සමන් රත්නප්‍රියට මාසයකට පාර්ලිමේන්තු වරම් !

සමන් රත්නප්‍රියට මාසයකට පාර්ලිමේන්තු වරම් !

22 January 2020 09:43 pm

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එජාපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා සිවිල් ක්‍රියාකාරිකයෙකු වන සමන් රත්නප්‍රිය මහතා නම්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කර තිබේ.

එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ, සමන් රත්නප්‍රිය මහතාගේ නම හෙට (23) දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවීමට නියමිත බවයි. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී සමන් රත්නප්‍රිය මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතය.

කෙසේ වුවද ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබෙන්නේ මාසයක් වැනි කෙටි කාලයක් සඳහා පමණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මාර්තු මාසය ආරම්භ වනවිට වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන අතර මාර්තු මුලදී පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට මේ වනවිටත් රජය තීරණය කර තිබේ.

UN