සඳහන් කරන්නේ සජිත් නම් වූ  සොඳුරු මානවකයා කන්ද උඩරට එජාප බලකණු වන සේනානායක පරපුරේ සෝමා සේනානායක මැතිණිය පසෙකින් තබාගෙන ඊයේ ස්වකීය මහමැතිවරණ සටන ආරම්භ කළ වගය. 

දේශපාලනය යනු ජනතාවගේ හදවත සහ ආත්මය දිනාගැනීමේ සටනක් මිස මයික්‍රෆෝන ඉදිරියේ ගිරිය පුප්පා කෙළ විසුරුවමින් කරන සටනක් නොවන වගට සජිත් ප්‍රේමදාස මානවකයා මේ දේශපාලන පිටියට නව මානයක් එක්කර තිබේ.